සිංහල අවුරුදු උත්සව පුරාණය

1473

මෙයට අවුරුදු 5000 කට පමණ පෙර දියුණු ශිෂ්ඨාචාරයකට නෑකම් කියූ යුප්‍රටීස් – ටයිග්‍රීස් දෙගම්මැද විසූ සුමේරියන්වරුනුත් (වර්තමාන ඉරාකය) නයිල් නිම්න ශිෂ්ටාචාරය ගොඩ නැගූ මිසරවරුනුත් මැදපෙරදිග ග්‍රීක්වරු හා හිටයිට්වරුනුත් හිරු මුල්කරගෙන උත්සව පවත්වා තිබේ. එයට හේතුව හිරුගේ වාර්ෂික ගමන්කිරීම අනුව ශීත, වසන්ත, ග්‍රීස්ම, සරත් යන ඍතු සිදුවන බව ඔවුන් සොයාගත් බැවිනි. පසුව ඔවුහු හිරුගේ වාර්ෂික ගමන ඇතුළත් ලිත් සාදාගත්හ. එය අවුරුදු උත්සවය ආරම්භයට මඟ පැදීය. බොහෝ රටවල අවුරුදු උත්සව ආරම්භ වන්නේ සීත ඍතුව ගෙවී වසන්ත සමය ආරම්භ වන වකවානුයේය. එබැවින් ඒවා ‘වසත්කෙළි’ ලෙසද ඇතැම් අය හැඳින්වූහ.

සිංහල ජන සමාජය තුළ එහි පැවැත්මට අදාළ වන්නා වූ සාරධර්ම රාශියක් පෝෂණය කරන වැදගත්ම ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුදු උත්සවයයි. එහි ආරම්භය සිංහල ජාතියේ ආරම්භය තරමටම පැරණි වන අතර එහි විශේෂත්වය වන්නේ සිරිත් විරිත් රාශියක් මුල්කරගෙන පවත්වනු ලැබීමයි. මෙම සිරිත් විරිත් යුගයෙන් යුගයට වෙනස් වෙමින්, අලුත් වෙමින් අද පවතින තත්වයට හැඩ ගැසී ඇත.

මෙරට ජීවත් වන ප්‍රධාන ජන කොට්ඨාස දෙක වන සිංහල හා දෙමළ ජාති දෙකම එකට සමරණ උත්සවය අවුරුදු උළෙලයි. එම නිසා එය සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෙසද හැඳින්වෙයි. මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කොට ඇත්තේ සිංහල උවුරුදු උළෙල හිංදු ආභාෂයෙන් ආ සංස්තෘකියේ බලපෑම නිසා ඇතිවූවක් බවය. එයින් පැහැදිලි වන්නේ ආර්යන්ගේ ලංකා ගමන සමඟම ඔවුන්ගේ ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් ආදිය අපටත් උරුම වූ බවයි.

අපේ ඓතිහාසික ලේඛන අනුව මුල් කාලයේ අවුරුදු උත්සවයක් පැවැත්වුන බවට සාධක නොමැත. වෙසක් උත්සවය ගැන මහාවංශයේ බොහෝ තොරතුරු සඳහන් වෙතත් අවුරුදු උළෙල ගැන සඳහනක් නැත. මාහාචාර්ය මැන්ඩිස් රෝහණධීර මහතා සඳහන් කරන්නේ අවුරුදු උත්සවය ගැන පළමු සටහන හමුවන්නේ ක්‍රි.ව. 15 වන සියවසේදී බවයි. හයවන වන පරාක්‍රමභාහු රජුගේ මෑණියන් වන සුනේත්‍රා මහා දේවිය පැපිලියානේ ඉදිකළ පිරිවනේ පිහිට වූ සෙල්ලිපියක අවුරුදු පූජාව ගැන සටහනක් ඇති බව එතුමා පවසයි. එහෙත් වෙනත් තොරතුරුවලින් අවුරුදු උත්සවයට සමාන උත්සවයක් මෙරට පැවති බවට තොරතුරු හෙළි වේ. මුලින්ම මෙරට ජනාවාස කළ ආර්යයන් එකල ඉන්දියාවේ පැවති ‘ගිරග්ග සමජ්ජ’ වැනි සැණකෙළිවලට අනුව මෙරටදීද වාර්ෂික සැණකෙළි පවත්වා ඇතැයි සිතිය හැක. මිහිදු හිමි ලංකාවට වැඩිය අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමා ‘නැකැත් කෙළි’ය සඳහා පිටත්ව ගොස් සිටි බව සඳහන් වේ. නැකැත් කෙළිය යන වචනය යෙදීම වැදගත් කරුණකි. වර්තමාන අපේ අවුරුදු උත්සවය සම්පූර්ණයෙන්ම නැකැත් මුලකරගෙන පවත්වනු ලබන්නකි. ඒ අනුව අවුරුදු උළෙල එදා නැකැත් කෙළියේ සම්භවයක් විය හැක. කෝට්ටේ සමයේ ලියැවුන ගුත්තිලයේ සඳහන් වන උදේනිපුර සැණකෙළිය මිනිසුන් කා බී විනෝද වූ උත්සවයකි.

රැගත් සුරා පිරූ විතින්
සුරත් තැඹුරු පෙතිසි නෙතින්
සුවත් නොදෙන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්

මේ අනුව මෙය මෙකල අවුරුදු උළෙල වැනිම සැණකෙළියෙකි . ඇත්තටම එය අවුරුදු උත්සවය විය හැකිය.

අනුරාධපුර සමයේ නැකැත්කෙළි පැවතී ඇත්තේ පොසොන් මාසයේය. එහෙත් අවුරුදු උළෙල යෙදෙනේ අප්‍රේල් මාසයේය. එය පැවැත්වෙන්නේ සූර්යා මුල්කරගෙන පැවැත්වෙන උත්සවයක් ලෙසය. මිනිසුන් හිරු මුල්කරගෙන උත්සව පැවැත්වීමට පෙළඹී ඇත්තේ ඇයි දැයි යන්න මෙහිදී විමසා බැලිය යුතුය. මුළු මහත් ලෝකයේම කුදුමහත් සෑම දෙයක් කෙරෙහිම අසීමිත බලපෑමක් කරන්නේ සූර්යාය. ඒ අනුව ආදිම මිනිසා සූර්යා තමා කෙරෙහි බැල්ම හෙලා සිටින දෙවියෙකු ලෙස සලකා පුද පූජා කළේය. ‘හිරු දෙවි’ ඇදහීම ඇතිවූයේ එසේය.

සිංහල අවුරුදු උත්සව පුරාණය

සූර්යා මුල්කරගෙන අවුරුදු උත්සව පවත්වන පෙරදිග ජාතිහු අප්‍රේල් මාසයේ මැදට යෙදෙන විශේෂ දිනයක් ඒ සඳහා යොදාගත්හ. එම දිනය සමාන රාත්‍රී හා දවල් ඇති දිනයයි. භාරතීයන් මෙදින පැවැත්වෙන උත්සවය හදුන්වන්නේ ‘විෂුවෝත්සවය’ ලෙසය මෙම දිනය අප්‍රේල් මස 13 ට හෝ 14 ට යෙදේ.

මෙයට අවුරුදු 5000 කට පමණ පෙර දියුණු ශිෂ්ඨාචාරයකට නෑකම් කියූ යුප්‍රටීස් – ටයිග්‍රීස් දෙගම්මැද විසූ සුමේරියන්වරුනුත් (වර්තමාන ඉරාකය) නයිල් නිම්න ශිෂ්ටාචාරය ගොඩ නැගූ මිසරවරුනුත් මැදපෙරදිග ග්‍රීක්වරු හා හිටයිට්වරුනුත් හිරු මුල්කරගෙන උත්සව පවත්වා තිබේ. එයට හේතුව හිරුගේ වාර්ෂික ගමන්කිරීම අනුව ශීත, වසන්ත, ග්‍රීස්ම, සරත් යන ඍතු සිදුවන බව ඔවුන් සොයාගත් බැවිනි. පසුව ඔවුහු හිරුගේ වාර්ෂික ගමන ඇතුළත් ලිත් සාදාගත්හ. එය අවුරුදු උත්සවය ආරම්භයට මඟ පැදීය. බොහෝ රටවල අවුරුදු උත්සව ආරම්භ වන්නේ සීත ඍතුව ගෙවී වසන්ත සමය ආරම්භ වන වකවානුයේය. එබැවින් ඒවා ‘වසත්කෙළි’ ලෙසද ඇතැම් අය හැඳින්වූහ.

හිරුගේ ගමන අනුව ලිත් සෑදීම ආරම්භ වන්නේ ඉන්දියාවේ සිටි බෞද්ධ රාජ පරම්පරාවක් වන ‘ශක’ රාජවංශයේ ආරම්භයත් සමඟය. මේ නිසා දැනුදු අවුරුදු නැකැත්කරුවෝ නැකැත් සාදන්නේ ශක වර්ෂ ක්‍රමය අනුවය. වසර 2023 අප්‍රේල් මස උදාවූයේ 1945 ශක වර්ෂයයි. එ ක්‍රිස්තු වර්ෂයෙන් වසර 78 ක් පසුව ඇරඹී ඇත. ලිත් ක්‍රමය අනුව සූර්යා මේෂ රාශියෙන් ගමන අරඹා රාශි 12 ක ගමන්කර මීන රාශියෙන් යළිත් මේෂ රාශියට සංක්‍රමණය වන්නේ අප්‍රේල් 13 හෝ 14 ය. එම සංක්‍රාන්ති කාලය නැකැත් නැති කාලයකි. නැකැත් නැති කාලය ‘නොනැකැත්’ කාලයයි නොනගතය වී ඇත්තේ එම කාලයය. කිසිම සුබ වැඩකට නුසුදුසු මෙම කාලය සුදුසු වන්නේ පිං කටයුතුවලටය. බෞද්ධයන් එම කාලය හදුන්වන්නේ ‘පුණ්‍ය කාලය’ ලෙසය.

බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළඳා වහන්සේ ලංකාවට වැඩමවීමත් සමඟ එය රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතයක් බවට පත්විය. දළඳා වහන්සේ මහනුවර වැඩමවීමත් සමඟම ‘දළඳා සංස්කෘතියක්’ මහනුවර කේන්ද්‍රකොටගෙන නිර්මාණය විය. ඒ අනුව දළඳා වහන්සේට කරන එදිනෙදා පුද පූජාවලට අමතරව ප්‍රධාන මංගල්‍යය හතරක්ද ඇරඹිණි. සතර මංගල්‍යය නමින් හඳුන්වන සම මංගල්‍යය 04 අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. එම සතර මංගල්‍යය වන්නේ අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහැර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන සතරයි.

මහනුවර යුගයේ අවුරුදු මංගල්‍යය රජතුමාගේ හා රජමාලිගාවේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන උත්සවයක් බවට පත්ව ඇත. එදා අවුරුදු උළෙලේ ස්වරූපය දැනගැනීම සඳහා රොබට් නොක්ස් සහ වෛද්‍ය ජෝන් ඩේවි තබන ලද සටහන් ඉතා වැදගත් වෙයි. ඩේවි ලංකාවේ සිටියේ 1810 සිට 1820 තෙක්ය. ඔහු පැරණි තොරතුරු එකතුකරගෙන සිය කෘතිය කළ බව සඳහන් කරයි. රොබට් නොක්ස් ලංකාවේ සිරකරුවකු ලෙස සිටියේ දෙවන රාජසිංහ රජු සමයේය. දෙදෙනාම සඳහන් කරන්නේ එක සමාන තොරතුරුය.

අවුරුදු උදාවට පෙර රජවාසල දෛවඥවරුන් නැකත් වේලාවන් පිළියෙළ කරන අතර රජවාසල වෛද්‍යවරුන් හිසතෙල් ගෑම සඳහා ඖෂධීය යුෂ පිළියෙළ කරණු ලැබෙයි. විවිධ ඖෂධ ශාක මිශ්‍රනයෙන් මෙම යුෂ පිළියෙළ කරණුයේ නාථ දේවාලයේදීය. එය මහත් ආයාසයෙන් සිදු කළ කාර්යයි. අවශ්‍ය කොළ වර්ග හා බෙහෙත් වර්ග ඒ ඒ ප්‍රමාණයෙන් ගෙන කොටා තම්බා මිරිකා යුෂ ගෙන ඒවා මුට්ටිවල පුරවා වැසුම් යොදා (සුදු රෙදි කඩකින් කට වසා) රජවාසලට ගෙනයයි. අනතුරුව මහනුවර අවට විහාර දේවාලවලට ඒවා බෙදා හරිනු ලැබේ. වර්තමානයේ දී නාථ දේවාලයේදී මෙම නානු පිළියෙළ කිරීම නොකෙරේ. දළඳා මාළිගාවේ කාර්ය කෝරාල විසින් නියම කරනු ලබන ඖෂධ වට්ටෝරුව අනුව දළදා මාළිගාවේදීම මෙම නානු පිළියෙළ කරනු ලැබේ. වර්තමානයේදී මහනුවර අවට විහාර දේවාල 83 කට මෙම යුෂ බෙදා හරින බව දළඳා මාලිගාවේ කාරිය කෝරාල කරුණාතිලක මහතා අප සමඟ පැවසීය. මහනුවර රජ දවස මූළික කටයුතු සංවිධානයේදී සැරසිළි කිරීමද අත්‍යාවශය කරුණක් ලෙස සැලකූ බව නොක්ස් සඳහන් කරයි. ඒ අනුව රජවාසල දොරටුවක් පාසා තොරන් බැඳ සැරසිලි කර බව ඔහු සඳහන් කරයි.

මෙලෙස මූලික කටයුතු සංවිධානය කිරීමෙන් පසු නැකැත් වේලාව අනුව ඒ ඒ චාරිත්‍ර පවත්වනු ලැබේ. ඩේවිගේ විස්තරය අනුව අවුරුදු මංගල්‍ය ප්‍රධාන අංග 6කින් සමන්විත වේ. එනම් අවුරුදු උදාව, හිසතෙල්ගෑම, ආහාර අනුවභවය, වැඩ ඇල්ලීම, ස්නානය, රජතුමාට අලුත් අවුරුදු තෑගි පිරිනැමීම යන අංග හයයි.

පළවෙනි අංගය වන අවුරුදු උදාවන මොහොතේදී රජතුමා නිලමේවරු පිරිවරා සිංහාසනාරූඩ වී සිටියදී පොඩිතුවක්කු වෙඩි මගින් අලුත් අවුරුදු උදාව නුවර වැසියන්ට සන්නිවේදනය කෙරේ.

දෙවන අංගය හිස තෙල් ගෑමය. තෙල් යනුවෙන් අදහස් කරන්නේ නාථ දේවාලයේ පිළියෙළ කළ නානුය. ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ රජවාසලදීය. නොක්ස්ගේ විස්තරයට අනුව රජතුමා සිංහාසනාරූඩ වූ පසු ප්‍රභූ පවුල්වලින් තෝරාගත් කන්‍යාවෝ කිහිපදෙනෙක් දකුණතින් බුලත්ද, වමතින් කහදිය හා කැකුළු සහල් බහාලු රිදී තැටිද ගෙන රජුගේ පසෙකින් සිටිති. දැල්වූ පොල්තෙල් පහනක්ද පසෙකින් වේ. ඉදිරිපස බිමට එක් කොළ වර්ගයක් දමා ඇති අතර උඩින්ද කොළ වර්ගයක් එල්ලා තිබේ. බිම දැමූ කොළ වර්ගය මත පා තබා ගන්නා රජතුමා වම් අතින් කොළ වර්ගයක් ගෙන දකුණේ ඇඟිලිවලින් බෙහෙත් දියර (නානු) ස්වල්පයක් හිසේ ගා ගනී. එවිට කන්‍යාවෝ හා අධිකාරම්වරු රජුට දීර්ඝායුෂ පතති.

තුන්වෙනි අංගය නැකතට ආහාර අනුභව කිරීමයි. ජයතුමා පළමුව විශේෂයෙන් පිළියෙළ කරන ලද ආහාරයෙන් ටිකක් අනුභව කොට රැස්ව සිටින නිලමේවරුන්ටද ටික ටික බෙදා දෙයි. මෙය හඳුන්වන්නේ (දින භෝජම) යනුවෙනි ඔහුද එය අනුභව කරති. මෙදින රාත්‍රියේ නිලමේවරුන් සඳහා රජවාසල භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ඩේවි සඳහන් කරයි. නැකැත් අනුව එම සංග්‍රහය එදින හෝ පසුව දිනකින් දෙකකින් හෝ යොදා ගත් බව ද ඔහු දක්වයි.

සිවුවන අංගය වූ නැකතට වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමද අලුත් අවුරුදු මංගලයයේ වැදගත් තැනක් ගනී. නිලමේවරු සහල්, පොල්, පලතුරු වැනි ද්‍රව්‍ය මහ ගබඩාවට භාර දී සමාන වෙනත් භාණ්ඩවලට හුවමාරු කරගනු ලැබේ. මෙදින මහ ගබඩාව සාමාන්‍ය වැසියන්ටද විවෘතය. ඔවුන් විසින්ද සුළු සුළු ද්‍රව්‍ය හුවමාරු කරගනු ලැබේ. එසේම සියළුම වැසියෝ තම ඥාති මිත්‍රාදින් සමඟ සුහඳත්වයේ සංකේතයක් ලෙස තෑගි බෝග පිරිනමා ගැනීමටද මෙම දිනය යොදා ගත් බව ඩේවි සඳහන් කරයි.

පස්වන අංගය වූ ස්නානය කිරීමද හිසතෙල් ගෑමේ මංගල්‍යට බෙහෙවින් සමානය. ඒ සඳහා අවශ්‍ය ඖෂධීය යුෂ සුවඳතෙල් නාථ දේවාලයේදී පිළියෙළ කොට බෙදා හරී. ස්නානයෙන් පසු නිලධාරීහු රජු බැහැදැකීමට පැමිණෙති. එසේ පැමිණ තුන්වරක් දණින් වැටී නමස්කාර කරති. පසුව රජු නිලධාරින් සමඟ දළඳා මාලිගාවට ගොස් පුද පූජා පවත්වති.

එදා සමාජ සංවිධානය අනුව අවුරුදු උළෙලේ ප්‍රධානත්වය ගත්තේ රජු හා රජ මාලිගාවයි. සිංහල රාජ්‍යයේ පිරිහීමත් සමඟම ඒ ඒ ප්‍රදේශවල ප්‍රභූවරුන්ගේ නිවෙස් හෝ ගමේ පන්සල අවුරුදු සිරිත් පැවැත්වීමේ මූලිකත්වය ගෙන ඇත.

අවුරුදු උත්සවය සම්බන්ධව සිරිත් විරිත් රාශියක් ජන සමාජය තුළ ගොඩනැගී ඇත. එම සිරිත් විරිත් ගොඩනැගී ඇත්තේ සමාජ ජීවිතයේ අත්‍යාවශ්‍ය වන සාමූහික ජීවන රටාව කෙරෙහි මිනිසුන් දිරිගන්වන ලෙසටය. අවුරුදු උළෙලට සම්බන්ධ නැකැත්කෙළි, කෙළිසෙල්ලම්, සිරිත් විරිත් සියල්ලක්ම සමූහයක් විසින් කළ යුතු සාමූහික දේවල් බවට පත්ව ඇත්තේ මේ නිසාය.

මෙම සිරිත්විරිත් සමහරක් අභාවයට යමින් අලුත් චාරිත්‍ර වාරිත්‍ර එකතු වෙමින් සිංහල අවුරුදු උළෙල මෙරට ප්‍රධානතම ජනතා සැණකෙළිය ලෙස චිරාත් කාලයක් පවතිනු ඇත.

● විජේරත්න අතුරුපාන

advertistmentadvertistment
advertistmentadvertistment