ශ්‍රී ලංකා කිරිල්ලියෝ මංගල කිරුළට අද සටන් වදිති

318

වසර දාහතරකට පසුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට වරම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අවසන් මහා තරගය සින්නක්කර උරුමයක් ලෙස ලියාගෙන ඇති ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එම කිරුළ වෙනුවෙන් පැවැත්වෙන අවසන් සටන අද (15 වෙනිදා) බංග්ලාදේශයේ සිලෙට් හිදී

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ දී තියුණු ලෙස පාකිස්තානය ද, ඉන්දියාව අවසන් පූර්ව තරගයේදී පහසු ලෙස තායිලන්තය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

2004 වසරේ ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති හැම අදියරකදීම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම අවස්ථා 7 පරාජයට පත් වූයේ එක් අවස්ථාවකදී පමණි.

අවසන් වරට බංග්ලාදේශය සමග 2018 වසරේ පැවති අවසන් මහා තරගයේ දී පරාජයට පත්වූ ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවෝ එවර පමණක් ආසියානු කුසලාන අනුශූරියෝ වූහ. ඊට පෙර ඔවුන් අවසන් මහා තරගවලදී ශ්‍රී ලංකාව හතර වතාවක් සහ පාකිස්තානය දෙවරක් පරාජයට පත් කරමින් 6 වතාවක් ශූරියෝ වූහ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පස්වැනි අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊට පෙර 2004, 2005, 2006 සහ 2008 වසරවල අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තද ඒ හැම අවස්ථාවකදීම ඉන්දියාව හමුවේ පරාජයට පත්වී අනුශූරියෝ ලෙස සෑහීමකට පත් වීමට තරම් අවාසනාවන්ත වූහ.

එසේ නොකඩවා හතර වතාවක් අනුශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉතිහාසය යළි ප්‍රතිරූපණය වන්නට අද ඉඩ නොදෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුව වේ.

විශේෂයෙන් මේ වන විට තරගාවලියේ වැඩිම දෙවැනි කඩුලු ලාභිනිය ලෙස නම් දරා සිටින ඉනෝකා රණවීර ගේ දක්ෂතා මෙහිදී සුළුවෙන් තකන්නට නොහැක.

බංග්ලාදේශයට මෙන්ම පකිස්තානයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී ද ශ්‍රී ලංකාවට නොතිබූ ජයග්‍රහණ දෙකක් කැඳවා දීමට සමත් වූ ඉනෝකා රණවීර එම තරග දෙකේදීම දක්ෂතම ක්‍රීඩිකාව බවටද පත් වූවාය.

තරග හතක් තුළ ඇය මේ වන විට කඩුලු 12ක් ලබා ගෙන ඇති අතර එම සටහනේ ඇයට පෙර සිටින ඉන්දියාවේ දීප්ති ශර්මා ක්‍රීඩිකාවගෙන් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ දී පරිස්සම් විය යුතුය.

පන්දු යැවීමේ දී මෙන්ම පිතිහරඹයේ දී ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවක් දෙවන ස්ථානයේ පසුවන අතර තරග හතක දී ලකුණු 201ක් ලබාගෙන සිටින ඇය හර්ෂිතා සමරවික්‍රමයි.

එම සටහනේ පෙරමුණේ පසුවන ඉන්දියාවේ ජෙමීනා ගේ කඩුල්ල හැකි ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකාවට සැලසුම් අවශ්‍ය වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment