සාමණේර හිමියන්ට අතවර කළැයි විහාරාධිපති ඇතුළු තවත් දෙනමක් කූඩු

116

එකොළොස් හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලෙස අතවර කළ එම විහාරාධිපති හිමි සහ තවත් දෙනමක් ඊයේ (11 දා) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 43 හැවිරිදි විහාරාධිපති හිමියන් සහ 17 වියැති දෙනමක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අතවරයට පත් සාමණේර හිමි නමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදුකළ අතර උන්වහන්සේලා විහාරස්ථානයෙන් පලාගොස් තිබුණි.

ඉකුත් මැයි 04 දා නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණය පොලිසියට නියෝග කර තිබුණි. ඒ අනුව පලාගොස් සිටි ස්වාමීන් වහන්සේලා තුන්නම ඊයේ (11 දා) පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විහාරාධිපති හිමි සහ අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමරවලදී සාමණේර හිමිනමට වරින් වර බරපතළ ලෙස අපයෝජන සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පැවසීය. අතවරයට පත් සමණේර හිමි වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවද සඳහන් වේ. සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සඳහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදී ඇති බව පොලිසිය පැවසීය. ස්ථානාධිපති ප්‍ර.පො.ප. උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment