හනුමා ගිනි තබයි

2461

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මේ වන විට ඉල්ලා අස්වී ඇත. අපට ලයිටුත් නැත; ලයිට් සපයන ආයතනයට සභාපතිත් නැත. ෆර්ඩිනැන්ඩු ඉල්ලා අස්වෙන්නේ කෝප් කමිටුවේදී ඔහු විසින් දෙන ලද සාක්ෂියක් පත්තු වීමෙනි. මන්නාරමේ සුළං බලාගාරය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ප්‍රදානය කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම මත බවත් සුළං බලාගාරය අදානිට දෙන ලෙස ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභයට බලපෑම් කරන බව ගෝඨාභය තමන්ට කී බවත් විදුලි බල සභාපති කෝප් කමිටුවේදී කීවේය. මේ සාක්ෂිය හනුමා වලිගයෙන් තැබූ ගින්නට වඩා භයානකය. හනුමා ගිනි තැබුවේ ලංකාවට පමණි. විදුලිබල සභාපතිගේ සාක්ෂියෙන් ලංකාවත් ඉන්දියාවත් යන දෙකම ගිනි ගෙන තිබේ. මෙය ඉන්දු ලංකා ගිවිසුමට පෙර පරිප්පු දැමීමට වඩා භයානකය. මේ වනවිට මෝදිගේ විරුද්ධවාදීහු මෝදිට විරුද්ධ ව්‍යාපාර ඉන්දියාවේ තැන තැන පටන්ගෙන ඇත. තමා විසින් මෙබන්දක් විදුලි බල සභාපතිට නොකියන ලදැයි ගෝඨාභය රාජපක්ෂ දැනටමත් කියා තිබේ. ඒ අතර විදුලි බල සභාපති ද තමා දුන් එම සාක්ෂිය ඉල්ලා අස්කරගෙන ඇත. තමා කෝප් කමිටුව ඉදිරියේදී මෙබඳු සාක්ෂියක් දෙන ලද්දේ ඒ අවස්ථාවේදී මුහුණ දුන් අධික මානසික පීඩනය නිසා බවත් එය වැරදි සාක්ෂියක් බවත් විදුලිබල සභාපති පිළිගෙන ඇත. මෙහිදී අපට කෝප් කමිටුව සම්බන්ධයෙන් ද බරපතළ ප්‍රශ්නයක් පැනනඟී. අපට හැඟෙන පරිදි චරිත හේරත්ගේ කෝප් කමිටුව සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි හතරවෙනි තට්ටුවේ සී අයි ඩී කාරයන් අපරාධකරුවන්ගෙන් කටඋත්තර ලබා ගැනීමේදී ක්‍රියා කරන ලෙසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන සැකකරුට වහලේ එල්ලා පහර දෙනු ලැබේ. සමතලා බිත්තිය දිගේ නගින ලෙස කියා එය කිරීමට බැරිවන විට පහරදෙනු ලැබේ. බාල්දියකට වතුර පුරවා සැකකරුගේ ඔලුව එය තුළට ඔබා ඔහුගේ තට්ටම්වලට හෝස් පයිප්පයකින් පහර දෙනු ලැබේ. එසේම සැකකරු බිම බාවා ඔහුගේ පිට උඩ සී අයි ඩී කාරයෙක් හිටගෙන තව සී අයි ඩී කාරයකු ලවා අපරාධකරුගේ යටි පතුල්වලට පොලුවලින් පහර දෙනු ලැබේ. මෙවිට සැකකරුගේ ඔලුවෙන් ගිනි පිටවන අතර ගුදයෙන් හා මුත්‍රාෂයෙන් මළ මුත්‍ර පිටවේ. සාක්ෂි දීම පිණිස කෝප් කමිටුවට ගිය විදුලි බල සභාපතිට චරිත හේරත් ඇතුළු කෝප් කණ්ඩායම මේ ආකාරයෙන් පහර දුන්නේද යන්න අප සොයා බැලිය යුතුය. නැත්නම් අදානිට සුළං බලාගාරය දෙන ලෙසට මෝදි තමන්ට බල කරන බව ගෝඨාභය කීවේ යැයි කීමට තරම් මානසික පීඩනයක් සභාපතිට ඇතිවීමට ඉඩක් නැත.

ගෞතම් අදානි යනු මේ වන විට ශ්‍රී ලංකාව තුළ නරේන්ද්‍ර මෝදි තරමටම ජනප්‍රිය නමකි. නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වීමට අවුරුදු කීපයක්ම ගිය අතර ගෞතම් අදානි මේ රටේ ජනප්‍රිය වීමට පැය 48 වත් ගියේ නැත. ඔහු මුලින්ම සීන් එකට එන්නේ කොළඹ වරායේ ජැටියක් මිලට ගැනීම පිණිස බිස්නස් ඩීල් එකක් දැමූ අවස්ථාවේදීය. එහිදී ආණ්ඩුව විසින් ඉන්දියාව රවටන ලදී. ඉන්දියාවට ජැටියක් විකුණන බව කියූ ආණ්ඩුව ඒ වෙනුවට ජැටියක් තබා කොන්ක්‍රීට් කණුවක්වත් හිටවා නැති මුහුදක් වික්කේය. මේ මුහුදට සුවිශාල මුදලක් යටකර අලුතින් ජැටියක් හැදීමට අදානිලාට දැන් සිදුවී ඇත. මේ වැඩේ සිද්ධ වුණේ චීනයට නම් ස්ථිර වශයෙන්ම ඒ රට අප ආක්‍රමණය කරනවා ඇත. එහෙත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ලබා ගැනීමට තිබෙන නිසා හෝ වෙනත් හේතුවක් මත ඉන්දියාව කට පියාගෙන සිටියේය.

ගෞතම් අදානි යනු ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සුරතලයට ඇති කරනු ලබන ව්‍යාපාරිකයෙකි. ලෝකයේ හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම සිටින රාජ්‍ය නායකයා විසින් බිස්නස්කාරයකු සුරතලයට ඇති දැඩි කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරුන්ට මෙවැනි සුරතල්ලු බොහෝ සිටියහ. ඒ අය නම් වශයෙන් සඳහන් කිරීමට නොහැක්කේ ගණන එපමණටම වැඩි බැවිනි. කුඩා උදාහරණයක් ගත්තොත් කුඩා ව්‍යාපාරිකයකු වූ සජින් වාස් ගුණවර්ධන 2005 සිට රාජපක්ෂවරුන්ට කිට්ටු කළේ ශ්‍රී ලංකාව තුළ බජට් එයාර් ලයින් එකක් ආරම්භ කරනු පිණිසය. අන්තිමට සජින් විසින් අරඹන ලද මිහින් ලංකා ගුවන් සේවය රටේ සල්ලි බිලියන ගණනක් කා දමා බංකොළොත් විය. ඉන්පසු සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්විය. එකල විදේශ ආමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ සජින්ය. මේ අධීක්ෂණ මන්ත්‍රී විදේශ ඇමැතිට වඩා බලවත් වූ අතර එංගලන්තයේදී එරට ශ්‍රී ලංකා තානාපතිතුමාට කණට ගැසීමට තරම් නිර්භීත විය. එවැනි චර්යා විරෝධී වැඩකදී මේ නොදැමුණු දාමරිකයාගේ පස්සා පැත්තට පයින් ගසා එළවිය යුතුව තිබුණු නමුදු රාජපක්ෂලා තව තවත් ඔහු සුරතල් කළේය. අද වනවිට රාජපක්ෂවරුන් හා සජින් වාස් ගුණවර්ධන අතර බලගතු ආරවුලක් හටගෙන තිබේ. ඔවුහු නයින් සහ පොළඟුන් මෙන් වෛරයෙන් වැඩ කරති. දේශපාලනඥයකුගේ තුරුලට එන ව්‍යාපාරික සුරතලුන් වැඩි දෙනකුගේ අවසානය මෙසේ තීන්දු වේ. එහෙත් ඉතා බලසම්පන්න මිනිසකු වන නරේන්ද්‍ර මෝදි ඉතා බලසම්පන්න ව්‍යාපාරික සුරතලා වූ ගෞතම් අදානිට එරෙහිව නොයන බව අපට විශ්වාසය.විදුලි බල සභාපති ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුවට දුන් සාක්ෂිය ඉල්ලා අස්කර ගත්තද එය සමාජගත වී හමාරය. මේ නිසා ආණ්ඩුවේ රාජපක්ෂ ස්ථරය තවදුරටත් අලවීම වැළැක්වීමට බැරිය.
 

advertistmentadvertistment
advertistmentadvertistment