ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පිළිගන්නවාද? නැද්ද? කියා රජය කිව යුතුයි

96

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස (ඊයේ (09) පාර්ලිමේන්තුවේදී) –

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් ගිහින් කියනවා ඡන්දය තියන්න වෙන්නෙ 2024 කියලා. විධායක ජනපතිත් සාමාන්‍ය ජනයාත් ව්‍යවස්ථාව සුරැකිය යුතුයි. උල්ලංඝනය කරන්න අයිතියක් නෑ. ආණ්ඩුව තමන් විසින්ම අයවැය සම්මත කරලා දැන් කියනවා ඡන්දයක් පැවැත්වීම නුසුදුසුයි කියලා. පාර්ලිමේන්තුව වෙන්කළ මුදල් ලබා නොදීම වැරදියි. ඡන්දයට වැය වන්නේ වසරේ රාජ්‍ය වියදමින් දශම බින්දුවයි හයක් පමණයි. ගිය වසරේ රුපියල් බිලියන දහස් ගණන් අච්චු ගහපු ආණ්ඩුවට බිලියන 10ක් දෙන්න බැරිවෙලා.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා එදා කැබිනට් මණ්ඩල තීන්දුව අනුව ඇප මුදල් භාරගන්න එපා කිව්වා. අගමැති කිව්වා එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ කියලා. නමුත් කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තියෙනවා. අගමැති කිව්වෙ බොරු. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කරන්න උත්සාහ කරනවා. මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී සාමාජිකයන් වෙනස් කරන්න සදාචාර අයිතියක් නැහැ. එහෙම වෙනස් නොකරන බව ව්‍යවස්ථාදායක සභාවෙන් ලිඛිතව දන්වා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය රජය පිළිපදිනවාද නැද්ද කියා රජය කිව යුතුයි. අයි. එම්. එෆ්. එක ළඟ දන ගහලා ඔවුන්ගේ හඬ ක්‍රියාත්මක කිරීම වැරදියි. අපටම අනන්‍ය වැඩපිළිවෙළක් රජය ඉදිරිපත් කළේ නෑ. ඉටිපන්දම් පත්තු කරනවාට වඩා ලයිට් බිල වැඩි කිරීම ජනතාවට ලාභයි කියලා ඇමැතිවරයෙක් කියනවා. මෙවැනි උජාරු කතා කියන අයට ගමට ගිහින් රැස්වීමක් තියාගන්න බැහැ. කාමර අස්සේ රැස්වීම් තියන්නේ. ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති ඇමැතිවරු ඉන්නේ. මැතිවරණත් තහනම්, උද්ඝෝෂණත් තහනම්, පෙළපාලිත් තහනම්, වර්ජනත් තහනම්ලු. මේක රාජ්‍ය භීෂණය පැතිරවීමක්. ඒකාධිපති වියරුවෙන් සිටින්නේ. අපි ජනතාවත් සමග පාරට බැහැලා ජනතාවගේ ඡන්ද බලය රැකගන්න කටයුතු කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment