හිනාවට දඩ

1865

පසුගියදා පැවැති යුරෝපා කුසලාන පාපන්දු තරගයක් ඇරඹීමට පෙර ලෝක ව්‍යසනයන් දෙකක් සම්බන්ධයෙන් පැවැත්වූ විනාඩියක නිශ්ශබ්දතාවයේදී සිනහ වූ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රංශ පාපන්දු පිලේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයකු වන ජීන් ක්ලෙයාර් ටොඩිබෝ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව අයැද තිබේ.

ඉකුත් සිකුරාදා (13) යුරෝපා කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රංශ හා නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායම් අතර ප්‍රංශයේ පැවැති තරගය ඇරැඹීමට පෙර හමාස්-ඊශ්‍රායල යුද්ධයේදී මිය ගිය පිරිස හා ප්‍රංශයේදී අන්තවාදියෙකු අතින් ඝාතනය වූ ප්‍රංශ ගුරුවරයා සිහිකිරීමේ අරමුණින් පැවැත්වූ විනාඩියක නිශ්ශබ්දතාවයේදී ටොඩිබෝ සිනාසෙන අයුරු මාධ්‍ය විසින් රූගත කර පළ කර තිබිණි.

මෙම ඡායාරූප හේතුවෙන් එසේ මියගිය අය සිහිපත් කිරීමේදී සිනාසීමට හේතු දක්වන ලෙස ප්‍රංශ පාපන්දු සම්මේලනයේ විනය කමිටුවද ටොඩිබෝට දැනුම් දී තිබේ. එහෙත් ටොඩිබෝ මාධ්‍යයට පවසා ඇත්තේ තමා මිය ගිය අයට අගෞරව කරන හෝ වත්මන් තත්ත්වය විනෝදයට ගත් ක්‍රීඩකයකු නොවන බවත් තමාට එම අවස්ථාවේ නැගුනේ කලබලයට ඇති වන, සිනහවක් (නර්වස් ලාෆ්) බවයි. කෙසේ වුවද ඔහු අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් ඉකුත් සඳුදා ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment