ශ‍්‍රී ලංකාව හමුවේ ඇති අනාගත පාරිසරික අභියෝග

972

ශ‍්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛව විවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප‍්‍රවේණි විවිධත්වය අයත් ය. එම ජෛව විවිධත්වය ඇති වීමට අපේ රට මිහිතලය මත පිහිටා ඇති ස්ථානය, රටේ අභ්‍යන්තර භූ නිර්මාණය, අජීවී ස්වභාවික සම්පත් හේතුවී ඇත. නමුත් එකී වත් පොහොසත්කම් තිරසාර ආකාරයෙන් භාවිත කරමින් රට ධරණීය සංවර්ධනයක් කරා දිශානත කිරීමට එතෙක් මෙතෙක් රට කරවූ පාලකයන් අසමත් වී ඇත. කොටින් ම කියතොත් අප සංවර්ධනය හා සංරක්ෂණය තුලනය කරගැනීම ට අපොහොසත්ව ඇත. ඒ හේතුවෙන් රටක් ලෙස අප ගමන් කරමින් සිටින්නේ දියුණුව දිශාවට නොව, පිරිහීමේ දිශාවට ය. එම පසුගාමීත්වයේ තීරණාත්මක වසරක් දැන් උදා වී ඇත. එබැවින් අප එම අනාගතයේ අපට මුහුණදීම ට සිදුවන පරිසර අභියෝග පිළිබඳව අඩු තරමින් දැනුවත් වීම හෝ අවශ්‍ය යැයි සිතමි.

දේශගුණ අභියෝගය

මිහිතලයේ සෑම රටක ම වෙසෙන සෑම ජීවියකුට ම අඩු වැඩි වශයෙන් දේශගුණ අභියෝගයට මුහුණ දීමට සිදුවේ. එයට කිසිදු භූගෝලීය හෝ සමාජාර්ථික මිම්මක් නැත. නමුත් දුප්පත්කමේ හිනිපෙත්තට ම පැමිණ ඇති අප වැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යවලට දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම්වලින් වැඩි වශයෙන් බැට කෑමට සිදුවන බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. ලෝකයේ හරිතාගාර වායු විමෝචන පාලනය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ප‍්‍රගතියක් මෙතෙක් අත්කර ගෙන නැත. එහි සරල අර්ථය වන්නේ දේශගුණ විපර්යාසය සෑම මොහොතකම තව තවත් දරුණු විපාක ඇතිකරනු බවය. එම අහිතකර දරුණු බලපෑම්වලට මුහුණ දීමට නම් අප ඒවා ට අනුහුරු වීම සිදුකළ යුතුම ය. නමුත් අපට ඒ සඳහා ප‍්‍රමාණවත් ආර්ථික ශක්තියක් නැත. දේශගුණ විපර්යාසය උත්සන්න වන්නට වන්නට අනුහුරු වීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය විශාල වේ. මිනිසුන්ට අඩු තරමින් තමන්ගේ මූලික අවශ්‍යතා හෝ පිරිමසා ගනිමින් ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනඟා ගැනීමට දේශගුණ විපර්යාසයේ බලපෑම්වලට අනුහුරු වීමට අවශ්‍ය වේ. ආහාර, ජලය, සුරක්ෂිත වාසස්ථාන, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි එකී මෙකී නොකී මූලික මිනිස් අවශ්‍යතා දේශගුණ විපර්යාසයේ බලපෑම්වලින් බැට කමින් සාක්ෂාත් කරගැනීම දුෂ්කර ය. ඒ සඳහා ආණ්ඩු ජනතාවට සහය විය යුතුය. නමුත් ශ‍්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය අවම කිරීම සහ ඊට අනුහුරු වීම ඇත්තේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට (United Nations Frame work Convention
on Climate Change – UNFCCC) අදාළව එම ලේකම් කාර්යාලයට භාරදුන් දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව (Nationally determined contributions – NDC) ලේඛනයේ පමණි.

රටේ ගොවි ජනතාව තමන්ගේ වගාවට අවශ්‍ය යෙදවුම් ඉල්ලා මහ පාරේ අරගල කරන අප වැනි අසමත් රාජ්‍යයන් දේශගුණ විපර්යාසයේ බලපෑම්වලට දේශීය කෘෂිකර්මාන්තය අනුහුරු කිරීම ගැන සිතතැයි අපට උපකල්පනය කළ හැකි ද? රටේ ධීවර ජනතාව තම දරුපවුල් කුසගින්නේ තබනු නොහැකිව මහා සුළිසුළං පිළිබඳව අනතුරු අඟවද්දී පවා දිවි දෙවැනි කොට මසුන් මරන්නට දියඹට යන අප වැනි අසමත් රාජ්‍යයන් දේශගුණ විපර්යාසයේ බලපෑම්වලට දේශීය ධීවර කර්මාන්තය අනුහුරු කිරීම ගැන සිතතැයි අපට උපකල්පනය කළ හැකි ද? රටේ කන්දේ ද ලන්දේ ද ජීවත්වන ජනතාව ට ආන්තික කාලගුණ විපත්වලින් උත්සන්න කෙරෙන නායයෑම් සහ ගංවතුරවලින් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන පලා යන්නටැයි පවසා දෑත් පිසගන්නා පාලකයන් සිටින අප වැනි අසමත් රාජ්‍යයන් දේශගුණ විපර්යාසයේ බලපෑම් හමුවේ දිනෙන් දින වර්ධනයවන දේශගුණ අනාථයන් ගැන සිතතැයි අපට උපකල්පනය කළ හැකි ද?

වන විනාශය

ශ‍්‍රී ලංකාවේ වනාන්තර සහ වන ජීවීන් ආරක්ෂා කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත සහ වන සංරක්ෂණ පනත මගින් ශක්තිමත් නීතිමය ප‍්‍රතිපාදන ලැබී තිබුණි. සෙසු ස්වභාවික සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් ද අඩු වැඩි වශයෙන් එම රැකවරණය විවිධ නීති අණපනත් හරහා ලැබී තිබුණි. නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික, අසාධාරණ, සහ අමනෝඥ තීන්දු තීරණ හේතුවෙන් මේ වනවිට එම නීතිමය ආරක්ෂාව සහ ඊට අදාළ ආයතනික පරිපාලන ව්‍යුහය උඩු යටිකුරු වී තිබේ. චක‍්‍රලේඛ අහෝසි කිරීම – නව චක‍්‍රලේඛ නිකුත් කිරීම, ගැසට් නිවේදන නිකුත් කිරීම – එම ගැසට් නිවේදන හකුළා ගැනීම වැනි කරුණු හරහා එම අවිනිශ්චිතතාවය ඇති වී තිබේ.

එහි සැඟවුණු අරමුණ විය හැක්කේ අපේ රටේ වනාන්තර සහ වනජීවී සම්පත් දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය ආකාරයට තම පටු වාසි ප‍්‍රයෝජන සඳහා වනසා දැමීම ට අවශ්‍ය පසුබිම සකසා ගැනීම බව පරිසරවේදීන් අවධාරණය කළෝ ය. අද වනවිට ඇති වී ඇති මෙම වියවුල්කාරී තත්ත්වය ඔවුන්ගේ අනාවැකි සැබෑ කිරීමකි.

රට මේ මොහොතේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ දිගුවක් ලෙස මෙරට වනාන්තර සහ ස්වභාවික සම්පත්වලට එල්ලවන බලපෑම ඉදිරියේදී තවත් උත්සන්න වනබව නොකිවමනා ය. රටේ ජනතාව දුප්පත් වීම මගින් ඔවුන් වනාන්තර සහ ස්වභාවික සම්පත් මත එල්ලකරන පීඩනය ඉහළ යෑම නිතැතින්ම සිදු වේ. තමන්ගේ වගාවන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් සපුරා ගැනීමට නොහැකි ගොවි ජනතාවට අපේක්ෂිත අස්වැන්න ලබාගත නොහැකි වනබව අමුතුවෙන් කිව යුතු ද? ඔවුන් තම ආර්ථික පීඩනයේ තෙරපුම යොමු කරන්නේ වනාන්තර, වනජීවීන් සහ ස්වභාවික සම්පත් දෙසට ය. ධීවර ප‍්‍රජාවගේ ආර්ථික අහේනිය යොමුවන්නේ නීති විරෝධී ධීවර කටයුතු දෙසට ය. රටේ ආර්ථික පිරිහීම යම් තරමකට හෝ පාලනය කරගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුවට සිදුවන්නේ අටුව කඩා පුටුව හැදීමේ ආර්ථික උපායමාර්ග වෙත නැඹුරු වීමට ය. එමගින් ඉදිරි වසරේදී ස්වභාවික සම්පත් කෙරෙහි එල්ලකරන පීඩනය සුළුපටු නොවනු ඇත.

පරිසර දූෂණය

පරිසර දූෂණය පාලනය කිරීම සඳහා රජයේ ප‍්‍රතිපාදන කප්පාදු වීම මෙන්ම දූෂිත කර්මාන්ත සඳහා රටේ දොරටු විවර වීම මගින් රටේ පරිසර දූෂණය ඉහළ යෑම නිතැතින් ම සිදු වේ. වාතය, ජලය, පස ඇතුළු සංඝටක දූෂණය වීමෙන් ආන්තික ජනතාව මත එල්ලවන පීඩනය වැඩි ය. උදාහරණයක් ලෙස ආර්ථික අහේනියට පිළියමක් ලෙස ලොව අන්ත දූෂිත කර්මාන්ත අපේ රටට පැමිණීම සිදුවෙමින් පවතින්නකි. ඒවා නියාමනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත‍්‍රණය නිද්‍රාශීලී වීම තුළ එමගින් දූෂක පරිසරය ට මුදා හෑරීම වැඩි වැඩියෙන් සිදු වේ. එමගින් ආන්තික ජනතාවගේ ජල මූලාශ‍්‍ර දූෂණය වීම සිදු වේ. ඔවුන්ට හුස්ම ගන්න ඇති වාතය දූෂණය වේ. පස වැන සේ. එමගින් සිදුවන්නේ මෙවැනි ආන්තික ප‍්‍රජාවන් කබලෙන් ලිපට විසි වීම ය.

වන ජීවී – මිනිස් ගැටුම්

වන ජීවී – මිනිස් ගැටුම් අතරින් ශ‍්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අපේ රට ලෝකප‍්‍රසිද්ධ රටක් බවට පත්කිරීමට හේතු වී ඇත. ඊට හේතුව මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩි ම අලි ඇතුන් සංඛ්‍යාවක් මරණයට පත්වන රට ශ‍්‍රී ලංකාව වීම ය. මිනිස් මරණ අතින් ගත්ත ද අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවට පමණි. අප මේ ගෙවා දමන සෑම දිනයක ම මෙම පුංචි දිවයිනේ කොහේ හෝ තැනක අලියකු අකාලයේ මරණය ට පත්වේ. තවද ගතවන සෑම සතියක ම මිනිස් ජීවිත දෙකකට වඩා අලි-මිනිස් ගැටුම් හේතුවෙන් රටට අහිමි වේ. මෙම වනජීවී-මිනිස් ගැටුම ශ‍්‍රී ලංකාවේ විශාල පාරිසරික, සමාජාර්ථික මෙන්ම දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබුණ ද එය අවම කිරීම සඳහා කිසිදු සාධනීය පියවරක් ගැනීමට බලධාරීන් මෙතෙක් සමත්ව නැත. ඒ වෙනුවට සිදුවන්නේ යල් පැනගිය අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක‍්‍රමවේද වෙනුවෙන් මහජන මුදල් කෝටි – ප‍්‍රකෝටි ගණනින් මකර කටට යැවීම ය. තවද වන අලි සහ අසරණ ග‍්‍රාමීය ජනතාව තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීම ය.

අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීම වෙනුවට මෙරට බලධාරීන් මූලිකත්වය දී ඇත්තේ එයිතිරසාර ගැහිල්ලක් බවට පත්කර ගැනීමට ය. ඒ සඳහා ඔවුන් මේ වනවිට යොදා ගනිමින් සිටින අලූත්ම ප්‍රෝඩාව අගල් කැපීම ය. ශ‍්‍රී ලංකාවේ මින් පෙර ද අවස්ථා ගණනාවකදී අගල් ඉදිකර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට දැරූ ප‍්‍රයත්නයන් සාර්ථක වී නැත. ඒ වෙනුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත සකස් කෙරුණු ශ‍්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කරගැනීම සඳහා වන තුන්කල් දකිනා සාධණීය, ප‍්‍රායෝගික, යථාර්ථවාදී සහ සමෝධානිත වැඩපිළිවෙළක් බලධාරීන්ට ඉදිරිපත් වී තිබේ. 2020 ජූලි 22 වැන දින පත් කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු එම ‘ශ‍්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම’ 2020 දෙසැම්බර් 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇත. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවත් (කෝපා කමිටුව) එය අනුමත කර ඇත. නමුත් දැනට වසරකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් එම සැලැස්ම හමස් පෙට්ටියේ සඟවා ඇත. අලි-මිනිස් ගැටුම අවම කරගැනීමට ඉතා යෝග්‍ය සැලැස්මක් මෙසේ සඟවා තබාගෙන ගතවන දිනයක් දිනයක් පාසා ජීවිත සහ දේපොළ රැසක් රටට අහිමි කරමින්, ජන ජීවිත කබලෙන් ලිපට ඇද දමමින් අදාළ බලධාරීන් මේ මොහොතේ ද ජාතික උද්‍යානවල පස් ටිකටත් වැඩය දීමට දත කෑම පිළිකුල් සහගතය.

පාලකයන්ගේ නොදැනුවත්කම

වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන අවිනිශ්චිත සහ අර්බුදකාරී තත්ත්වයට මූලික හේතුව පාලකයන්ගේ නොදැනුවත්කම බව කිවයුතු නැත. පාලකයන් සියල්ල දත්තවුන් විය යුතු බව එමගින් අදහස් නොකෙරේ. නමුත් ඔවුන්ට ඒ සඳහා සුදුසු පුද්ගලයන් ගෙන් සහ ආයතනවලින් උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා ගැනීමට හැකියාව ඇත. නමුත් ඒ වෙනුවට ඔවුන් සිදුකරන්නේ තමන් බුද්ධිමත් යැයි පෙන්වන රැවටිලිකාරයන් ගෙන් අනුශාසනා ලබා ගැනීම ය. උදාහරණයක් ලෙස වර්තමාන ආණ්ඩුවේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය නම් පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථය අයත් වෙන්නේ වන ජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ය. නමුත් එහි අමාත්‍යවරයා ට සහ පරිපාලන ප‍්‍රධානියා ට තම දැනුම් තේරුම් පරාසය අනුව බුද්ධියට ගෝචර වී ඇත්තේ ඔය කියන පුළුල්, සංකීර්ණ සහ විද්‍යාත්මක විෂය පථයෙන් ‘අලිවැට හා අගල්’ පමණි. අලි-මිනිස් ගැටුම අවම කිරීම අන්තර් ආයතන සහයෝගයෙන් සිදුකළ යුතු සාමූහික ක‍්‍රියාවක් බව අබැටක් තරම් වත් මොළයක් ඇති ඕනෑම කෙනකුට වැටහේ. නමුත් ඒ බව නොවැටහෙන අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විශ්වාසය තබන්නේ භෞතික බාධක කෙරෙහි ම පමණි. ශ‍්‍රී ලංකාවේ අනෙකුත් පාරිසරික සහ ස්වභාවික සම්පත් සම්බන්ධ තීරණ ගනු ලබන ආයතනවල තත්ත්වය ද ඊට අඩු වැඩි වශයෙන් සමානය. වඩාත් අවාසනාවන්ත කරුණ ඔවුන් තම නොදැනුවත්කම පිළිනොගැනීම ය. තමන්ගේ අඩුපාඩු පෙන්වා දෙන පාර්ශ්ව වෙත ද්වේශ කරමින් අත්තනෝමතිකව ක‍්‍රියා කිරීම ය. එම අත්තනෝමතිකත්වය අපේ රටේ ගමන් මඟ කොහෙන් නතරකරනු ඇති ද යන්න උභතෝකෝටිකය කි.

සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment