අපට වසන් කළ ලෝක බැංකුව හෙළි කළ ඇත්ත

4007

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් පෙරේදා (02) නිකුත් කළේය. මේ නිමිත්තෙන් එදින කොළඹ පිහිටි ලෝක බැංකුවේ මෙරට කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ද පැවැති අතර එහිදී එම වාර්තාව ගැන කරුණු පැහැදිලි කර මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ද සිදු විය. මේ වාර්තාව නම් කර ඇත්තේ Sri lanka development update – Bridge to Recovery (ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම – ‘ප්‍රකෘතිමත් වීමට පාලම’) ලෙසය. මෙමගින් ශ්‍රී ලංකා ආර්ථිකය ගැන කරුණු රැසක් අනාවරණය කර ඇති අතර මෙමගින් ලෝක බැංකුව මූලික වශයෙන්ම කියන්නේ ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතින බවයි. එනම් 2022 වසරේ දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අතර ලෝක බැංකුව කියන්නේ එම අර්බුදයෙන් පසු අපේ ආර්ථිකය මේ වන විට කිසියම් දුරකට ස්ථාවර වීමේ ලකුණු පෙන්වන බවයි. එහෙත් ඒ සමගම ලෝක බැංකුව කියන්නේ අපේ දුප්පත්කම ගිය වසර (2023) වන විට සියයට 25.9 ක් දක්වා වර්ධනය වී ඇති බවයි. එනම් මේ වන විට රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් දුප්පත්කමට ඇද වැටී ඇත. මේ වූ කලී අති විශාල ප්‍රතිශතයකි. මෙසේ ඉහළ මට්ටමකට පත්ව ඇති දුප්පත්කම පිළිබඳවත් එසේම ලෝක බැංකුවේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සඳහන් කර ඇති සෙසු කරුණු ගැනත් මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ.

● ලෝක බැංකුවේ වාර්තාව

ලෝක බැංකුව පෙරේදා (02) ශ්‍රී ලංකාව ගැන නිකුත් කර ඇති ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වමින් සියයට 2.2 ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට පුරෝකථනය කර ඇත. නමුත්, රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාවන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටලු පවතී.’

● ආර්ථික වර්ධන අපේක්ෂා

2022 වසරේ දී සියයට 7.3 ක සැලකිය යුතු ඍණ ආර්ථික වර්ධනයෙන් පසු ගිය වසරේ (2023) දී සියයට 2.3 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. 2023 වසරේ පළමු කාර්තු දෙකේ ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළත් තෙවන සහ සිව්වන කාර්තු දෙකේ වාර්තා කළේ ධන ආර්ථික වර්ධනයකි. මේ නිසා 2023 වසරේ සමස්ත ආර්ථික වර්ධනයේ ඍණ අගය සියයට 2.3 ක් දක්වා අඩු කර ගැනීමට හැකිව ඇත. මේ අනුව පසුගිය වසර දෙකේ ඍණ ආර්ථික වර්ධනයෙන් පසුව මේ වසරේ (2024) දී සියයට 2.2 ක ධන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එසේම ලෝක බැංකුවේ පුරෝකථනයට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය ලබන වසරේ (2025) දී සියයට 2.5 කින් සහ 2026 වසරේ දී සියයට 3 කින් ද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

● ජංගම ගිණුම් අතිරික්තයක්

ලෝක බැංකුවේ මෙම නවතම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ බැසීමක් ඇති බවත් නව මූල්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම නිසා ඉහළ ආදායමක් ලබන බවත් වැඩි වූ මුදල් සංප්‍රේෂණය කිරීම මගින් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් වැඩිවීම මගින් දශක පහකට පසුව පළමු වරට ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්නුම් කරන බවත් ය.

● වැඩි වූ දරිද්‍රතා මට්ටම

මෙසේ ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු ඇතත් රටේ දරිද්‍රතා මට්ටම එක දිගට අවුරුදු හතරක් (4) වැඩි වී ඇත. එසේ වැඩි වී ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25.9 ක් 2023 වර්ෂයේ දී දරිද්‍රතා මට්ටමට පහළින් ජිවත් වූ බවත් ලෝක බැංකුවේ එම වාර්තාව සඳහන් කරයි. මේ අනුව රටේ ජනයාගෙන් හතරෙන් එකක්ම මේ වන විට දුප්පතුන්ය. 2022 වසරේ රට මුහුණ දුන් විදේශ විනිමය අර්බුදයෙන් මිදීම සඳහා අයිඑම්එෆ් සහාය ගැනීමට රජය යොමු වූ අතර ඒ අනුව එම අරමුදලෙන් අපට අරමුදල් පහසුකමක් ලැබුණි. එහෙත් ඒ සමග එම අරමුදල සමග රජය එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ද රජයට ක්‍රියාත්මක කිරීමට සිදු විය. ඒ අනුව ජනයාගේ බදු බර මේ වන විට විශාල වශයෙන් වැඩි වී ඇත. එසේම පසුගිය කාලයේ දී සියයට 70 ක් දක්වා ඉහළ ගිය විශාල උද්ධමනයකට මුහුණ දීමට ද ජනයාට සිදු විය. ඛනිජ තෙල් මිල ගණන් කිහිප විටක් සැලකිය යුතු අගයන්ගෙන් වැඩි විය. විදුලි බිල් සහ ජල බිල් යනාදිය ද වැඩි විය. මේ සමග බඩු මිල විශාල ලෙස වැඩි වී විශාල මිල පීඩනයකට ජනයාට මුහුණ දීමට සිදුව ඇත. එනම් සමස්තයක් ලෙස අතිමහත් බහුතර ජනයාගේ මුර්ත ආදායම් සැලකිය යුතු පහත වැටීමකට ලක්ව ඇති බවයි. මෙසේ බඩු මිල වැඩි වීමට සාපේක්ෂව ජනයාගේ ආදායම් මට්ටම් වැඩි වී නැත. ඇතැම් අයගේ ආදායම් මට්ටම් අඩු වීම සහ රැකියා අහිමි වීම් ද සිදුව ඇත. මේ නිසා ලෝක බැංකුව කියන පරිදි දිගින් දිගටම දුප්පත්කම වැඩි වී මුළු ජනගහනයෙන් හතරෙන් එකක්ම දිළිඳු වී ඇති බව පුදුමයක් නොවේ.

සියයට 70 ක් පමණ දක්වා ඉහළ ගිය උද්ධමනය මේ වන විට විශාල ලෙස අඩු වී තිබුණත් එහි අදහස බඩු මිල අඩු වී ඇති බව නොව තවදුරටත් බඩු මිල වැඩි වීමේ වේගය අඩු වී ඇති බව පමණකි. ඒ නිසා උද්ධමනය අඩු වුවත් භාණ්ඩවල වැඩි වූ මිල ගණන් අඩු වී නැත. සිදු වන්නේ එම මිල ගණන් සුළු අගයකින් හෝ තවදුරටත් වැඩිවෙමින් තිබීමයි. මෙසේ වැඩි වූ භාණ්ඩවල මිල අඩු නොවීමත් එසේම ජනයාගේ ආදායම් මට්ටම් වැඩි නොවීම සහ ඇතැම් විට අඩු වීම නිසාත් සිදුව ඇත්තේ ජීවන බර විශාල ලෙස වර්ධනය වීමයි. මේ අනුව ජීවන වියදම් විශාල ලෙස වැඩිවීම නිසා අනිවාර්යෙන්ම රටේ දිළිඳු ජනකොටස සැලකිය යුතු ලෙස වැඩි වීම ගැන අපට තේරුම් ගත හැකිය. ඒ අනුව අප රටේ දිළිඳු ජනකොටස වැඩි වී ඇත්තේ මෙසේය. මෑත කාලීන වසර පහේ ලෝක බැංකු දත්තවලට අනුව වර්ෂ 2019 දී සමස්ත ජනගහනයෙන් සියයට 11.3 ක් දිළිඳු රේඛාවට පහළින් සිට ඇත. එම ප්‍රතිශතය වර්ෂ 2020 දී එය සියයට 12.7 ක් දක්වා ද, වර්ෂ 2021 දී සියයට 13 ක් දක්වා සහ වර්ෂ 2022 දී එම ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 25 ක් දක්වා ද දෙගුණයකින් පමණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එම ප්‍රතිශතය 2023 දී ලෝක බැංකුව කියන පරිදි මෙසේ සියයට 25.9 දක්වා තවත් වැඩි වී ඇත. මේ අනුව සිදුව ඇත්තේ අප රට මුහුණ දෙන දිළිඳුකම පිටුදැකීමේ අභියෝගය වඩාත් උග්‍ර වීමයි. ඒ අනුව අපට සමාජ ආරක්ෂණ වැඩසටහන් ද ශක්තිමත්ව දියත් කිරීමට සිදුවනු ඇත.

● ව්‍යාපාර වැසී යෑමේ බලපෑම

එම ලෝක බැංකු වාර්තාවේ මෙසේ ද සඳහන්ව ඇත.

‘ශ්‍රම බලකායේ සහභාගිත්වය ද අඩුවීමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන් කුඩා ව්‍යවසායන් සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දැමීම නිසා කාන්තාවන් අතර සහ නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බලකා සහභාගි වීමේ අඩුවක් දක්නට ලැබුණි. භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්ත්වය අඩුවීම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතීම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනතාව පීඩනයට පත් වී සිටී. මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද සෞඛ්‍යය හා අධ්‍යාපන වියදම් දැරීම සඳහා ද ණය ගැනීමට සිදු වී ඇත.’

මේ සඳහන අනුව අපේ ජනයා මුහුණ දී සිටින අසීරු තත්ත්වය තවත් පැහැදිලි වනු ඇත. ශ්‍රම බලකායේ සහභාගිත්වය අඩු වීමට ව්‍යාපාර ආයතන වැසී යෑම ද හේතුවක් වී ඇත. පසුගිය කොවිඩ් සමයේ සිටම ව්‍යාපාර ආයතනවලට අහිතකර තත්ත්වයක් උදා විය. විශේෂයෙන් 2022 වසරේ ආර්ථික අර්බුදයත් සමග රුපියල වේගයෙන් පිරිහීම මෙන්ම විදේශ විනිමය හිඟය නිසා අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීමත් සහ ඒවා මිල අධික වීමත් සිදු විය. මේ තත්ත්වය බොහෝ ව්‍යාපාරවල වියදම් ඉහළ ගොස් ඒවා කරගෙන යෑමට අපහසු තත්ත්වයක් ඇති කළේය. මේ නිසා බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර රැසක් වැසී ගොස් තිබේ.

● ආහාරවලට පවා ණය වීමට සිදුවීම

එසේම අධික බඩු මිලේ ප්‍රශ්නය සහ ආදායම් මට්ටම් අඩු වීම නිසා ලෝක බැංකුව ද පෙන්වා දෙන පරිදි සිදුව ඇත්තේ ජනයාට කනබොන දෙයට පවා ණය වීමට සිදු වීමයි. එනම් නොකා නොබී ජීවත් වීමට සිදුවෙන තත්ත්වයක් බොහෝ දෙනකුට උද්ගත වීමයි. මේ නිසා ජනයා මේ දුප්පත් තත්ත්වයෙන් මිදීමට නම් විය යුතු වන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් ජනයාගේ ආදායම් මට්ටම් වැඩි විය යුතු වීමයි. ඒ සඳහා කාලයක් ගතවනු ඇත. ආර්ථිකය ධන තත්ත්වයට පත් වුවත් තවමත් අප සිටින්නේ දළ දේශීය නිෂ්පාදිතය පැත්තෙන් කොරෝනා වසංගතයට ද පසුපසින් බව අප අමතක කළ යුතු නොවේ.

ඒ අනුව 2022 වසරේ වාර්තා වූයේ සියයට 7.3 ක විශාල ආර්ථික සංකෝචනයකි. (පසුබෑමකි.) එසේම අපට පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රට බංකොලොත් වීම වැනි ප්‍රධාන සිදුවීම් හමුවේ පසුගිය වසරවල අපේ ආර්ථික ක්‍රියාකාරකම්වලට බලවත් අහිතකර බලපෑම් ඇති වී දැන් එම තත්ත්වයන්ගෙන් ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබුණත් රට තවමත් වැටුණු වළෙන් ගොඩට පැමිණ නැත. ඒ බව 2018 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව දැන් සිටින තත්ත්වය සැසඳීමෙන් ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව 2018 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 13235458 කි. 2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 11,881,736 ක් ලෙස වාර්තා වී ඇත. එනම් රට තවමත් තිබෙන්නේ 2018 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බොහෝ පසුපසින් බව පැහැදිලිය.

මේ වාර්තාව නිකුත් කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සඳහා අධ්‍යක්ෂක ෆාරිෆ් හඩාඩ් සවෝස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින නමුත් රට තුළ සිදුකරමින් සිටින ප්‍රබල හා විශ්වසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අතරතුර දුප්පත් සහ අවදානමට ලක් වී ඇති ජනතාව කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම අඩුකිරීම සඳහා දරන ලද තිරසාර උත්සාහයන් ද ඉතා වැදගත්ය. මෙයට උපාය මාර්ග දෙකක් ඇතුළත් වේ: පළමුව, සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායක වන ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ දෙවනුව, ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පුද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලා ඒම ධෛර්ය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම” යැයි ඒ මහතා තවදුරටත් පැවසීය.

● දුප්පත් ජනයාගේ ආර්ථික පීඩාව

ලෝක බැංකුව කියන්නේ ප්‍රබල හා විශ්වසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන අතරතුරම දුප්පත් සහ අවදානමට ලක් වී ඇති ජනතාවට ඇති ආර්ථික පීඩාවන් ද සමනය කළ යුතුව ඇති බවයි. මේ සඳහා දැනට ක්‍රියාත්මක වන වැඩසටහන වන්නේ අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයයි. මේ වැඩසටහන ගැන ද බොහෝ චෝදනා එල්ල වී ඇත. ඊයේ (03) ‘දිවයින’ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ පුවතක සඳහන් වූයේ දරුවන්ට කන්න දෙන්න ක්‍රමයක් නැතුව තිස්සමහාරාම ප්‍රදේශයේ පියෙක් වස බී ඇති බවයි. එම පවුලේ සමෘද්ධියත් කපා ඇති බවත් එසේම අස්වැසුම ලබාදෙන බව පැවසුවත් තවමත් අස්වැසුම පවා ලබා දී නොමැති බවත් එම වස පානය කළ අයගේ බිරිඳ පවසා තිබිණි. එසේ නම් ‘අස්වැසුම’ ප්‍රතිලාභ පවා සැබෑ දුප්පතුන්ගෙන් කොටසකට නොලැබෙන බව ද පැහැදිලි වන්නකි. එහෙත් ලෝක බැංකුව මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ණයදෙන ආයතන පවසන පරිදි දුප්පත් සහ අවදානමට ලක්වෙන ජනයාගේ ආර්ථික පීඩාවන් සමනය කර ඔවුන්ට නිසි සමාජ ආරක්ෂණය සැලසීමට නම් මේ අස්වැසුම වැඩසටහන මගින් සැබෑ දුප්පත් ජනයාට ප්‍රතිලාභ ලැබිය යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment