සිටිලීග් සභාපති කුසලාන පාපන්දු හෙට සිට

68

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලිය හෙට (17 වැනිදා) ප.ව. 3.00ට කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී ආරම්භ වේ.

කණ්ඩායම් පහකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අදාළ තරගාවලියේ ශූරයන්ට රුපියල් 150,000ක් සහ අනුශූරයන්ට රුපියල් 100,000ක් වශයෙන් පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි පෙරේදා (14 වැනිදා) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සිටි ලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතා පැවසීය.

කොළඹ සිටි පාපන්දු ලීගය විසින් 06 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙවර තරගාවලියේ සෝන්ඩර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්ද්‍රීව උදාර, කොළඹ පාපන්දු සමාජයේ නායකයා වශයෙන් අෆිෆ් මොහොමඩ්, ජාවාලේන් කණ්ඩායමේ නායකයා වශයෙන් මොහොමඩ් අලීම්, මාලිගාවත්ත යූත් කණ්ඩායමේ නායකයා වශයෙන් මොහොමඩ් සෆ්රාස් සහ මොරගස්මුල්ල කණ්ඩායමේ නායකයා වශයෙන් හංස කල්හාර කටයුතු කරනු ඇත.

එම මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතා ‘ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවී ඇති මොහොතක ක්‍රීඩකයින්ට ප්‍රධාන තරගාවලි අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඇතැම් ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් සමුගන්න තත්ත්වයකට ඇවිත් තියෙනවා. එවැනි වෙලාවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් දෙමින් මේ තරගාවලිය පැවැත්වීම ඉතාමත් වැදගත්. ඒ වගේම මේ තරගාවලිය මගේ පෞද්ගලික මුදල් වැය කරමින් තමයි මෙවර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ’ යැයි ද පැවසීය.

මෙම තරගාවලියෙන් අනතුරුව වයස අවුරුදු 19න් පහළ තරගාවලියක් පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින කොළඹ සිටි පාපන්දු ලීගය, සිටි ලීග් පාපන්දු සභාපති කුසලාන තරගාවලිය මෙවර පවත්වන්නේ 6 වෙනි වතාවටය.

අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාවය සෝන්ඩර්ස් කණ්ඩායම විසින් දිනා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment