හදවත් ඇත්තන්ගේ පුන්‍යකර්මය

69

මහා හදවතක් ඇති රත්තරන් මිනිස්සු දුලබ නැති බව ලියා තබමි. ගතවන රුදුරු සමයේ වුවද අප මේ පොළොවේ මනුෂ්‍යත්වයේ සාර පල උපදවන සමත් ජාතියක් බව ඔබට කිව යුතුව ඇත.

ඒ ප්‍රහර්ෂවත් මොහොත දුටුවෙමි. ජීවිතයේ සිදුවූ ආශ්චර්යයක් බඳු ඒ ගැඹුරු ඇත්ත දරා ගත නොහැකිව විශ්මයෙන් හඬා වැටෙනා ඒ අකලට වියපත් වූ මවගේ කඳුළු මොහොතකට මා නෙත් කෙවෙනිද බොඳ කළේය.

ඒ අම්මාත් පියා විසින් තනි කර දමා සිටි දරු තිදෙනාත් අබලන් අනාරක්ෂිත පැල්පතක ජීවත් වෙමින් සිටියේ දඹුල්ල ඇටවරාහේන පාළුවැව ගමේය. ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතිව අබලන් මඩුවක දියණියන් තිදෙනා සමග රැය පහන් කිරීම අස්වාමික වූ ගැහැනියකට අත් විඳිය හැකි මහා ඛේදවාචකයකි. මේ මානුෂික ඛේදවාචකය මාධ්‍යවේදී කුමාර ඉහළගෙදර ස්වකීය දඹුල්ල රිපෝටර් යූ ටියුබ් නාලිකාවේ දර්ශන පෙළක් සහිතව වාර්තා කර තිබිණි.

සියල්ලන්ම බරපතළ සමාජ ආර්ථිකය ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක කෙනෙකුගේ දුකක් සම්බන්ධව සහ කම්පනයක් ඇති වන්නේ මහා විසාල හදවතක් ඇති මනුස්සයෙකුටය. ඒ තමන්ට තමන්ගේම ප්‍රශ්න වෙන කවරදාටවත් වඩා වැඩි බරකින් යුතුව දැනෙන වකවානුවක් නිර්මාණය වී ඇති බැවිනි.

එහෙත් මේ පුවත කොරියාවේ සේවය කරමින් සිටින මයන්ත සඳමාල් වෛද්‍යරත්න තරුණයා දකින්නේය. ඔහු රැකියාව කරන්නේ කොරියාවේය. කොරියාවේ රැකියාව කරන පුහුණු ශ්‍රමිකයෙක් උපයන්නේ මොනතරම් කැපකිරිම් කරමින් ද යන්න දන්නේ ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලනවුන්ය. මයන්තට මේ ඛේදනීය ජීවිත අඳෝනාව දැනුනේය.

හදවත් ඇත්තන්ගේ පුන්‍යකර්මය

ඔහු විශ්වාස කරන්නේ මේ අසරණ පවුලට නිවසක් තනා දී ඔවුන්ගේ ජීවිතය ගොඩ නැගිය හැකි බවය. ඔහු සිය මිතුරු ප්‍රජාවට මේ කතාව කියන්නේය. ඔවුන් ඉන්නේත් ඔවුන්ට අනන්‍ය ප්‍රශ්න රැසකය. උදව් කරන්නට කෙනෙක් නැත. මයන්ත තනියම ඒ වැඩේ භාර ගත්තේය.

මයන්ත මහා විශාල වත්කමක් ඇති තරුණයෙක් නොවේ. ඔවුන් සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සුය. එහෙත් මනුස්සකම් පිරුණු සැබෑ මිනිස්සුය. ඔවුන්ට මහා භෞතික සම්පත් නැත. එහෙත් මයන්තගේ අම්මා විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙසත් පියා දේශීය වෛද්‍යවරයෙක් ලෙසත් සමාජයට ආදර්ශයක් වූවා සේම ඔවුන් විසින් සිදුකළ ආධ්‍යාත්මික ගුණවගාවේ ඵල ලෙස මේ දරුවන් ගොඩ නැගී තිබිණි. මයන්ත නිවස හැදීම භාර ගත්තේය. මෙතැන ඇති වැදගත්ම දේ කවදාවත් නොදුටු මනුස්සයෙක් මනුෂ්‍යත්වයේ නාමයෙන් විශ්වාස කිරීමය. ඒ මනුස්සයා කෙස් ගසට එම මනුෂ්‍යත්වයේ විශ්වාසය ආරක්ෂා කිරීමය.

නිවස හැදීමට කොරියාවේ සිට මුදල් එවන්නට තීරණය කර සිය වැටුපෙන් කොටසක් වෙන් කළ දා සිට එම මුදල මයන්ත විසින් එව්වේ දඹුල්ල රිපෝටර් වෙබ් අඩවියෙන් මේ පිරිස හඳුන්වා දුන් කුමාර ඉහළගෙදර මහතාටය. කුමාර ඒ එවන සෑම ශතයකටම අවංක විය. සියලුම දේ කළමනාකරණය කළේය. අවසානයේ දී ලක්ෂ 30කට ආසන්න මුදලක් වැය කර අංගසම්පූර්ණ මනරම් නිවසක් ඉදි කිරීමට ඔහු සිය අවංක දායකත්වය දැරුවේය.

නිවස තනා නිම කර නිකම්ම දුන්නා නොවේ. නිවසට අවශ්‍ය ලුණු පොල්කට්ටේ සිට සියලුම දේ මේ මිනිස්සු ලබා ගෙන ආහ. ඇඳන්, අල්මාරි, මේස, කොට්ට, මෙට්ට, කුස්සියට අවශ්‍ය සියලුම ඉලෙක්ටි්‍රක් මෙවලම් ගෑස් ළිප් සහිත සමස්තයට අමතරව දරුවන්ට පොත්පත් බෑග්, පාසල් උපකරණවලට අමතරව පාසල් යෑමට පා පැදියක් ද ගෙනවිත් තිබිණි.

හදවත් ඇත්තන්ගේ පුන්‍යකර්මය

මයන්තගේ බාල සොයුරා බෙහාන්ය. ගෙදරට බඩු ගෙන එන්නට මුදල් මදිවන අවස්ථාවේ දී බෙහාන් සිය කරේ තිබුණු මාලය උකස් කර ඉතිරි මුදල් පියවා ගත්තේය. මයන්තගේ හොඳම මිතුරා නුවන්ය. නිවස ඉදිකිරීම වෙනුවෙන් ඔහු විශාල ශ්‍රම දායකත්වයක් ලබාදුන්නේය. අත්තිවාරමේ සිට නිවස ඉදිකර පරිත්‍යාග කරන තෙක් ඩෙහාන්, නුවන් සහ කුමාර යන තිදෙනා සිදු කළ කැපවීම සියලු දෙනාගේ ඇගයීමට ලක් විය. ජීවිතයේ බලාපොරොත්තුවක් රහිතව සිටි ඒ අම්මාටත් දරුවන් තිදෙනාටත් මේ බෝසත් මිනිස්සු අලුත් බලාපොරොත්තුවක් දුන්නේ එසේය. නිවස සියලුම බඩු භාණ්ඩ සමග පසුගිය 07 වැනිදා ඒ අසරණ පවුලට ප්‍රදානය කෙරිණි.

ඒ අම්මා මේ ආශ්චර්යය අදහාගත නොහැකිව සිටියාය. කතා කරගත නොහැකිව ඇය හිටියේ ඉකි ගසමිනි. මනුස්සයෙක් ඒ තරම් සතුටුවනු මින් පෙර දැක නැත්තෙමි. තමන් දහදිය හලා උපයන මුදලින් කළ ඒ මහා සත්කාරය දකින්නට මයන්ත සිටියේ නැත. ඔහු දුරු රටේ සිය රැකියා ස්ථානයේය. මිනිස්සුන්ට කළ හැකි දේ මහා පුදුමාකාර බව සිතමි. ඒ පුදුමය නිර්මාණය කිරීමට ඇත්තේ කෙටි දුරක් බව විශ්වාස කරමි. ඒ සිතිවිල්ලක දුරය. මේ දුර පියවා ගත හැකි මොහොතක මේ ලෝකය මොන තරම් සුන්දර එකක් වනු ඇති දැයි මේ මොහොතේත් කල්පනා කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment