උඩරට නැටුම් කලාව ලොවට ගෙනගිය නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ

2101

සෙසු නැටුම් කලාවන්ට නොදෙවැනි අයුරින් උඩරට නර්තන කලාව නඟාසිටුවා දෙස් විදෙස් ජනනායක, ප්‍රභූ රසික ජන නායකයන්ගෙන් කිත් පැසසුම් හා වටිනා රන් සම්මාන පදක්කම් රාශියක්ම මෙරටට රැගෙන පැමිණි උඩරට නැටුම් සූරී නින්තවෙල පදිංචිව සිටි මහ යද්දෙස්සගේ ගුණයා ගුරු මහතා ඉතා දුක්බර පරිදි අකාලයේ දැයෙන් සමුගෙන මෙම දෙසැම්බර් මස 26 වැනි දිනට පුරා වසර 43 ක් සපිරේ.

එවකට ගුණයා පවුලේ පැවැති දැඩි දරිද්‍රතාවය හේතුවෙන් කෝපි වතුවල කෝපි කැඩීමට ගොස් සිටි එක් දිනෙක විශාල දිමි ගොට්ටක් ඔහුගේ හිස මතට කඩා වැටී අසීරුතාවකට පත්වී තිබේ. ඒ අනුව ඔහු ඇස් පෙනීම දුර්වල වී ඔත්පල තත්ත්වයට පත්වී ඇත.

තවත් එවැනිම එක් සැන්දෑ වේලාවක අඳුර, ගුණයා මහතාගේ දිළිඳු නිවහන වසා ගනිමින් සිට ඇත. එම මොහොතේ ගුණයා මහතා සිය ගෙට ගොඩවී අඳුර මකන්නට ගිනිකූර දල්වා එහි වූ භූමිතෙල් ලාම්පුව සොයා තිබේ. දැල් කම්බි මැස්ස මත වූ භූමිතෙල් කුප්පි ලාම්පුව බිම වැටී විශාල ගිනි ගොඩක් හටගෙන ඊට ගුණයා ගුරුද ගොදුරු වී ඇත. දැඩි පිළිස්සුම් තුවාල සහිත ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කොට ප්‍රතිකාර කළත් ඒ මහතා ඊට පසුදින එනම් 1979 දෙසැම්බර් මස 26 වැනි දින රසික හදවත් සෝ සයුරේ ගිල්වා සිය ජීවිතය හැර ගොස් තිබේ.

සෙංකඩගල පුරවරයේ දළදා සමිඳු දිස්වෙන ඉසව්වක පිහිටි නිත්තවෙල ගමේ මෙලොව එළිය දුටු ගුණයා කුඩා දරුවා වටපුළුව විද්‍යාලයෙන් පහ වසර දක්වා අධ්‍යාපනය හදාරා ඊට නැවතුම තබා තමන් වඩාත් රුචිකත්වය දරන උඩරට නැටුම් කලාව හැදෑරීමට යොමු වී තිබේ. ඔහු වයස අවුරුදු හයේ සිටම දළදා පෙරහැරේ නැටුම් සංදර්ශනවලට යොමුවී ඇත.

ගුණයා ගුරුන්නාන්සේගේ පියා උක්කුවා ය. ඔහුත් උඩරට නැටුම් පරම්පරාවකින් පැවත එන්නෙකි. උඩරට නැටුම් මුලින් ආරම්භ වී ඇත්තේ කොහොඹ කංකාරි ශාන්තිකර්මය මුල්කරගෙනය. පඬුවස් දෙව් රජුට හටගත් දිවි දොසක් දුරුකිරීම සඳහා එවකට මලය රටින් එවන ලද කොහොඹ කංකාරිය ශාන්තිකර්මය පිහිට වී තිබේ. එතැන් සිට උඩරට නැටුම පටන්ගෙන ඇති බව කියති.

උඩරට නැටුමක අඩංගු සියලුම අංගචලන ලක්‍ෂණයන් යොදාගනිමින් සිදුකෙරන උඩරට නැටුම් සංදර්ශන මේ තරමට ජගත් රසික ජනයා අතරට පැමිණ ඇත්තේ එහි අඩංගු පාරම්පරික අංග චලනයන් සමග ඉදිරිපත් කිරීමෙන් බව ඒ පිළිබඳව විචාරක මත පළවේ.

නිත්තවෙල ගුණයා ගුරු මෙම සියලුම අංගචලන සමග ඉහළම උසස් උඩකරනම් විදහා දැක්වීම තුළින් ඔහු දේශ දේශාන්තරවලදී රසිකයන්ගේ ජනාදරයට පත්වී තිබේ.

ගුණයා ගුරුගේ ජනප්‍රියතම සමනල වන්නම හා මහබෝවන්නමට පෝෂණය ලැබී ඇත්තේ වියත් ලේඛක චන්‍ද්‍රරත්න මානවසිංහ හා ඩී. බී. ධනපාල සූරීන්ගෙනි.

වයස අවුරුදු 9 සිටම මහනුවර දළදා පෙරහැරේ උඩරට නැටුම් සංදර්ශනයන් චාරිත්‍රානුකූලව පුරා වසර හැටකට අධික කාලයක් රඟ දක්වා ජනී ජනතාව ඉමහත් සතුටට පත්කර ඇත. මේ අතර උඩරට නැටුම් සූරී නිත්තවෙල ගුණයා ගුරු ඇතුළු ඔහුගේ නැටුම් කණ්ඩායම ජර්මනියට රැගෙන යෑමට එකවට දෙහිවල සතුන් වත්තේ සේවය කරමින් සිටි සත්ත්ව වෛi නිලධාරි ජෝන් හේගන් බර්ත් මහතා ඉදිරිපත් විය. එය 1957 වසරේදීය. ඒ අනුව රටවල් 47ක් සමග පැවති නැටුම් මාලාවකින් සෙසු රටවල් පරාජයට පත් කරමින් රන් පදක්කම් දිනා ගැනීමට ගුණයා සමත් විය. 1973 මාර්තු මසදී කොළඹ නව රඟහලේදී ශ්‍රී ලංකා ජනරජය මගින් ගුණයා ගුරු මහතාව අපේ රටේ සම්මානනීය පුද්ගලයකු ලෙස උපහාර උළෙලක් පවත්වා පුදනු ලැබීය.

කලාව සිය බඩවියත රැකගන්නා මාර්ගය හැටියට නොගෙන නැටුම් කලාවේ ගෞරවය හා වගකීම රැකගත් ගුණයා මහතාගේ උඩරට නැටුම් විලාශය කෙටි කලකදී විදේශිකයන් පුරුදු පුහුණු වී ඒවාට විශාල ඉල්ලුම් ඇති කළහ. මෙරට උඩරට නැටුම් හා විදේශිකයන්ගේ පුහුණු නැටුමත් සමාන තත්ත්වයක පැවතිණි.

කුඩාකලම ගුණයා දරුවාගේ හසල දස්කම් දුටු ඔහුගේ ලොකු අප්පච්චි වන සුරඹා ගුරුන්නාන්සේ ගුණයා පුතාගේ සුරුබුහුටි දක්‍ෂතා කුඩාකල දීම දැක හඳුනාගෙන ඔහුගේ වේලාපත ගෙන්වා ගෙන එය පරීක්‍ෂා කර බැලීය. එහි සඳහන් විස්තර අනුව ගුණයා ගුරු නුදුරේදී රට රාජ්‍යවල හා ප්‍රභූ නායකයන්ගෙන් විශාල වශයෙන් තාන්න මාන්න ලබාගන්නා බවත්, ලෝකයේ ප්‍රසිද්ධියට පත්වීමට ඉඩකඩ ඇත්තෙකු බවත් ඔහුගේ ලොකු අප්පච්චි දැන ගත්තේය. තමා දන්නා ශිල්ප ශාස්ත්‍රය කියා දුන් සුරඹා ගුරු සතුටු වෙමින් සිටියේය.

රට වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ ගුණයා ගුරුන්නාන්සේට උපහාරයක් ලෙස 1950 වසරේ පැවති නිදහස් දින උළෙලේදී ශත හතරේ මුද්දරයට ගුණයා ගුරුන්නාන්සේගේ රුව අඩංගුකර මුද්දරයක් නිකුත් කරන ලදී. එසේම ඊට පසුව එනම් 2005 නිදහස් දින අවස්ථාවේදී නිත්තවෙල ගුණයා ගුරුගේ රූප අඩංගු රුපියල් පනහ හා සියයේ නෝට්ටු රජය මගින් එළිදක්වා ඔහුට උපහාර පවත්වා ඇත.

පිටරටවල උඩරට නැටුම් රඟදක්වා ලබාගත් වටිනා සම්මාන, රන් පදක්කම් ඇතුළු උපකරණ සමග කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී සොරුන් පිරිසක් ඔහුගේ නැටුම් පෙට්ටිය කඩා එහි තිබූ වටිනා රන් පදක්කම් ඇතුළු භාණ්ඩ රාශියක් කොල්ලකා ඇත. පිටරටවල ගොස් රටට විශාල කීර්තියක් රැගෙන එන අය රතු පලස මතින් පිළිගැනීම සිදුකරන අතර එදා තමන්ට කිසිදු ආරක්‍ෂාවක් ලබානොදුන් බව ඔහු පසුව සඳහන් කර තිබේ.

උඩුදුම්බර – ඇස්. අබ්දුල් අසීස්

advertistmentadvertistment
advertistmentadvertistment