සෝම හිමි මතකය – වසර විස්සකට පසු කතාව !

425

සුපින්වත් මිනිසුනි, යමෙක් ඔබට හොඳ මිනිහෙක් යැයි කියන්නේ නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙළින් තබාගෙන ඇවිදින්නකු නිසා නම් නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතින් වැළකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක් ඔබට ඇති බැවිනි. උසස් කළ හැකි මනසක් ඇති බැවින් ”මනස්ස උස්සන්තතා” යනුවෙන් අර්ථ විග්‍රහය දක්වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වළකා යහපතෙහි යොදවා උසස් මානසිකත්වයක් ඇති මිනිසකු කිරීමට මිස සිතීමේ නිදහස වළකා මන්දබුද්ධිකයකු කිරීමට නොවේ.

සැමදෙනා ම පැවිදි කිරීමට සුදුස්සෝ නො වෙති. එබැවින් පැවිදි කරන ගුරුවරයන් විසින් සුදුස්සන් පමණක් තෝරා පැවිදි කළ යුතු බව පැහැදිලිව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් කර ඇත. සසර දුකින් මිදී නිවන් පුරයට පැමිණීමේ අදහසින් පැවිදි වන්නට එන අය අතුරෙන් ද පැවිදි කළ යුතු අය වන්නේ ඉවසීම ඇති, අන්‍යයන් හා සමගියෙන් වාසය කළ හැකි, සාධාරණ අදහස් ඇති, මෛත්‍රී කරුණා ගුණ ඇති, ගුරුන් ගේ අවවාද අනුශාසනා ආදරයෙන් පිළිගන්නා ස්වභාවය ඇති, ගුරු ගෞරවය ගුරු භක්තිය ඇති අවංක සත්පුරුෂයෝ ය. එබඳු පුද්ගලයෝ ම මේ බුදුසස්නෙහි දියුණුවට පැමිණෙන්නාහ. බුදු සස්න බබලවන්නෝ ද ඔවුහු ම ය. අද සමහර චීවරධාරීන්ගේ වැඩ කටයුතු ගැන බලන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් බුදු සසුන බබළවන්නට නොව අඳුරේ දමන්නට මහත් වෑයමක් දරන බව නම් පෙනී යයි. සමාජ මාධ්‍ය හරහාද භික්ෂුන්ට මෙන්ම ශාසනයටද බරපතළ නිග්‍රහ කරන්නෝ බිහිව ඇත. මේවා පිටුපස බෞද්ධ විරෝධී බලවේග පැහැදිලිව දකින්නට තිබේ. ඇත්තෙන්ම මෙය බරපතළ තත්ත්වයකි. නමුත් මේවාට එරෙහිව කතා කරන්නේ කවරෙක්ද? පසුගිය වසරේ අපොස සාපෙළ විභාගයේදී සිසුන් 39000ක් බුද්ධාගම අසමත්වී ඇති බව හෙළිවූයේ ඉකුත් සතියේය. සමාජය ගමන් කරන්නේ කවර දෙසටද ? සිංහල බෞද්ධ සමාජයේ ඉදිරිය ගැන අපට ඇතිවන්නේ බියකි.

1974 සැප්තැම්බර් මස 24 වැනිදා ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළු වූ ගංගොඩවිල ග්‍රාමයේ උපන් සෝමරත්න සැබවින්ම ගුරු ගෞරවය ගුරු භක්තිය ඇති අවංක සත්පුරුෂයෙක් විය. පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තක් බව කියනු ලබයි. එය සෝමරත්න තරුණයා සතුවිය. පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියන්ගේ සහ අම්පිටියේ ශ්‍රී රාහුල හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් සෝමරත්න, ගංගොඩවිල සෝම නාමයෙන් පැවිද්දට පත් විය. උන්වහන්සේ සැබවින්ම සසුන බැබළවූ බව පැවසීම අතිශෝක්තියක් නොවේ. බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර මූලයේදී සුමේධ තාපසතුමාට නිවන් සැප ලබා ගැනීමට හැකියාව තිබුණද ලෝකයාගේ හිත සුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කර මතු බුදු බව පැතූහ. සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්ෂුවගේ උරුමය ග්‍රන්ථයේ සඳහන් වේ. පැවිදි වූ දා පටන් සෝම හිමියෝ කැපවූයේ පරාර්ථ සේවය සඳහාමය. මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් බොදු ජනයා යහමගට ගැනීමට උන්වහන්සේට හැකිවිණි. මීට වසර විස්සකට පෙර එනම් 2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහමළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප්‍රධාන දේශකයා ලෙස පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ සහභාගි වූහ. එම රැස්වීමේ සිය කථාව පවත්වමින් සිටින අතරතුර උන්වහන්සේ විශේෂ ලිපියක් ගෙන ප්‍රදර්ශනය කළහ. එම ලිපිය ප්‍රදර්ශනය කරමින් සෝම හිමියන් ප්‍රකාශ කළේ තමන්වහන්සේ ඝාතනය කිරීමට ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානයක් මුදල් යොදවා ඇති බවය. ඇත්තෙන්ම සෝමහිමියන් අපවත්වීමට පෙර සහභාගි වූ අවසන් රැස්වීම එයයි. 2003 දෙසැම්බර් 12 වැනිදා සෝමහිමියන් රුසියාවේ පීටර්ස්බර්ග් නුවරදී හදිසියේ අපවත්වූයේ මෙරට සිංහල බෞද්ධයන්ව සෝ සයුරක ගිල්වමිණි. වර්තමාන සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා වූ උන්වහන්සේ පිළිබඳ මතකය මෙරට දෑ හිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැක. උන්වහන්සේ අපවත්වී වසර 20 ක් සපිරෙන්නේ හෙට (12) දිනයටය.වසර 20ක් නොව වසර 200 ගෙවුනද සෝම හිමි මතකය යළි අවදි කළ යුතුය. එසේ නොකරන්නේනම් අප ගුණමකු ජාතියක් වේ.

සුපින්වත් මිනිසුනි, යමෙක් ඔබට හොඳ මිනිහෙක් යැයි කියන්නේ නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙළින් තබාගෙන ඇවිදින්නකු නිසා නම් නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතින් වැළකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක් ඔබට ඇති බැවිනි. උසස් කළ හැකි මනසක් ඇති බැවින් ”මනස්ස උස්සන්තතා” යනුවෙන් අර්ථ විග්‍රහය දක්වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වළකා යහපතෙහි යොදවා උසස් මානසිකත්වයක් ඇති මිනිසකු කිරීමට මිස සිතීමේ නිදහස වළකා මන්දබුද්ධිකයකු කිරීමට නොවේ.

ඉහතින් දැක්වූ සටහන රචනාකර ඇත්තේ අති පූජනීය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන්වහන්සේ සෑම විටම කටයුතු කළේ බෞද්ධයන්ගේ දහම් පවස නිවා සමාජ සුචරිතය ඇතිකිරීමටය. සදාචාරවත් දැහැමි සමාජයක් සඳහා නැවත නැවතත් සෝම හිමි මග ගත යුතුය. ඒ ගැන දැන් මෙනෙහි කරන්නෝද අල්පය. 2003 දෙසැම්බර් මාසයේදී අප දුටුවේ බෞද්ධ විප්ලවයකි. ජීවත්ව සිටි සෝම හිමියන්ට වඩා අපවත් වූ සෝම හිමි ප්‍රබල විය. සිදුවෙමින් පවතින ශාසනික සහ ජාතික විපත පිළිබඳව උන්වහන්සේ වඩා හොඳින් බෞද්ධයා දැනුවත් කළ නිසාම වෙනදා පැයක් බණ ඇසීමට නොඑන තරුණයෝ සෝම හිමියන්ගේ පැය තුනේ බණ අසන්නට පොරකමින් පැමිණියහ. ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන මෑත කාලීනව ඉතා විශිෂ්ට අන්දමින් හෙළිකරනු ලැබුවේ සෝම හිමියන් විසිනි. එනිසාම මේ අදිසි නිහඬ ආක්‍රමණය ගැන බෞද්ධයෝ වඩා හොඳින් දැනුවත්ව සිටියහ. අද ඉවැන්ජලිකල් ආක්‍රමණය වඩා හොඳින් සිදුවේ. එවන්ජලිකල් පාස්ටර්වරු පාලිමේන්තුවෙත් සිටිති. නමුත් මේවාට එරෙහිව හඬ නගන්නට කිසිවෙක් නොමැත. එනිසා අපට සෝම හිමිගේ අපවත්වීම නිසා ඇතිවූ භික්ෂු සමාජයේ හිඩැස තවම පිරවී නැති බව නම් පැහැදිලිය.

මේ අතීතය නැවතත් සිහි කරන්නේ මන්ද? සෝමහිමි මතකය මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය බොහෝ දෙනා අමතක කර ඇති නිසාය. සෝමහිමි නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හරහා රටේ නමගිය ධර්ම කථිකයින් වූ සමහර භික්ෂූන්ගේ අද ක්‍රියාකලාපය කෙසේද? සෝම හිමි මෙන්ම රූපවාහිනිය හරහා ධර්ම කථිකයන් වී අවසානයේ අද සිදුකර ඇත්තේ කුමක්ද? සෝම හිමියන් නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයෙන් පිම්බුණු සමහරු අද බෞද්ධයන්ට වංචාකර නොමැතිද? ධර්ම රාජ්‍යය ලත් තැන ලොප්වී ගියේය. එය දේශපාලන සුදුවක් බවට පත්විය. බුදුන් වැඩසිටි කාලයේ ශාසන විරෝධීව හැසිරුණු ජබ්බග්ගිය පුනබ්බසුඛ භික්ෂුන්ගේ ක්‍රියාකලාපයන්ද අපට මේ වර්තමාන ශාසන විරෝධීන්ගේ ක්‍රියාවන් දෙස බලද්දී සිහිපත් වේ.

ගංගොඩවිල සෝම හිමියන් කහ විප්ලවයට මූලික අඩිතාලම දැමූ ආකාරය යළි සිහිකළ යුතුය. දිනය 2001 දෙසැම්බර් 25 වැනිදාය. එදින මමත් ධර්මායතනයට ගියෙමි. ඒ මේ ප්‍රබෝධය පියවි ඇසින් දැක ගැනීම සහාය. මහරගම සිරි වජිරඥන ධර්මායතනය මහජන ගඟකින් පිරී පැවතියේය. ධර්මායතනයේ තරුණ ශීල සමාදානය පමණක් නොව මුළු විහාර භූමියම සුදුවතින් සැරසුණු සිංහල බෞද්ධයන්ගෙන් පිරී පැවතියේ ගංගොඩවිල සෝම හිමියන් විසින් ආරම්භ කිරීමට යෙදුණු ”ජනවිජය” සංවිධානයේ පළමු රැස්වීමට සහභාගි වීමේ අටියෙනි. සිංහලකම බෞද්ධකම නොසලකා හැර තිබූ යුගයක එය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෝම හිමියන්ට හැකිවිය. ඒ කාලයේ සිංහලයන් ගැන කතා කිරීමද ජාතිවාදයක් විය. නමුත් මේ සියල්ල ආපසු හැරවීමට සෝම හිමියන්ට හැකිවිය. දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලු සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවක පොදු පෙරමුණු රජයේ ප්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් ඇමැති සමඟ ප්‍රසිද්ධ විවාදයකට එළඹියේද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය. වර්තමානයේ දීඝවාපි සෑය වේගයෙන් ප්‍රතිසංස්කරණය වෙද්දී අපට සෝම හිමියන් එදා නැඟූ හඬ සිහියට එයි. සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්යභාරයයි. සිංහල භික්ෂූන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක්‍රියාකරමින් භික්ෂු ජීවිතය ගතකළ බවත් රට වැසියාගේ දියුණුවට බාධාවන කරුණුවලට එරෙහිව ක්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බව 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශයේ සඳහන් වේ.

අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.

ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment