අධ්‍යාපන සේවයේ  60 පනින 38 දෙනා තියා ගත්තොත් උසාවි යනවා – ලංකා ගුරු සංගමයේ සභාපති

223

මෙම වසරේ දෙසැම්බර් මස වයස අවුරුදු හැට සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යෑමට නියමිතව සිටින අධ්‍යාපන පරිපාලන එක (1) ශ්‍රේණියට අයත් උසස් නිලධාරීන් තිස්අට දෙනකුගේ සේවය දීර්ඝ කර යළි සේවයේ පිහිටුවීමට බලධාරීන් උත්සාහ දරමින් සිටිනවා. මෙම අනීතික ක්‍රියාමාර්ගය වහාම නවතා දමන ලෙසත් එසේ නොකළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කළ බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

 අනුරාධපුර දී ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළ සභාපතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

 මේ වන විට ලංකාවේ සිටින සියයක් (100) පමණ වන අධ්‍යාපන පරිපාලන සේවා පළමු ශ්‍රේණියේ නිලධාරීන් තිස් අටදෙනකු විශ්‍රාම යනවා. මේ අය අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා හා උතුරුමැද, බස්නාහිර, වයඔ, ඌව ඇතුළු පළාත් හයක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හයදෙනකු හා උසස් පරිපාලන තනතුරු දරණ අය සිටිනවා. මේ අය විශ්‍රාම ගත හොත් අධ්‍යාපනය කඩා වැටෙන බව පවසමින් අධ්‍යාපන පරිපාලන සේවා සංගමය එම පිරිස තවදුරටත් සේවයේ රඳවා ගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා.

 මෙම පිරිස අතර දේශපාලන පළිගැනීම්වලින් එම තනතුරුවලට ආපු අයත් සිටිනවා. මෙම පිරිස විශ්‍රාම යෑමෙන් අනතුරුව ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨ දක්ෂ නිලධාරීන් එම තනතුරුවලට පත් කළ යුතුයි. එසේ නොමැතිව අනීතික ලෙස දේශපාලන හිතවත්කම් මත ඔවුන්ගේ සේවය දීර්ඝ කිරීමට දරණ නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව අප පෙනී සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට එම පුරප්පාඩු වන තනතුරු සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කර ඉල්ලුම් පත්‍ර කැඳවීමට පියවර ගතයුතු වුවත් මෙතෙක් ඒ සඳහා කටයුතු කර නැහැ.

 එම නිසා වහාම මෙම අනීතික ක්‍රියාමාර්ගය නවතා නව බඳවා ගැනීම් සඳහා එම තනතුරු ගැසට් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවන්නේ නම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරනවා යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment