ෆේස්බුක් හරහා චැට් කරමින් සිරියානු කතක් ලෙස රඟමින් අනුරපුර ව්‍යාපාරිකයකු රවටා ලක්ෂ 6කට තට්ටු කළ කාන්තාව සොයා විමර්ශන

1783

ෆේස්බුක් මාර්ගයෙන් දැන හඳුනා ගෙන වට්ස්ඇප් ඔස්සේ චැට් කරමින් සිරියානු ජාතික හමුදා හෙද නිලධාරිනියන් ලෙස පෙනී සිටිමින් අනුරාධපුර පැරණි පූජා නගරයේ තරුණ ව්‍යාපාරිකයෙකු රවටා ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 6කට වැඩි මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

අනුරාධපුර පැරණි පූජා නගරයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක ව්‍යාපාරික තරුණයකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

සමාජ මාධ්‍යයෙන් දැන හඳුනා ගෙන ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් සිටින විටදී, මෙම කාන්තාව සිරියානු යුද මෙහෙයුමකදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මල්ලක් තමාට හමුවූ බවත්, එය ළඟ තබා ගැනීමට නොහැකි නිසා ලංකාවට එවන බවත් එම මුදලින් ඇමරිකානු ඩොලර් අනූදාහක් තමාට ලබා ගන්නා ලෙසද, ඉතිරි මුදල ලබා ගැනීමට ලංකාවට පැමිණෙන බවද සැකකාරිය පැවසූ බව තරුණයා සිදු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

ඉන් අනතුරුව සැකකාර කාන්තාව එක් දිනක් රාත්‍රී හදිසියේම, පැමිණිලිකාර තරුණයාගේ විද්‍යුත් ලිපිනය, නම, හැඳුනුම්පත් අංකය, ඇතුළු විස්තර ලබා ගෙන මුදල් නෝට්ටු පෙට්ටිය තුළ ගබඩා කරන ආකාරය, එම පෙට්ටියේ තරුණයාගේ නම සදහන් කළ ආකාරය, සිරියානු ලිපියනයක් සටහන් වර්ණ කඩදාසියෙන් මුද්‍රිත බිල් පතක ඡායාරූපයක් සහිත වීඩියෝවක් මෙම පැමිණිලිකාර තරුණයාට වට්ස්ඇප් කර ඇතැයිද පොලීසිය කියයි.

ඉන් අනතුරුව දින කීපයකට පසු මෙරට කාන්තාවක් සිංහල භාෂාවෙන් කතා කර තමා විදෙස් භාණ්ඩ ප්‍රවාහන සමාගමක යැයි කියමින් වීදුරු භාණ්ඩ ලෙස සඳහන් කර ඇති පාර්සලයක් සිරියානු රටෙන් ලැබී ඇති බවත්, එය නිදහස් කර ගැනීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසට පැමිණිලිකරුට පැවසීමෙන් අනතුරුව පැමිණිලිකරු එම මුදල ගෙවා ඇතැයි පොලීසිය සඳහන් කළේය. මෙම මුදල යැවූ පසු එම කාන්තාව නැවත කතා කර අදාළ පාර්සලයේ, ලැප්ටොප්, ජංගම දුරකථන සමග ඩොලර් නෝට්ටු තොගයක් තිබෙන බවත්, විදේශ මුදල් හුවමාරුවේදී අය කරන වැට් බදු ලෙස, නැවත දෙලක්ෂ එක් දාහක් ගෙවන ලෙස දැන්වීමෙන් අනතුරුව එම මුදල්ද, පැමිණිලිකරු ගිණුම් ගත කර ඇතැයි පොලිසිය කියයි.

දිගින් දිගටම විවිධ දේ කියමින් අදාළ කාන්තාව තමාගෙන් වරින් වර රුපියල් හය ලක්ෂ එක් දහසක මුදලක් මේ වන විට ලබා ගෙන ඇති බව පවසමින් ඒ පිළිබඳව සැක සිතී මෙම පැමිණිල්ල සිදු කළ බව පැමිණිලිකාර තරුණයාගේ ප්‍රකාශ වල සටහන් වන බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment