75 වසරක සැමරුමට සූදානම් වන ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ ඉතිහාසයෙන් බිඳක්

93

කර්නල් ස්ටුවඩ්ගේ නායකත්වයෙන්, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක හමුදා කණ්ඩායමක්, වර්ෂ 1795 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීමේදී ටිවිල්ස්ටන් දේවගැතිතුමාද කණ්ඩායමක් සමග ආගමික සේවය සඳහා පැමිණ ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. මෙම වකවානුවේ ඕලන්ද ජාතිකයන් ශ්‍රී ලංකාවේ සුභාරංචි ප්‍රචාරක සේවයේ යෙදී සිටියහ.

පසුව බ්‍රිතාන්‍ය හමුදාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාව අල්ලා ගැනීමෙන් අනතුරුව, 1818 දී වික්ටෝරියා නමැති නෞකාවෙන් දේවගැතිවරුන් සතර දෙනෙක් ඇතුළු ‘චර්ච් මිෂනාරි සමාගමේ’ ධර්මදූතයන් පැමිණ තිබේ. මෙම කාලයේ බ්‍රිතාන්‍ය පරිපාලනයට විරුද්ධව මතභේද, වාද විවාද හා කැරලි කෝලාහල ඇතිවී තිබේ. එම නිසා චර්ච් මිෂනාරි සමාගමේ ධර්මදූත කණ්ඩායම්වලට තම සේවය කරගෙන යෑම තරමක් අපහසුවී ඇත. එහෙත් ඉංග්‍රීසි රාජ්‍ය නිලධාරීන්ගේ හා ඉංග්‍රීසි හමුදාවල සහය ලැබූ බැවින් තම ධර්මදූත සේවය නොකඩවා ඉදිරියට ගෙනයෑමට රුකුලක් වූ බව පෙනී යයි. මෙම වකවානුවේ සැමුවෙල් ලැම්බ්‍රික් දේවගැතිතුමා සිංහල ජනතාවගේ හොඳ හිත දිනා ගනිමින්, මහනුවර ප්‍රදේශයේ ‘බ්‍රිතාන්‍ය චර්ච් මිෂනාරි සමාගමේ’ ධර්මදූත සේවය ඉදිරියට ගෙන ගොස් ඇත. මෙහිදී මධ්‍යම, උතුරුමැද, සබරගමු පළාත් සම්බන්ධකර ගනිමින් ‘මහනුවර සංචාරක සුභාරංචි සේවය’ ආරම්භ කර ඇත.

එමගින් උඩරට ප්‍රදේශයේ සුභාරංචි සේවය අරඹා නැති සෑම ප්‍රදේශයකම පාහේ ආරම්භ කරමින්, මහනුවරට අමතරව කුරුණෑගල මූලස්ථානයක් 1854 වර්ෂයේද, හඟුරන්කෙත මධ්‍යස්ථානයක් 1855 වර්ෂයේද පිහිටුවන ලදී. කුරුණෑගල මධ්‍යස්ථානයට අයත් ප්‍රදේශ ‘මහනුවර බටහිර සංචාරක සුභාරංචි සේවය’ නමින් ව්‍යවහාර වී ඇත. අනෙක් ප්‍රදේශය ‘මහනුවර මධ්‍යම සංචාරක සුභාරංචි සේවය’ යනුවෙන් වෙන්කර හඳුන්වා තිබේ. මෙම වකවානුවේ එවකට සිටි දේවගැතිවරුන්ගේ ක්‍රියාශීලී අවංක, එවැන්ජලිස්ත සේවයත්, ධර්මදූත සේවයත් නිසා සුභාරංචිය ඉතා සාර්ථක ලෙස නගර මෙන්ම ගම්බද ප්‍රදේශවලද ව්‍යාප්ත විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ කුරුණෑගල බස් නැවතුම්පළේ පර්යන්ත ගොඩනැඟිල්ල ඇති ස්ථානයේ 1861 වර්ෂයේදී ‘ක්‍රයිස් චර්ච් දේවස්ථානය’ ඉදිකෙරිණි. මෙහි දේව මෙහෙයන් ඉංග්‍රීසිභාෂාවෙන් පමණක් පැවැත්වීමද විශේෂත්වයකි. එමෙන්ම ‘මහනුවර මධ්‍යම සංචාරක සුභාරංචි’ සේවයේ ක්‍රියාශීලී ව්‍යාප්තියේ තවත් ප්‍රතිඵලයක් ලෙස, ‘මහනුවර ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානය’ ආරම්භ කර 1872 දී හෙන්රි ගුණසේකර දේවගැතිතුමාට සේවය සඳහා භාරදී ඇත. මෙම කාලයේ සිංහල භාෂාවෙන් දෙවිඳුන්ට නමස්කාරයේ යෙදුන ගම්බද හා පාසල්වල සේවය කරන භවතුන් උදෙසා, කුරුණෑගල, කොළඹ පාරේ පොලිසිය ඉදිරිපිට, වර්තමානයේ තැපැල් කාර්යාලයට යාබද මහජන බැංකුව ගොඩනඟා ඇති භූමියේ ‘කුරුණෑගල ශුද්ධ එම්මානුවෙල් දේවස්ථානය’ නමින් 1880 වර්ෂයේදී ගොඩනඟා ජෝන් අයර්ලන්ඩ් ජෝන්ස් දේවගැතිතුමා විසින් කැපකර විවෘත කර ඇත. දේවස්ථාන මෙන්ම එතෙක් අධ්‍යාපනය නොලැබූ ගම්බද දරුවන් වෙනුවෙන් මහනුවර හා කුරුණෑගල පාසල් 60 කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීම, කිතුනු මිෂනාරි සේවයේ වැදගත් විශේෂ සේවයකි. මේ ආකාරයට සුභාරංචිය මෙන්ම මිෂනාරි සේවය ඉංග්‍රීසි ජාතිකයන් මෙන්ම සිංහල දේවගැතිතුමන්ලා, දේවසේවකයන් සමග ක්‍රියාශීලීව අවංකව ඉදිරියට රැගෙන පැමිණීම, ඇන්ග්ලිකානු සභාවේ ව්‍යාප්තියට හේතුවී ඇත. එම කාලයේ ශ්‍රී ලංකාවේ සියලු දේවස්ථාන පළාත් ‘කොළඹ දියෝකීසිය’ මගින් පාලනය කර ඇති අතර, 1945 වර්ෂයේදී කොළඹ දියෝකීසියෙන් වෙන් කොට, 1950 පෙබරවාරි මස 02 දා සිට අංග සම්පූර්ණ ‘කුරුණෑගල දියෝකීසිය’ ස්වාධීනව කටයුතු කරන්නට පටන්ගෙන, ලක්දාස යාකොබ් ද මෙල් ප්‍රථම රදගුරුතුමා ලෙස පදවියේ සංස්කාර කර ඇත. මේ ආකරයට පවත්වාගෙන ආ කුරුණෑගල දියෝකීසිය, 1977 අගෝස්තු මස 26 වෙනි දින අංක 280 දරන ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල දියෝකීසියක් ලෙස අද දක්වා තම මෙහෙය ඉටුකරගෙන යනු ලැබේ. කුරුණෑගල වයඹ පළාතේ ප්‍රධාන නගරය හා පුරාණ රාජධානියක් වීමත්, තම මෑණියන්ගේ උපන් ගම කුරුණෑගල මෙන්ම, තම පියාගේ වතුපිටි දේපළ බොහෝමයක් වයඹ පළාතේ පිහිටා තිබීමත් සලකා බලා ඇති ලක්දාස ද මෙල් රදගුරුතුමාණන්, දේශීය සංස්කෘතිය මූලික කරගෙන තම දියෝකීසිය ‘කුරුණෑගල දියෝකීසිය’ යනුවෙන් භාවිතා කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. මෙවන් ඉතිහාසයක් ඇති ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ 75 වන සැමරුම ආරම්භ කරමින්, 2024 පෙබරවාරි මස 2 දින එනම් දියෝකීසියේ 74 වන සැමරුම් දින විශේෂ දේව මෙහෙයක් කුරුණෑගල ක්‍රිස්තු රජීද මුල් දෙව්මැඳුරේදී පෙ.ව. 9.30 ට නිශාන්ත ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සංවත්සර විශේෂ ආරාධිත දේශනය කුමාර ඉලංගසිංහ සම්මාන රදගුරුතුමාණන් විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට වන්දනීය ඇන්ටන් විලියම්ස් කුරුණෑගල අනුනායක හිමි, දියෝකීසියේ පූජකතුමන්ලා හා තුමියන්ලා, දහම් සේවක සේවිකාවන් ඇතුළු බැතිමතුන් සහභාගි විය.

2024 පෙබරවාරි මස 2 දිනට යෙදෙන කුරුණෑගල දියෝකීසියේ 74 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගල දියෝකීසියේ වංශ කතාව නමැති පොත ඇසුරින් සකස් කරන ලදී.

අරුණ අරවින්ද ද සිල්වා උලපනේ.

advertistmentadvertistment
advertistmentadvertistment