අඩු මිලට වැඩි පෝෂණයක් ලබා නිරෝගී සෞඛ්‍ය රැකගැනීම

131

වයසට යනකම් මට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැහැ. ඉඳලා හිටලා හෙම්බිරිස්සාවක් හැදුණා විතරයි. එතකොට කොත්තමල්ලි ටිකක් තම්බලා බොනවා. බොහෝ වැඩිහිටියෝ එසේ උදම් අනන්නේ වර්තමානයේ පරම්පරාව නිතරම වෛද්‍ය ප්‍රතිකාර සොයා යනවිට සහ රෝගී වන විටදීය.

 දැන් ඉන්න ළමයින්ට වැස්සට තෙමෙන්න බැහැනේ. හෙම්බිරිස්සාව, උණ හැදෙනවා. එදා අපි නා කපන වැස්සට තෙමිලත් කිසිම ලෙඩක් හැදුණේ නැහැ.

 මෙලෙස පවසන විට අපට ඇතිවන ගැටලුව වනුයේ වර්තමානයේ මෙතරම් සෞඛ්‍ය පහසුකම් තිබියදී අප නිතර රෝගී වන්නේ ඇයි දැයි කියාය.

 ගසක ඵල සරුවට හට ගන්නේ එය පැළයක්ව තිබියදී සිදු කරන සාත්තුව මෙන් පුද්ගලයකුගේ නිරෝගී සෞඛ්‍ය තීරණය වන්නේ කුඩාකල ලබන පෝෂණය සහ නිරෝගී සෞඛ්‍ය හුරු පුරුදු අනුගමනය කිරීම අනුවය.

 අපට නිරෝගීව ජීවත්වීමට අවශ්‍ය ප්‍රධාන පෝෂණ සංඝටක වන්නේ පිෂ්ටය, ප්‍රෝටීන්, මේදය සහ විටමින් වර්ගය.

 මෙය සෑම වෛද්‍ය ක්‍රමයකදීම සඳහන් කර ඇත. මහා සෘෂි නාඩි වෛද්‍යවරු ඊට පැවසුවේ ආහාර සම්පත් බවය. මෙම ආහාර සම්පත් ඉතා පහසුවෙන් ලබාගත හැකිය. වර්තමානයේ බොහෝ දෙනා ආහාර මිල ගණන් ගැන පවසා වේලක් හැර වේලක් කෑමට හෝ පෝෂණය වැඩි ආහාර වර්ග ප්‍රතික්ෂේපකර ජනප්‍රිය ආහාරවලට ගොස් ආර්ථික ගැටලු සහ පෝෂණ ගැටලුවලට බලහත්කාරයෙන් මුහුණදී සිටිති.

 සිරුරට අවශ්‍ය පිෂ්ටය, බත්, අලවර්ග, කොස්, දෙල් වැනි ආහාර මගින් ලබාගත හැකිය.

 කොස් ඇට, කවුපි, මුං ඇට වැනි ආහාරවල හොඳින් ප්‍රෝටීන් ඇත. සාමාන්‍යයෙන් සිරුරට ඉතා පහසුවෙන් උරාගත හැක්කේ සතුන්ගේ මස්වල ඇති ප්‍රෝටීන්ය. එනිසා මුළු මස් වර්ග සතියකට වරක් හෝ ආහාරයට ගැනීම ගුණදායකය. හාල්මැස්සන්, කුඩා මාළු, වැව් මාළු, මුහුදු මාළු, සිව්පා සහ පක්ෂීන්ගේ සිරුරුවල මස් වල ඇති ප්‍රෝටීන් ඉතා ඉක්මනින් අපගේ සිරුරට ලබාගත හැකිය. එසේම එම ආහාර සුළු ප්‍රමාණයකින් දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගත හැකිය. එනිසා එවැනි ආහාර දවසේ වේල් තුනටම ගත යුතු නැත.

 පොල්වල මේදය මෙන්ම ප්‍රෝටීන්ද විටමින් වර්ගද බහුලය. එසේම එය විෂබීජ නාශකයකි. එනිසා අපේ වැඩිහිටියන් සිරුරට වසක් විසක් ඇතුළුවූ විට වහාම පොල් කිරි ටිකක් පානයට දුන්නේ එබැවිනි.

 මදුරුවෙක්, කඩියෙක්, කූඹියෙක් වැනි සතෙක් දෂ්ට කළවිට දළඹුවෙක් ගෑවුණු විට ඉන් ඇතිවන වේදනාව නැතිකර ගැනීමට සහ පලු දැමීම වළක්වා ගන්නට ආලේප කළේ පොල්තෙල්ය.

 එනිසා මේදය ලබාගැනීමට චීස්, බටර්, ආහාරයට ගත යුතුම නැත.

 අතීතයේ වැඩිහිටියන් බිත්තර වැඩිපුර ආහාරයට ගත්තේ නැත. එහි ඇති පෝෂණය කොස් ඇට කිහිපයක් තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ලබා ගත්හ. එසේම ලාවුළු, කටුඅනෝදා, කොස් ආදියෙන් ලබාගත හැකිය.

 සම පැහැපත් කර ගැනීමට පලාවර්ග, පළතුරු වර්ග ආහාරයට ගැනීම මෙන්ම දිනපතා ජලය ලීටර් තුනක්වත් පානය කළ යුතුය. සම පිරිසිදු කරගත යුතුය. එහිදී දිනකට උදේ සහ සවස සිරුර පිරිසිදු කර ගන්නා විට පමණක් සබන් ගැල්වීම සුදුසුය. නිතර සබන් ගැල්වීම මගින් සම හානියකට ලක්වේ.

 උදෑසන අවදිවී පිරිසිදු ජලය වීදුරුවක් පානය කර හොඳින් ගැඹුරු හුස්ම වාර දහයක් ගැනීම මගින් සිරුරට හොඳින් ඔක්සිජන් ලැබේ. පෙනහලු ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. ලේ පිරිසිදු වේ. මුත්‍රා පිටවීම හොඳින් ඇතිවේ. මල පිටවීමට ඇතිවන බාධා නැති වේ.

 මෙලෙස ආහාර පාන ගැනීමෙන් නිරෝගීව දිගු කලක් ජීවත්වීමටත් නිතර ලෙඩ රෝගවලට  ගොදුරුවීමෙන් වැළකී සිටීමත් හැකියාව උදාකරගත හැකිය. එවිට ආහාර පාන සඳහා වැයකරීමට සිදුවන මුදල්ද පාලනය කරගත හැකිය.

අඩු මිලට වැඩි පෝෂණයක් ලබා නිරෝගී සෞඛ්‍ය රැකගැනීම

සෘෂිනාඩි වෛද්‍ය මහාචාර්ය පිළිකා, ආතරයිටීස්,
 සෙම් රෝග විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment