G 20 සභාපතිත්වය හමුවේ ඉන්දියාවේ සූදානම කුමක්ද?

248

ඉන්දියාව පසුගිය දෙසැම්බර් මස 1 වැනි දින ඉන්දුනීසියාවේ සිට G20 සංවිධානයේ සභාපතිත්වය නිල වශයෙන් භාර ගත් ඓතිහාසික අවස්ථාවක් උදාකර ගන්නා ලදී. ගෝලීය ආර්ථික සහයෝගිතාව සඳහා ප්‍රමුඛතම සංසදය වන G20 නොහොත් රටවල් 20 කණ්ඩායම, ලෝකයේ ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හිමි රටවල් 20 කින් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයකි.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුවහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැක්ම පිළිබඳව ලිපියක් පළ කර තිබේ. සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සමස්ත ලෝකවාසීන් සඳහා සුවය, සහජීවනය සහ බලාපොරොත්තුව ඇති සභාපති ධුර කාලයක් තමා අපේක්ෂා කරන බවයි. අන්තර් ජාතික වශයෙන් ඉන්දියාවට ලැබුණු G20 සභාපතිත්ව වගකීම 2023 නොවැම්බර් 30 දක්වා උසුළමින් කටයුතු කිරීමට ඉන්දියාව සූදානමින් සිටියි.

ඉන්දියාවේ G20 සභාපති ධුරය ලබා ගැනීමෙන් පසු මෙම සංවිධානය මහජනතාව වෙත සමීප කර එය සැබවින්ම මහජන සංවිධානයක් බවට පත් කිරීම අපේක්ෂාව බව ඉන්දීය අගමැතිවරයා මේ වන විටත් ප්‍රකාශ කර ඇත. නොවැම්බර් 8දා මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දියාවේ G20 සභාපතිත්වයේ නිල ලාංඡනය, තේමාව සහ වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.

G20 සභාපතිත්වයේ තේමාව වන “වාසුධායිව කුටුම්භකම්” හෙවත් “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්” යන්න පෞරාණික සංස්කෘත ග්‍රන්ථයක් වන මහා උපනිෂද් ඇසුරින් ගන්නා ලද්දකි. මෙම තේමාව සියලු ජීවයේ එනම් මිනිස්, සත්ව, ශාක සහ වෙනත් ක්ෂුද්‍ර ජීව කොටස් හි අගය සහ පෘථිවිය මත සහ පුළුල් විශ්වය තුළ ඒවායේ අන්තර් සම්බන්ධතාවය පිළිඹිබු කරයි. එසේම එය වඩා පිරිසිදු, වඩා හරිත සහ නිල්වන් අනාගතයක් උදෙසා ගෝලීය වශයෙන් පරිවර්තනීය වෙනස්කම් වෙත මඟ පාදන පුද්ගල ජීවන විලාසිතා මෙන්ම ජාතික සංවර්ධනය යන මට්ටමෙන් පාරිසරික වශයෙන් තිරසාර, වගකීමක් සහිත තේරීම් හා සබැඳි “පරිසරය සඳහා ජීවන විලාසිතාව” යන සංකල්පය ද මතුකර දක්වයි. ඉන්දියාවට මෙවර හිමිව ඇති G20 සමුළුවේ සභාපතිත්වය දියුණු වෙමින් පවතින රටවල හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. බටහිර රටවල මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ගෝලීය ආර්ථික, දේශපාලන ප්‍රවනතා වල වෙනස්වීමක් මේ මගින් සනිටුහන් කරනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳපොළ එක් කිරීම සඳහා ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවට ඔවුන් හඳුනා ගෙන ඇත. යුරෝපය සහ ඇමෙරිකාවේ ව්‍යාජත්වයට එහා ගොස් ලෝක වාසීන්ගේ සැබෑ අර්බුදය හඳුනා ගැනීමට සහ සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමට මින් අවස්ථාව උදාකරගත හැකි බවට ඔවුන්ගේ විශ්වාසයයි. තවද ඉන්දියාව සහ අප්‍රිකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල් අතර සබඳතාව ඇතිකර ගැනීම සඳහා මේ මගින් ප්‍රමුඛත්වය ලබා ගත හැකි බව ද ඔවුහු පවසති. එමගින් භූ දේශපාලනික සහ තාක්ෂණික ලෝකය සමග ජනතාව සම්බන්ධ කළ හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.

දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය සහ වසංගත වැනි වර්තමානයේ විශාල අභියෝග විසඳා ගත හැකි වන්නේ එකිනෙකා සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් නොව එකට එක්වූ සාමූහිකව කටයුතු කිරීමෙන් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි G20 සමුළුවේ සභාපතිත්වය භාර ගැනීමෙන් පසුව අවධාරණය කර සිටියේය. මෙම නව ජාත්‍යන්තර වගකීමත් සමග තුන්වන විශාලතම ආරක්ෂක අයවැය සහිත සහ පස්වන විශාලතම ආර්ථිකය ලෙස, ඉන්දියාව වෙනස්වන බලවේගවල ගෝලීය අතර සහසම්බන්ධතාව සහ අඛණ්ඩව චලනය වන අන්තර්ජාතික පරිසරයට අනුවර්තනය වීමේ කුසලතාව පිළිබඳ නිදසුන් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

2014 සිට දේශපාලන නිරවද්‍යතාවයට වඩා ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදීම ඔස්සේ ඉන්දියාවට බොහෝ උපාය මාර්ගික ප්‍රතිලාභ ලැබී ඇති අතර ඒ අනුව ඉන්දියාවට, ගෝලීය උපාය මාර්ග සඳහා වැඩි ඉඩක් ඇති බව වසර අටක පමණ කෙටි කාලයක සිට පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

නරේන්ද්‍ර මෝදිගේ සභාපති ධුරය යටතේ G20 සංසදය 2023 වසරේදී විවිධ අංශ 32ක් නියෝජනය වන පරිදි ඉන්දියාව පුරා රැස්වීම් 200ක් පමණ සංවිධාන කර ඇති අතර, එය ඉන්දියාවේ සත්කාරකත්වය ලබා දෙන ඉහළම මට්ටමේ රාජ්‍ය නායකයන්ගේ හමුව බව එරට මාධ්‍ය වාර්තා කළේය.

G20 නිල ලාංඡනය ඉන්දියානු ජාතික ධජයේ තැඹිලි, සුදු සහ කොළ යන විචිත්‍ර වර්ණයන්ගෙන් ද නිල් පැහැයෙන් ද සමන්විත වේ. අභියෝග මැද වර්ධනය පිළිඹිබු කරන ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මල පෘථිවි ගෝලය සමඟින් යොදා ඇත. පෘථිවි ගෝලය ස්වභාව ධර්මය හා පරිපූර්ණ වශයෙන් සුසංයෝගී වන ජීවිතය සඳහා ඉන්දියාවේ පෘථිවි හිතකාමී ප්‍රවේශය පිළිඹිබු කරයි. G20 ලාංඡනයට පහළින් “භාරත්” යන වචනය දේවනාගරි අකුරින් දක්වා ඇත. නිල ලාංඡනය සහ තේමාව ඉන්දියාවේ G20 සභාපතිත්වයේ කේන්ද්‍රීය අවධානය පැහැදිලිව සහ ශක්තිමත්ව ගෙන හැර දක්වයි. G20 සභාපතිත්වය සඳහා ඉන්දීය අනන්‍යතාවයකින් යුත් ප්‍රවේශය මෙම අභියෝගාත්මක කාලයේදී අවට පරිසර පද්ධතිය සමඟ සුසංයෝගයෙන් ජීවත් වීම සහ ලොව සැමට තිරසාර, සාකල්‍ය, වගකීම් සහගත සහ සැවොම ඇතුළත් වන අයුරින් සාධාරණ සහ සමාන වර්ධනය ළඟා කරගැනීම අවධාරණය කරයි.

G20 සභාපතිත්වය අන්තර්ජාතික වැදගත්කමකින් යුත් වැදගත් ගැටලු පිළිබඳ ගෝලීය න්‍යාය පත්‍රයට දායකත්වය ලබා දීමට ඉන්දියාවට අවස්ථාවක් හිමි කර දේ. එසේම ඉන්දියාවේ G20 සභාපතිත්වය 2022 අගෝස්තු 15 වැනි දින 75 වැනි නිදහස් දින සංවත්සරයෙන් ඇරඹී 2047 වර්ෂයේ සියවන නිදහස් දිනය දක්වා වන වසර 25ක “අම්රිත්කාල්” කාලය ඇරඹීම ද සනිටුහන් කරයි. මෙය මානුෂවාදී ප්‍රවේශයක් කේන්ද්‍ර කරගත් අනාගතවාදී, සෞභාග්‍යමත්, සැවොම ඇතුළත් වන සහ සංවර්ධිත සමාජයක් උදෙසා යන ගමනකි.

G20 නායකයින්ගේ සාකච්ඡා අතර දේශගුණික විපර්යාස, තිරසර බලශක්තිය, ජාත්‍යන්තර ණය සඳහා සමා කාලයන් ලබාදීම, සහ බහුජාතික සමාගම්වලට බදු පැනවීමේ ක්‍රම වැනි පුළුල් මාතෘකා අඩංගු වේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සුබපැතුම් එක්කරමින් පවසා තිබුණේ ඉන්දියාව එක්සත් ජනපදයේ ප්‍රබල හවුල්කරුවකු වන අතර, ඔහු ඉන්දියාවේ G20 සභාපති ධුර කාලය තුළ තම මිතුරකු වන අගමැති මෝදිට සහය දැක්වීමට බලාපොරොත්තු වන බවයි. මීට අමතරව ප්‍රංශය, ජපානය ඇතුළු ප්‍රබල රාජ්‍යන් නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් අගමැති මෝදීට සුබපැතුම් එක්කර තිබුණි. යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් G20 සමුළුවේදී ඊට අයත් රටවල් පැහැදිලි ස්ථාවරයකට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වන බව හා එහි ගෞරවය ඉන්දියාවට හිමිවිය යුතු බව ජර්මනිය පවසයි. ජර්මානු විදේශ කටයුතු අමාත්‍ය ඇනලෙනා බාඑර්බොක් මහත්මිය මෙම අදහස් පළ කළේ ඇය ඉන්දියාවේ නිල සංචාරයකට සූදානමින් සිටින පසුබිමක් තුළයි. එමෙන්ම බාලි හි පැවැති G20 සමුළුවේදී ඉන්දියාව ගෝලීය වශයෙන් සිය කාර්යයභාරය ඉටු කිරීමට සූදානම් බව ද මනාව පෙන්නුම් කළ බව ජර්මානු විදේශ අමාත්‍යවරිය පවසා ඇත. ජර්මානු විදේශ අමාත්‍යවරිය මෙලෙස ඉන්දියාවේ සංචාරයකට එක්වන්නේ ඉන්දියාව G20 සමුළුවේ සභාපතිත්වය ලබාගෙන දින කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයකි.

මීළඟ G20 රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 9-10 නව දිල්ලියේ දී පැවැත්වෙනු ඇත. බංග්ලාදේශය, ඊජිප්තුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, සිංගප්පූරුව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ‘ආරාධිත රටවල්’ ලෙස ආරාධනා ලබනු ඇත. ඉන්දියාවෙන් පසුව, G20 හි සභාපතිත්වය බ්‍රසීලයට ද 2025 දී දකුණු අප්‍රිකාවට ද හිමිවීමට නියමිතය.

G20 රටවල් ලෝක ආර්ථික නිෂ්පාදනයෙන් 85% කට සහ ලෝක වෙළඳාමෙන් 75% කට හිමිකම් කියන අතර, ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක් අඩංගු වේ. මෙය ප්‍රමුඛ කාර්මික රටවලින් සමන්විත G7 සමූහයේ දිගුවක් ලෙස ද හැඳින්විය හැකි ය. මන්ද, ඊට චීනය, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වේගයෙන් වර්ධනය වන සංවර්ධනය වන රටවල් ද ඇතුළත් වන බැවිනි.

මුල දී, G20 රැස්වීම් ප්‍රධාන වශයෙන් සාමාජික රටවල මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු නිලධාරීන් අතර පැවැත්විණි. G20 රටවල නායකයින් ප්‍රථම වරට 2008 දී හමුවූ අතර එතැන් සිට නිරන්තරයෙන් නායකත්ව සමුළු පැවැත්විණි. ලෝකයේ බහුපාර්ශ්වික සංසදවල මෝදිගේ සහභාගීත්වය සහ ගැටලු සමග කටයුතු කිරීමට ඔහුගේ ප්‍රවේශය පෙන්නුම් කරන්නේ ඉන්දියාව විශාල ගෝලීය කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බවයි. එබැවින් ලෝකයේ ප්‍රබලතම බහුපාර්ශ්වීය සබඳතා සම්බන්ධයෙන් ඉන්දීය සාධකය ඉතා තීරණාත්මක බව G20 සමුළුවේ නව ප්‍රවනතාවත් සමග අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

ආලෝක ප්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment