850ට නොදුන්නොත් පිටරටින් ගේනවා – කිලෝව රු. 1250කට තීරණය කිරීම අසාධාරණයි – වෙළෙඳ ඇමැති

153

කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය.

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850කට විකිණීමට හැකියාවක් ඔවුන්ට තිබෙන බවද හෙතෙම කීවේය. ජනතාවට සහනයක් ලබාදිය යුතුව තිබියදීත් එම වගකීමෙන් බැහැරවීම සම්බන්ධයෙන් කුකුළු ගොවිපළ හිමියන් සමඟ තමා අද (4 දා) සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය. කුකුළු ගොවිපළ හිමියන් බිත්තර මිල ඉස්සූ අවස්ථාවේ ඉන්දියාවෙන් බිත්තර ගෙන ඒම නිසා එම මිල ගණන් ක්‍රමයෙන් පහළ ගිය බව ද හිතන හිතන ආකාරයට කුකුළු මස් මිල ඉහළ දැමීමට තමා ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා පැවසීය.

කුකුළු මස් පිටරටින් ගෙන ඒමට පියවර ගැනීමෙන් පසු එම මිල ඉබේම පහළ බසින බව ද වෙළෙඳ ඇමැතිවරයා කියයි.

කුකුළු මස් කිලෝවක් රුපියල් 850 කට දිය හැකි බව වෙළෙඳ ඇමැතිවරයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
නෝමන් පලිහවඩන

සුපිරි වෙළෙඳසල්වලින් හම සහිත කුකුළු මස් කිලෝව රු.1250 ට නිෂ්පාදකයෝ ඇමැති අමරවීරට එකඟතාව පළ කරති

හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට සුපිරි වෙළෙඳසල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත.

ඒ අනුව පෙරේදා (02දා) සිට කුකුළු මස් මිල රුපියල් සියයකට වඩා අවම කරමින් හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 ක මිලකට සියලුම සුපිරි වෙළෙඳසල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එකඟත්වය පළ කළේය.

මේ අතර සියලු කුකුළු ගොවිපළවලට මේ වනවිට කුකුළු පැටවුන් 34 ලක්ෂ විසිදහසකට වඩා ඇතුළත් කර ඇති බැවින් දෙසැම්බර් මාසය වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ යන බවටත්, ඒ අනුව බිත්තර මිල රුපියල් 35 – 40ත් අතර මිලකට තබාගත හැකි බවත් බිත්තර කර්මාන්තකරුවෝ පවසති. මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමට කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අවධාරණය කළේය.

කුකුළු මස් හා බිත්තරවලින් රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළුමස් මිල ඉහළ යෑම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවට ගැටලුවක් වී තිබේ. එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කිසියම් සුපිරි වෙළෙඳසලක් ඊට වැඩි මිලකට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙස ද එම කර්මාන්තකරුවෝ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියහ

මීට අමතරව මේ වනවිට කුකුළන් සඳහා අවශ්‍ය සත්ත්ව ආහාර නිෂ්පාදනයට එම කර්මාන්තකරුවන්ට බඩඉරිඟු ආනයන බලපත් ලබා දී ඇති බැවින් බඩඉරිඟු තොග ලැබුණු වහාම තවදුරටත් කුකුළු මස් මිල අඩු කරන බවද එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවීමේ වාසිය ද පාරිභෝගිකයන්ට ලබා දීමට ද එකඟත්වය පළ කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment