ලියොන්හි ශාන්ත ජෝසප් නව කන්‍යාරාමය ඉදිකිරීමට යයි

157

ලියොන්හි ශාන්ත ජෝසප් පැවිදි සොහොයුරියන්ගේ නව කන්‍යාරාමය රත්නපුර පදවියට ලැබීම විශේෂ දේව ආශිර්වාදයක් යැයි රත්නපුර රදගුරු හිමිපාණෝ ඓතිහාසික උතුවන්කන්දේ දී පවසති.

ලියොන්හි ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ පැවිදි නිකායේ, පැවිදි සොහොයුරියන්ගේ නව කන්‍යාරාමය රත්නපුර පදවියට ලැබීම පදවියට, මීසමට හා ප්‍රදේශයටද දෙවි මහෝත්තමයාණන් වහන්සේගෙන් ලද විශේෂ දේව වරප්‍රසාදයක් වන බවත්, මීසමේ හා පදවියේත් අප කතෝලික සභාවේත් දියණියන් උදෙසා දේව සේවයට කැපවීම පිණිස සුවිශේෂී දේව කැඳවීමක් මෙමගින් අප දියණියන්ට ලැබී තිබෙන බවත් රත්නපුර රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා.බෙ.නි. හිමිපාණෝ කෑගල්ල ඓතිහාසික උතුවන්කන්දේ දී ප්‍රකාශ කළහ. රත්නපුර පදවියේ කෑගල්ල මීසම් දිසාවට අයත් මාවනැල්ල උතුවන්කන්ද මීසමේ ශාන්ත ලාසරස් මුනිඳුන්ගේ දෙව්මැඳුරට යාබදව ඉදිකෙරෙන ලියොන්හි ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ පැවිදි නිකායේ නව කන්‍යාරාමය සඳහා මුල්ගල තැබීමේ විශේෂ දිව්‍ය පූජාවේදී එතුමා එසේ ප්‍රකාශ කළහ. මෙහිදී වැඩිදුරටත් දේශනා කළ රදගුරු තුමානන් අද අප රටේ ජනතාව ඉමහත් ආර්ථික අපහසුතාවයන්ට මැදිව අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවත්, ඔවුන්ගේ ගැලවීම හා සරණය උදෙසා දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ මැදිහත්කම ලබාදෙන මෙන් අයදිමින් දේව මාතාවන් වහන්සේට යාච්ඥා කරන්නැයිද අවධාරණය කළේය.

ලියොන්හි ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ පැවිදි නිකායට අයත් පැවිදි සොහොයුරියන් පුහුණු කිරීම සඳහා ආරම්භ කෙරෙන මෙම කන්‍යාරාමය මගින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආධුනික පැවිදි සොහොයුරියන් මෙහිදී පුහුණු කිරීම සඳහා සැලසුම් කෙරෙන අතර මෙම මුල්ගල තැබීමේ ආරම්භක උත්සවය සඳහා ලියොන්හි ශාන්ත ජෝසප් පැවිදි නිකායේ ප්‍රදේශාධිපති ශ්‍රේෂ්ඨ මව්තුමිය ලිලී පැවිදි සොහොයුරිය ඇතුළු නිකායේ පැවිදි සොහොයුරියන්ද සහභාගි විය.

ලියොන්හි ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ පැවිදි නිකාය ප්‍රංශයේ ආරම්භ වී තිබෙන අතර මෙම පැවිදි නිකායට අයත් පැවිදි සොහොයුරියන් ඉන්දියාවේ හා ලංකවේ යාපනය පදවියේ දේව ජනතාව උදෙසා දේව සේවයේ නිරතව සිටින අතර, මෙම නව කන්‍යාරාමය ආධුනිකාරාමයක් වශයෙන්ද සිය සේවා කාර්ය ඉටුකෙරන අතර ලියොන්හි ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ යාච්ඥා දෙව් මැඳුරක්ද මෙම නව කන්‍යාරාමයේ ඉදි කෙරේ. තවද මෙම ලියොන්හි ශාන්ත ජෝසප් නව කන්‍යාරාමය ඉදිකිරීම විදේශාධාර මගින් සිදු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලියොන්හි ශාන්ත ජෝසප් ප්‍රධාන කන්‍යාරාමයෙන් සපුරාලීමට නියමිතය.

රත්නපුර පදවි අනුනායක ඩේමියන් ප්‍රනාන්දු, කෑගල්ල දිසා නායක රන්ජන්මාල් මොරායස්, පදවි රදගුරු ලේකම් ෂේන් වික්‍රමසිංහ, පදවි භාණ්ඩාගාරික අයාල් ඉන්දික ප්‍රනාන්දු, පදවි අන්තර් ආගමික අධ්‍යක්‍ෂ ජූඩ් අමිල ප්‍රනාන්දු හා පෝල් ප්‍රනාන්දු යන පියතුමන්ලාද මෙම දිව්‍ය පූජාව හා මුල්ගල තැබීමේ ආරම්භක උත්සවය සඳහා සහභාගිවූ අතර උතුවන්කන්ද මීසම් සේවක ජූඩ් අමිල ප්‍රනාන්දු පියතුමන් විසින් මෙම දිව්‍ය පූජාව හා උත්සවය සංවිධානය කෙරිණි.

ජෝ. ඇ. සකරායස්

ලියොන්හි ශාන්ත ජෝසප් නව කන්‍යාරාමය ඉදිකිරීමට යයි
advertistmentadvertistment
advertistmentadvertistment