සීනි බදු වංචාවේ සල්ලි ආපසු අය කරගමු

274

● සීනි මගඩියෙන් රජයට රුපියල් මිලියන 16.763ක බදු ආදායමක් අහිමිවෙලා.

සතොසට රුපියල් මිලියන 102ක පාඩුවක්.

● ආනයන බලපත්‍ර සඳහා පනවනු ලැබූ දඩ මුදල අඩුකිරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් 433,120,147ක ආදායමක් අහිමිවෙලා.

රජය මගින් 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී පාරිභෝගිකයාට සහනයක් ලබාදීමේ අරමුණින් සීනි ආනයනය කිරීමේ දී සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50සිට ශත 25 දක්වා අඩුකිරීමට කටයුතු කරණු ලැබීය. එහෙත් මෙකී බද්ද අඩුකිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබුණි. බදු මුදල අඩුකිරීමෙන් වූ සීනි මගඩිය පිළිබඳ එකල සමාජය තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබුණි. සීනි බදු මුදල අඩුකිරීම නිසා රජයට හිතවත් එක්තරා සමාගමක් විසින් කෝටි ගණනක විශාල මුදලක් උපයාගත් බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවිය. ඒ විතරක් නොව තම ගජමිතුරන්ට වාසි සැලසීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ බදු මුදල අඩුකළ බවටද චෝදනා එල්ලවිය.

සිදුවූ බව කියන සීනි මගඩිය පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් කරණු ලැබූ ඉල්ලීමකට අනුව ජාතික විගණන කාර්යාලය මගින් මේ පිළිබඳ විශේෂ විගණනයක් කරණු ලැබීය. එම විගණන වාර්තාව මේ වනවිට නිකුත්කොට තිබේ. විගණන වාර්තාවට අනුව සීනි ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. දුප්පතාගේ සිට මහමන්දිරවල
දිවිගෙවන පුද්ගලයාටද සීනි අතවශ්‍ය භාණ්ඩයකි. සීනි සමග තේ කහට උගුරක් පානය කරනු ලබන අතිබහුතරයක් දුප්පතුන්ය.

අලුත් අවුරුදු කාලයේ දී සීනි සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. මේ වන විට සීනි කිලෝවක මිල අහස උසට නැඟ තිබේ. ඒ කොයිහැටි වුවද සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසු මාස 04ක් හා දින 14ක කාලයක් තුළදී රජය රුපියල් මිලියන 16.763ක බදු ආදායමක් අහිමිකරගනු ලැබීය. මේ නිසා රාජ්‍ය ආයතනයක් වන ලංකා සතොස ආයතනයටද 2020 ඔක්තෝබර් මස 14 දින සිට පෙබරවාරි මස 08 වැනි දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 102ක පාඩුවක් වී තිබුණි.

රජය විසින් සීනි සඳහා ලබාදුන් බදු වාසිය රට්ටුන්ට නම් නොලැබුණි. ගජමිතුරන් පිරිසක් තම මඩිය තරකර ගනු ලැබීය. සීනි සඳහා පනවා තිබූ බදු මුදල අඩුකළද එම කාලය තුළ පාරිභෝගික ජනතාවට දැනෙන ආකාරයේ සීනි මිලෙහි වෙනසක් සිදුනොවීය. ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට සුදු හා රතු සීනිවල මාසික පාරිභෝජනය මෙටි්‍රක් ටොන් 50000කි. එහෙත් මෙරට මාසික සීනි නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 4359කි. අප රටේ වාර්ෂික සීනි පාරිභෝජනය මෙටි්‍රක් ටොන් 6,10000කි. එහෙත් මෙරට වාර්ෂික සීනි නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 52.308 කි. එම ප්‍රමානය අප රටේ සමස්ත සීනි පරිභෝජනයෙන් සියයට 09 කි. පාරිභෝගික ජනතාවගේ සහ විවිධ කර්මාන්තවල අවශ්‍යතාවයන් සඳහා ඉතිරි සීනි තොගය විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදුවී ඇත.

1974 වර්ෂයේදී සීනි මෙටි්‍රක් ටොන් 46ක් ආනයනය කරමින් මෙරටට සීනි ආනයනය ආරම්භ කරනු ලැබීය. සාමාන්‍යයෙන් වර්ෂයකට මෙරටට සීනි මෙටි්‍රක් ටොන් 5,96,000ක් පමණ ආනයනය කරණු ලැබේ. සීනි සඳහා බද්ද අඩුකිරීමට ප්‍රථම එනම් 2020 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට ඔක්තෝබර් මස 13 වැනි දින දක්වා මාස 09 කාලය තුළ මෙරටට සීනි ආනයනය කරනු ලබන ප්‍රධාන ආනයනකරුවන් 09 දෙනකු විසින් සුදු සීනි කිලෝග්‍රෑම් 391,945,899 ක් ආනයනය කොට තිබුණි. අනිකුත් ආනයනකරුවන් විසින් ආනයනය කොට තිබුණේ සුදු සීනි කිලෝ ග්‍රෑම් 46,729,862කි.

එහෙත් බදු මුදල අඩුකිරීමෙන් පසු ප්‍රධාන ආනයනකරුවන් 09 දෙනකු සහ සුළු ආනයනකරුවන් විසින් සුදු සීනි මෙටි්‍රක් ටොන් 277,715 ක් මෙරටට ආනයනය කොට තිබුණි. ඒ 2020 ඔක්තෝබර් මස 14 දින සිට පෙබරවාරි මස 28 දක්වා කාලය තුළදීය. බදු මුදල අඩුකිරීමට ප්‍රථම මෙරට මාසක සීනි ආනයන කිලෝග්‍රෑම් ප්‍රමාණය 666,660කි. බදු මුදල අඩුකිරීමෙන් පසු මාසික සීනි ආනයනය කිලෝග්‍රෑම් 27,823,489 ක් දක්වා අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබුණි.

සීනි බදු වංචාවේ සල්ලි ආපසු අය කරගමු

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසු මෙරටට ආනයනය කොට තිබූ සීනි මෙටි්‍රක් ටොන් 277,715 ක් ඇතුළත් සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට ඇත්තේ පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසිනි. එම සමාගම විසින් සීනි මෙටි්‍රක් ටොන් 125207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ විල්මා පුද්ගලික සමාගමේ සීනි ආනයනය සියයට 1222කින් වැඩිවී තිබුණි. එම සමාගමේ මාසික සීනි ආනයනය කිලෝ ග්‍රෑම් 27,823,989කි.

එම පදනම මත මෙකී සමාගමට රුපියල් 6,229,025,820 ක බදු වාසියක් බදු ගෙවන අවස්ථාවේදී හිමිව තිබුණි. කෙසේ වුවද සීනි ආනයනය කරනු ලැබූ වෙනත් කිසිදු සමාගමක් එම කාලය තුළ පෙර පැවති ආනයන ප්‍රමාණය සියයට 10 ඉක්මවා ආනයනය කර නොතිබුණි. ඒ විතරක් නොව පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසින් බන්ධිත ගුදම් පහසුකම් යටතේ බදු නොගෙවා ආනයනය කරණු ලැබූ සීනි මෙටි්‍රක් ටොන් 7608ක් 2020 ඔක්තෝබර් මස 13 දින වනවිට එම බන්ධිත ගුදමේ රඳවා තිබුණි. එම තොගයෙන් සීනි මෙටි්‍රක් ටොන් 7468ක් බදු අඩුකළ දිනයේම සීනි කිලේග්‍රෑම් 01ක් සඳහා ශත 25ක බද්දක් ගෙවා ගුදමෙන් ඉවත්කර ගැනීමට එම සමාගම කටයුතු කර තිබුණි. එමගින් එම පුද්ගලික සමාගමට එක් දිනක් තුළ රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක් හිමිවී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම බදු සහනය පැවති කාලය තුළදී දුඹුරු සීනි මෙටි්‍රක් ටොන් 59.234ක් ආනයනය කොට තිබුණි. බදු මුදල අඩු කිරීමෙන් පසු දුඹුරු සීනි ආනයනයේ අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබී තිබුණි. එක් ආනයනකරුවකු විසින් සීනි ආනයනය සියයට හයකින් පමණ වර්ධනය කරගෙන තිබූ අතර එහි සාමාන්‍ය අගය සියයට 235කින් පමණ වැඩිවී තිබුණි. දුඹුරු සීනි සඳහා පාලන මිලක් නියම නොකිරීම අසාමාන්‍ය ලෙස සීනි ආනයනයේ වර්ධනයට හේතුවී තිබුණි.

බදු සහන ලබාදීමෙන් පසු සීනි ආනයනය පාලනය කිරීම සඳහා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සීනි ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය. එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වී නොතිබුණි. සීනි ආනයනය කිරීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ සියලුම ඉල්ලුම්කරුවන්ට ඔවුන් ඉල්ලුම් කළ සියලු සීනි තොගයන් ආනයනය කිරීමට ආනයන පාලක විසින් අනුමැතිය ලබා දී තිබුණි. සීනි ආනයනය සඳහා බලපත්‍ර ක්‍රමය 2020 ඔක්තෝබර් මස 30 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතුවිය. එහෙත් බලපත්‍ර නිකුත් කිරීම 2020 නොවැම්බර් මස 18 වන දින දක්වා ප්‍රමාද වී තිබුණි. එම කාලය තුළ බලපත්‍ර නොමැතිව ආනයනකරුවන් 18 දෙනකු සීනි මෙට්‍රක් ටොන් 101,527ක් ආනයනය කිරීමට කටයුතු කර තිබුණි. එහෙත් ආනයන බලපත්‍ර සඳහා පනවනු ලැබූ දඩමුදල සියයට 05 සිට 02 දක්වා අඩුකිරීමට ආනයන හා අපනයන පාලන ජනරාල් විසින් කටයුතු කරනු ලැබීය. දඩමුදල අඩුකිරීමට ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත බලතල නොමැති බව විගණන මගින් අනාවරණය කොට ඇත. මෙසේ දඩමුදල් අඩුකිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් 433,120,147 ක ආදායමක් අහිමිවී තිබුණි. බදු අඩුකිරීමෙන් පසු විශාල වශයෙන් සීනි තොග ආනයනය කිරීමට ආනයනකරුවන් පෙළඹී තිබුණි. මේ නිසා ඩොලර් පිටරටවල්වලට ඇදී යෑම වැළැක්වීමේ අරමුණින් සීනි ආනයනය පාලනය කිරීම සඳහා මෙකී බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. එහෙත් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මාසික සීනි ආනයනය මෙටි්‍රක් ටොන් 61.714ක් දක්වා වැඩිවිය. බලපත් ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර මාසික සීනි ආනයනය මෙටි්‍රක් ටොන් 41 779ක් විය. මේ අනුව බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මාසික සීනි ආනයනය සියයට 47කින් වැඩිවී තිබුණි. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සිය වෘත්තීය වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලංකා සතොසට වූ පාඩුව

සීනි ආනයනය කිරීම සඳහා පැවති වෙළෙඳ භාණ්ඩ බදු මුදල ශත 25 දක්වා අඩුකොට තිබියදී පුද්ගලික ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගැනීම හා පාලන මිල පැනවීම නිසා සීනි අලෙවි කිරීමෙන් ලංකා සතොස ආයතනයට රුපියල් 102,113,974ක පාඩුවක් විණි. සීනි සඳහා බදු අඩුකරන අවස්ථාව වනවිට සතොස සතුව සීනි මෙටි්‍රක් ටොන් 919.4ක තොගයක් තිබී ඇත. එම සීනි තොගය කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 125.41 මිලක් ගෙවා මිලදීගෙන තිබුණි. එම සීනි තොගය රුපියල් 85 බැගින් අලෙවි කිරීම නිසා සතොසට රුපියල් 37,159,974ක අලාභයක් වී තිබුණි. එමෙන්ම සීනි සඳහා පැවති බද්ධ ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුවද ලංකා සතොස ආයතනය විසින් සීනි මොටි්‍රක් ටොන් 2050ක් රුපියල් 92,112, සහ 121.50 යන මිල ගණන් යටතේ මිලදී ගෙන තිබුණි. එසේ වැඩිමිලට මිලදී ගත් සීනි තොගය රුපියල් 85 බැගින් කිලෝවක් අලෙවි කිරීම තුළින් රුපියල් රු. 47,000,000ක අලාභයක් සිදුවී තිබුණි.

සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 80ක උපරිම තොග මිල නියම කිරීමෙන් පසුවද සීනි කි. ග්‍රෑම් 2,378,000ක් එම මිලට වඩා වැඩිමිලට මිලදී ගැනීම හේතුවෙන් 17,594,000 ක පාඩුවක් සතොස ආයතනයට සිදුවී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රාජ්‍ය ආයතනයක් වූ ලංකා සතොස රජය විසින් නියම කරනු ලැබූ පාලන තොග මිලට සීනි මිලදී ගැනීමට කටයුතුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

වෙළෙඳපොළේ සීනි මිල පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීනි සඳහා පාලන මිලක් නියම කරනු ලැබීය. එහෙත් සීනි මිලෙහි වෙනසක් සිදුනොවීය. රජය මගින් පාරිභෝගිකයාට ලබාදුන් වාසිය. සීනි ආනයනකරුවන් හා වෙළෙදුන් විසින් හිමිකරගනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2020 නොවැම්බර් මස 10 දින සිට 2021 ජනවාරි මස 31 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ සිල්ලර වෙළෙඳුන් 113ක් කොටුකරගනු ලැබීය. එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තොග හා සීනි ආනයනකරුවන්ගේ විකුණුම් මිල පිළිබඳ සොයා බැලීමක් සිදුකර නොතිබුණි. ඒ විතරක් නොව සීනි බද්ද අඩුකිරීමට වෙළෙඳපොළේ තිබූ සීනි තොග පිළිබඳ කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත්කර නොතිබුණි.

කෙසේ වුවද සීනි සඳහා වූ බද්ද අඩුකිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයා වෙත නොලැබුණි. එම බදු වාසිය ලබාගත් පාර්ශ්වයන් නිවැරදි ලෙස හඳුනාගෙන ඉදිරියේදී හෝ එම ආර්ථික වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සලකාබැලිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. එසේ නොමැතිනම් රජය විසින් කැපකළ බදු ආදායම රඳවාගත් පාර්ශ්වයන්ගෙන් රජයට ලබාගැනීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත. සීනි ආනයනය හා තොග වෙළෙඳාම සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශය සතුව පවතී. ආනයනකරුවන් හා තොග වෙළෙඳුන් විසින් සීනි තොග අනවශ්‍ය ලෙස රඳවාගෙන තිබේද? සීනි තොග කුමන මිල ගණන් යටතේ අලෙවිකොට තිබේද යන්න පිළිබඳ තොරතුරු ලබාගැනීමට විගණකාධිපතිට අධිකාරි බලයක් නොමැත. එහෙත් මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රමාණවත් දත්ත යාවත්කාලීනකොට පවත්වාගෙන ගොස් නොතිබුණි. මෙම තත්ත්වය තුළ රජය විසින් පාරිභෝගිකයාට ලබාදුන් බදු සහනය කුමන ප්‍රමාණවලින් ආනයනකරුවන් හා තොග වෙළෙදුන් ලබාගත්තේ ද යන්න පිළිබඳ ගණනය කිරීමට නොහැකිවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

● ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment