සුමනා ජීවිත රඟමඬලින්  බැසයයි

506

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය දිවි රඟමඬලින් ඊයේ (05 වැනිදා) සදහටම සමුගත්තාය.

මියයන විට 73 වැනි වියේ පසු වූ ඇය අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියකු ද වූ රෝයි ද සිල්වා මහතාගේ දයාබර බිරිඳ වූවාය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (04 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ ඇය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවාය.

ඇය රංගනයට අමතරව චිත්‍රපට කිහිපයකම නිෂ්පාදකවරියක මෙන්ම සහාය අධ්‍යක්‍ෂවරියක, සංස්කාරකවරියක ලෙස ද කටයුතු කළාය. 1967 වසරේදී ‘පිපෙන කුමුදු’ චිත්‍රපටයේ රඟපාමින් ඇය සිනමා ක්‍ෂේත්‍රයට පිවිසුණාය.

ඉන් අනතුරුව දහසක් සිතුවිලි (1968), හතර පෙරළිය (1969), බිනරමලී (1969), සුමුදු භාර්යා, දැන් මතකද (1970), සමනළ කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ (1971), සිංගප්පුර් චාලි, හතර වටේ, ලොකුම හිනාව, මේ දෑස කුමටද (1972) සුහද පැතුම, සිනාවයි ඉනාවයි, සුනේත්‍රා (1973) දුලීකා, ශීලා (1974) ඔබයි මමයි, සූකිරි කෙල්ල, මගේ නංගී ශ්‍යාමා, රන්වන් රේඛා, සධානා, හදවතක වසන්තය (1975), මංගලා, රන්තිලකා (1976), නීලා, සුදු පරවියෝ, හොඳහිත, රහස් කුමන්ත්‍රණය, ටොම් පචයා, නිවෙන ගින්න (1977), සිතක සුවඳ, මගේ රන් පුතා, දීපාංජලී (1978) සමන්මලී, අනුෂා, නුවන් රේණු (1979), ජෝඩු වළලු, සිල්වා, (1980), බඹා කෙටූ හැටි, අජාසත්ත, සැනසුම, හොඳම නළුවා (1981) පෙති ගෝමර, රහසක් නැති රහසක්, මිහිඳුම් සිහින, කඩවුණු පොරොන්දුව (නව) (1982) සුමිතුරෝ (1983) දවල් මිගෙල් රෑ දනියෙල් ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය සපයමින් සිය කුසලතාව මනාව විදහා පෑවාය.

70 දශකයේ ජනප්‍රිය නිළියක ලෙස හිනිපෙත්තට පැමිණි දෙණිපිටිය විතානගේ සුමනා අමරසිංහ මහනුවර රණවන ප්‍රදේශයේ උපත ලැබුවාය. ගල්කිස්ස බෞද්ධ බාලිකා සහ කළුබෝවිල බුද්ධඝෝෂ යන පාසල්වලින් අධ්‍යාපනය හැදෑරූ ඇය පාසල් වේදිකාවේ අඟුටුමිටියා’ නාට්‍යයේ ‘දික්තලා’ ලෙස මුල්වරට රඟපෑවාය.

1964 වසරේ දෙහිවල මධ්‍ය මහා විiාලයේ පැවති අවුරුදු කුමරි තරගයෙන් මුල්තැන දිනූ සුමනා 1965 දී ‘මිස් මෙරේලාල්’ හින්දි චිත්‍රපටය මෙරට තිරගත කිරීම වෙනුවෙන් පැවති රූ රුජන තරගයෙන් ද සම්මාන දිනා ගත්තාය.

ඒ වසරේම ජනතා පත්‍රයෙන් සංවිධානය කළ ලස්සන මුහුණු තරගයෙන් දෙවැනි ස්ථානය දිනූ ඇය හට ඒ තුළින් සිනමා නිළි වරම් ලැබිණි. එහි විනිසුරු මඬුල්ලේ සිටි රුබී ද මැල් අධ්‍යක්‍ෂණය කළ පිපෙන කුමුදු චිත්‍රපටයේ අනාථ නිවාසකය යුවතියකගේ චරිතය රඟපෑවාය.

සමනල කුමරියෝ චිත්‍රපටයෙහි රෝයි ද සිල්වා සමඟ මුල්වරට ගීතයක් ගැයූ (මංගල මධූ මදිරා) සුනමා චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක වූ අතර, තම සැමියාගේ සෑම නිර්මාණයකම නිෂ්පාදන කෘත්‍යාධිකාරිත්වය දැරිවාය.

රූපලාවන්‍ය ශිල්පිනියක ද වූ සුමනා සැලෝන් සූ රූපලාවන්‍යාගාරයේ අධිපතිනිය වූවාය.

සිනමාවේ සූකිරි කෙල්ල ලෙසින් කලා ලොවේ බොහො අය ආමන්ත්‍රණය කළේ ඇය සතු සුන්දර රංගන විලාශය හේතුවෙනි.

කඩවුණු පොරොන්දුව නව නිර්මාණය කළ ඇය රංගනය වෙනුවෙන් සරසවි කුසලතා සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ශ්‍රී ලාංකේය සිනමා සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ වර්ණවත් වූ තාරකාවක් ලෙස වැජඹුණු සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment