සියල්ල අහිමිව ගහක් උඩ පැලක දිවි ගෙවූ දරු පවුලට පිහිටවූ මැදවච්චියේ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ දානපතියෝ

589

ශ්‍රම දායකත්වය හමුදාවෙන්

ගසක් උඩ අනාරක්ෂිත පැලක කුඩා දියණියක් සමග ජීවත් වූ අසරණ පවුලකගේ නිවාස සිහිනය සැබෑ කිරීමට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මිය කටයුතු කළේය.

මීට මාස කිහිපයකට පෙර මෙම පවුල ජීවත් වූ කටු මැටි වරිච්චි බිත්තිවලින් සමන්විත කුඩා නිවස වල් අලි ප්‍රහාරයක් හමුවේ බිමට සමතලා විය. අනතුරුව සියල්ල අහිමි වූ පාඩික්ගම ගම්මානයේ වැව්තාවුල අසල පදිංචිව සිටි එච්. බී. උපාලි රණවීර පියා සහ අනෝමා ප්‍රියදර්ශනී මව තම නව හැවිරිදි දියණියත් සමග කදුරු ගසක තනාගත් අනාරක්ෂිත පැලක දිවි ගෙවූහ.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. බොහෝ ගම්වාසීන් තම මූලික ජීවනෝපාය ලෙස ගොවිතැන සිදු කරයි. දිනෙන් දින උග්‍ර වූ අලි මිනිස් ගැටුම හමුවේ එදාවේල වෙනුවෙන් කර්කශ වූ මහපොළොවත් සමග පොරබදිනා මේ අහිංසක මිනිසුන් දෙස බොහෝ දානපතියන්ගේ ඇස් ගැටෙන්නේද එම නිසාවෙනි. ඒ අනුව මෙම පවුල උන්හිටිතැන් අහිමිව අසරණ වී සිටින බව සැළ වූ සැනින් එම ස්ථානයට ගිය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්තුමිය එම පවුල අනාරක්ෂිතකමින් මුදවා ගැනීමට පිඹුරුපත් සැකසූහ. ඇමරිකාවේ පදිංචි රත්නහපන්ගම මහතාගේ පූර්ණ මූල්‍යමය දායකත්වයෙන් හා පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම පවුල සඳහා රුපියල් ලක්ෂ 35 ක වියදමින් අංග සම්පූර්ණ ආරක්ෂිත නිවසක් එම ස්ථානයේම ඉදිකිරීමට හැකිවිය. එය වන්නි ආරක්ෂක සේනාධිපති මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතාගේ හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පවුල වෙත භාරදීම ඊයේ (29 දා) උදෑසන සිදු කෙරිණි. එම අවස්ථාවට ඇමරිකාවේ පදිංචි රත්නහපන්ගම මහතාගේ ඥාතීන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment