සිරුරේ සඟවාගෙන රත්‍රං පිට කිරීමට තැත් කළ ගුවන්තොටේ සේවිකාවට ඇප

2366

නීති විරෝධී ලෙස රැගෙන ආ රත්රන් සහිත ජෙල් ද්‍රාවණයක් අඩංගු කිලෝ ග්‍රෑම් පහක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාව ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඊයේ (10 දා) නියෝග කළාය.

තම නීතිඥයන් මාර්ගයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සහාය ලබාදෙන බවට වූ පොරොන්දුව සමඟ මෙසේ ඇප පිට මුදාහරිනු ලැබුවේ දිවුලපිටියේ පදිංචි එස්. කේ. අප්පුහාමි නමැති 24 වියැති තරුණියකි.

ඉකුත් 4 වැනිදා උදෑසන රත්‍රං මිශ්‍ර ජෙල් තොගය සිරුරේ සඟවාගෙන ගුවන්තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්‍ෂක නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ රේගුව වෙත භාර දී තිබූ අතර රේගු විමර්ශනවලින් පසුව අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ජනාධිපති නීතිඥ උනම්බුව මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික ද සිල්වා මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.
මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment