අධ්‍යාපනය ආපසු හැරෙයි; සිංහල රජ කාලය බලා ගමන් කරයි

5857

ලංකාවේ වෙසෙන අවුරුදු 5 ත් 17 ත් අතර දරුවන්ගෙන් 20,000 ට කිට්ටු ප්‍රමාණයක් බැගින් සෑම වසරකම අකාලයේ පාසල් හැරයන බව ඊයේ ‘දිවයින’ පුවත්පතේ පලවිය. ළමා ආරක්ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුව මගින් කෙරුණු සමීක්ෂණයකදී මේ ගණන් හිලව් හෙළිව තිබේ. එම ලිපියේ සඳහන් වන පරිදි හොඳම දේ දරුවන්ට නමැති නිර්ණායකයට අනුව මේ රට කටයුතු කළේ නම් අවුරුද්දකට ළමයින් 20,000 ක් පාසල හැරයන්නේ නැත. හොඳම දේ දරුවන්ට නමැති කියමන නිකන්ම නිකන් මායාවක් පමණි. පවුල නමැති ඒකකය තුළදී හොඳම දේ දරුවන්ට දීමට මාපියෝ තැත් කරති. එහෙත් සමාජයක් වශයෙන් ගත්කළ හොඳම දේ ලැබෙන්නේ වැඩිහිටියන්ටය. කිසියම් පවුලක පියා ස්ත්‍රී ධූර්ත කසිප්පුකාරයකු නම් හොඳම දේ ලැබන්නේ බාර් එකටය. ශ්‍රී ලංකාව යනු එක්තරා කාලයකදී ආසියාවේ වැඩිම සාක්ෂරතාව තිබූ රටය. අපේ සාක්ෂරතාව ජපානයට පමණක් දෙවන වන බව හෙළිවිය. එහෙත් නූතනයේදී මේ රටේ සාක්ෂරතාව ඉතා නරක ලෙස පල්ලම් බසිමින් පවතී. දුප්පත්කම නිසා සැලකිය යුතු ළමයින් පිරිසක් පාසල් හැරයන බව පෙනේ. දෙවනුව අධ්‍යාපනයේ වටිනාකම නොදත් දෙමාපියන්ගේ දරුවෝ පාසල් අත්හරිති. පාසල්වලින් ඉවත්කරගත් සිය දරුවන් තේ දලු කැඩීම හෝ තේ වතුවල ගල් වැටි බැඳීම හෝ සඳහා යොමුකරවන දෙමාපියෝද වතු පාලකයෝද අදටත් වතුකරයේ සිටිති. මේ දරුවන් වැඩි දෙනෙක් ළමා විය ඉක්මවීමටත් පෙර මව්පියෝ බවට පත්වෙති. අධ්‍යාපනය නැති තැන ප්‍රශ්න බොහොමයක් හටගනී. නූගත්කම නිසා දුප්පත්කම ඇතිවේ. දුප්පත්කම නිසා ගණිකා වෘත්තීය, සොරකම් සහ වෙනත් අපරාධ හටගනී.

ලංකාව යනු වැඩවසම් ඉතිහාසයක් තිබූ රාජධානියකි. අපේ රජවරුන් මාර පොරවල් යනුවෙන් බයිලා ගායනා කෙරෙන නමුත් රජවරුන් යටතේ සිටි සිංහල වංශවතුන්ගෙන් වැඩිදෙනා අන්තිම කුහක කොම්ප්‍රදෝරු පිසාචයන් පිරිසක් වූහ. තම ආධිපත්‍ය තම ප්‍රදේශවල පතුරුවා හැරීමට නම් මහජනතාව දුප්පත්කමේ සහ නූගත්කමේ ගිල්වා තැබීම අත්‍යවශ්‍ය බව ඔවුන් තේරුම් ගත්හ. මේ නිසා මෙයට අවුරුදු දෙතුන් සීයකට පෙර මේ රටේ වංශවතුන්ගේ දරුවන් හැර පහළ සමාජ ස්ථරවල සිටි දරුවන්ට අධ්‍යාපනයක් නොලැබිණ. ඉංග්‍රීසිකාරයා කොපමණ කසඩයකු වුවද මේ රටේ අධ්‍යාපනය ප්‍රති සංවිධානය කිරීමට ලොකු මෙහෙවරක් කළේය. ඔවුන් ප්‍රවර්ධනය කළේ ඉංග්‍රීසි අධ්‍යාපනය පමණක් බව ඇත්තය. එහෙත් ඒ බව දුටු බෞද්ධ භික්ෂූන් වහන්සේලාද ඇතැම් දේශමාමක සිංහල උගත්තුද ඉංග්‍රීසින් වෙතින් ගේම ඉල්ලීම සඳහා සිංහල අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට පටන් ගත්හ. මේ අනුව පන්සල එක අධ්‍යාපන ස්ථානයක් බවට පත්විය. අනෙක් අධ්‍යාපන ස්ථානය වූ school හෙවත් ඉස්කූල් හෙවත් ඉස්කෝලයේ ප්‍රධානියා බවට ලොකු ඉස්කෝලේ මහත්තයා පත්විය. මේ ලොකු ඉස්කෝලේ මහත්තයා හොඳ මිනිහෙක් වූයේ නම් දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබිණ. ඒකා වැඩවසම් හපුට්ටකු වී නම් යල සහ මහ කන්න වලදී ළමයින්ට අධ්‍යාපනයක් ලැබුණේ නැත. ඒ කන්න දෙකේදී ඉස්කෝල වසාදමන ලද අතර පාසල් දරුවෝ ලොකු ඉස්කෝල මහත්තයාගේ කුඹුරුවල වැඩට ගියහ. අපේ පාඨකයා පුදුම නොවේවා! මේ තත්ත්වය ඉතා දුරබැහැර පාසල්වල අදටත් පවතී. කෙසේ වුවද 1942 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන ලදී. මේ යටතේ නිදහස් අධ්‍යාපනය රජයේ සහයෝගය ලැබෙන පාසල් මධ්‍ය මහා විද්‍යාල, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම යනාදිය ඇතිවිය. මේ නිසා යලට මහට පාසල් වහන ලොකු ඉස්කෝලේ මහත්තයාගේ බලය යම් පමණකට කඩා වැටුණු බව 1942 දී මෙරටට පැමිණි Ivor Jennings ලංකාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිහි කළේය. 1960 දී මේ ක්‍රමය කුණු දේශපාලනඥයන් විසින් විනාශ කරන ලදී. ඒ අනුව රටේ අධ්‍යාපනය නැවත වරක් ආපස්සට ගොස් මුදල් ඇති පවුල්වල ළමයින්ට ඔක්ස්වර්ඩ්, කේම්බි්‍රජ්, හාවඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවලට යෑමටත් අනෙක් අයට කම්කරුවන් හෝ ලියන මහත්වරුන් වීමට අවස්ථාව ලැබිණ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අද වනවිට වැට් බදු නිසා මිල ඉහළ දමනු ලැබීමෙන් විකුණාගත නොහැකිව කුණුවූ අල ගොඩක් බවට පත්ව තිබේ. ඒ නිසා මේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ සහ ධනපති පන්තියේ දරුවන් වැඩිදෙනා ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයට යොමුවී සිටිති. සමාගම් ආඥා පනත යටතේ පිහිටුවන බුලත්විට කඩ වැනි ජාත්‍යන්තර පාසලක් ඕනෑම කෙනකුට පටන්ගත හැකිය. මේ ජාත්‍යන්තර පාසල ඔස්සේ විභාග සමත්වන ළමයි බෙලරුස්, චීනය, ඉන්දියාව, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය විද්‍යාව හදාරා මෙරටට එති. මෙසේ පිට රටින් එන අලුත් ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව අවුරුද්දකට 400 කි. රට තුළ පෞද්ගලික ජාත්‍යන්තර පාසල් දැමීමට කිසිදු විරෝධයක් නොපෙන්වන හිඟන වෘත්තීය සමිතිකාරයෝ රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමීමට විරුද්ධ වෙති. මෙයින් කියවෙන්නේ මේ රටේ වෘත්තීය සමිතිවලට හෝ අධ්‍යාපනයට හෝ කිසිදු ප්‍රතිපත්තියක් නැති බවය. සාමාන්‍යයෙන් වෘත්තීය සමිතිවල ප්‍රතිපත්තිය වන්නේ ඒ වෙලාවේ රටේ තිබෙන ආණ්ඩුවට විරුද්ධ වීම හෝ සපෝට් කිරීමය. මේ නිසා මේ රටේ අධ්‍යාපනය කෙරෙහි ඇති විශ්වාසය දිනෙන් දිනම පහත බසිමින් පවතී. මේ තත්ත්වය දිගටම තිබුණොත් නැවත වතාවක් අකුරු බැරි පරම්පරාවක් බිහිවී ෆේස්බුක් සහ යූටියුබ් පමණක් බලා ආතල් ගන්නා කුඩු පරම්පරාවක් රට තුළ ඉතිරි වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment