අපායේ ඉන්ටර්වල් එක (තාවකාලිකව) අවසන් !

1952

අපායේ පැහෙන පව්කාරයන්ට කල්ප ලක්ෂයකට වතාවක් ඉන්ටර්වල් එකක් දෙන බවට කතාවක් තිබේ. එය විනාඩි පහක ඉන්ටර්වල් එකකි. මේ කාලය තුළදී ලෝදිය බීම නවත්වා බීඩියක් බීමට පව්කාරයන්ට පුළුවන. කටු ඉඹුලින් බැසවිත් තරුණ යම පාලිකාවකට ඇසක් ගසා විහිළුවක් කිරීමට පව්කාරයන්ට පුළුවන. විනාඩි පහේ ඉන්ටර්වල් එක අවසන් වූ සැණින් බීඩි බීම නවත්වා ලෝදිය බීමට පටන් ගැනීමටත් යම පාලිකාවන්ට විහිළු කිරීම නවත්වා කටු ඉඹුලට නැගීමටත් පව්කාරයින්ට සිදුවෙයි. පෙර කී ඉන්ටර්වල් කාලය තුළදී අපායට පිවිසෙන නවක පව්කාරයෙක් බීඩි බොන සහ යම පාලිකාවන්ට විහිළු කරන පව්කාරයන් දැක මෙය මොනතරම් ෆන් තැනක් දැයි කල්පනා කරනු ඇති. එහෙත් විනාඩි පහේ ෆන් එකෙන් පසු අපාගත කල්ප ලක්ෂය පටන් ගන්නා බව දැනගත් විට නවක පව්කාරයාට සිතෙනු ඇත්තේ සිය දිවි නසා ගැනීමටය. එහෙත් අපායේදී සිය දිවි නසාගන්නට හැදුවාට පව්කාරයන් මැරෙන්නේ නැත. එය අපායේ පවත්නා තාක්ෂණික ස්වභාවයයි. දවස් 41 ක් මේ රට තුළ තිබූ නිරෝධායන ඇඳිරිනීතිය සහ ලොක්ඩවුන් එක අවසාන වී ඇති අතර එය ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ වඩාත්ම නිදහස් නිරෝධායන ඇඳිරිනීතිය සහ ලොක්ඩවුන් ඉන්ටර්වල් එක ලෙස මහාවංශයේ ඉදිරි සංස්කරණයකට එකතු වීමට නියමිතය. මෙවර ලොක්ඩවුන් එක සමාන වුණේ තාප්පයක් නැති වත්තක ගේට්ටු දෙක වසා තැබීමට ය. ගේට්ටු දෙකෙන් හැරුණු කොට වත්තේ ඕනෑම තැනකින් ඉඩමට ඇතුළුවීමට හෝ පිටවීමට හැකිය. පුදුමය වන්නේ ඒ තරම් නිදහසක් දීලා තිබියදීත් කොවිඞ් මරණ සංඛ්‍යාව සහ කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව ඉතා වේගයෙන් පහළ බැසීමය. එසේ නම් අපට තර්ක කිරීමට ඉඩ ඇත්තේ කිසිදු ලිහිලක් නොදී දැඩි ලොක්ඩවුන් තත්ත්වයක් පවත්වාගෙන ගියේ නම් කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව සහ කොවිඞ් මරණ සංඛ්‍යාව ශූන්‍ය වන බවය. එහෙත් තර්කය යනු නිතරම වලංගු වන ක‍්‍රමවේදයක් නොවේ. උදාහරණයක් වශයෙන් තර්ක ශාස්ත‍්‍රයේ එන එක්තරා තර්කයකට අනුව දොරක් බාගෙට වසා තිබීම යනු එම දොර බාගෙට ඇර තිබීමයි. එය සත්‍ය තර්කයකි. මේ තර්කය සත්‍ය නම් දොරක් සම්පූර්ණයෙන්ම වසා තැබීම යනුවෙන් අදහස් වෙන්නේ එම දොර සම්පූර්ණයෙන්ම ඇර තැබීම යන්නද? තර්ක ශාස්ත‍්‍රය මෙතැනින් නවතී. අපි අපේ මාතෘකාවට යමු.

මෙවර නිරෝධායන ලොක්ඩවුන් එක කිසි කෙනෙක් ගණන් ගත්තේ නැත. රටේ වසංගතයක් තිබෙන බව හැඟවෙන එකම සලකුණ වූයේ මිනිසුන් මාස්ක් දමාගෙන දෛනික වැඩපළවලට යෑමය. සෞඛ්‍යය කෙරෙහි උනන්දුව ඇති සමහරෙක් මාස්ක් දෙකක් හෝ තුනක් දමාගෙන සිටියහ. තවත් සමහරෙක් නහයෙන් පහළට හෝ බෙල්ලෙන් පහළට මාස්ක් එක දමාගෙන තමන් බඳුම වූ හද්ද ගොබ්බයන් සමග කතා කරමින් සිටියහ. කඩවලින් වැඩිහරියක් බාගෙට විවෘත කර තිබූ අතර සුපර් මාර්කට් සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම විවෘත කර තිබිණ. මෙවර නිරෝධායන සමයේ වැඩිම උද්යෝගයක් ඇති කළ අවස්ථාව වූකලී බාර් විවෘත කිරීමය. එසැණින් බාර් ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වුණු අතර මත්පැන් ලෝලී බේබදු ජනයා සිය අරක්කු බෝතලය අතට එනතුරු මහත් සේ නොඉවසිලිමත් වූහ. මිනිසුන් අරක්කු මිලදී ගන්නවා දුටු ආණ්ඩුවේ සිටින ඇතැම් දේශපාලක ගව මහීෂාදී සත්තු ගොන් අර්ථකතනයක් ඉදිරිපත් කළහ. ඒ වූකලී මේ රටේ මිනිසුන් අත ඇති තරම් සල්ලි තිබෙන බවය. බේබද්දා තම අරක්කු කාල ගන්නේ තමන් අත ඇති අන්තිම රුපියල් 420 නි. හැබැයි අරක්කු පෝලිමේ පොරකෑවා කියා කිසිවකුට අලූතින් කොවිඞ් වැලඳුණු බවක් ආරංචි වුණේ නැත.

මෙවර කොවිඞ් වසංගතය පටන් ගන්නේ අපේ‍්‍රල් මාසයේදී නුවරඑළියේ පැවති වසන්ත සැණකෙළියෙනි. ලංකාවේ සතර දෙසින් මේ සැණකෙළියට පැමිණි තුන් හාර ලක්ෂයක පිරිසක් කොවිඞ් ඇති අය වෙතින් කොරෝනා වෛරසය ලබාගෙන, හොඳට විනෝද වී ගම් බිම් බලා ගොස් එකසිය එකට උණ අරගෙන උගුර කට ඉදිමී රෝගී වූහ. එතැනින් පටන්ගත් මෙවර කොවිඞ් රැල්ල මගින් කොවිඞ් නව ප‍්‍රභේද සමූහයක්ම නිර්මාණය කරන ලදී. ඒ අතර අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්විය. බරපතල නින්දක සිටින අතර විටින් විට අවදි වූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහාමාර්ග ඇමැතිතුමා කියා සිටියේ ලංකාවට ඕනෑ තරම් සල්ලි ඇති බවත් ආර්ථික ප‍්‍රශ්න නැති බවත්ය. ලංකාවට ඇති තරම් සල්ලි තිබිණ. ඒවා මහ බැංකුවේ උවමනාව මත අච්චු ගැසූ සල්ලිය. ඒ කඩදාසිවලින් පිටරට බඩු මිලට ගැනීමට නොහැක. කොවිඞ් වසංගතයට සමාන්තරව ලෝක ආර්ථිකය ද ඇද වැටී තිබේ. මේ නිසා පිටරටවලින් අප වෙත ඩොලර් එන්නේ නැත. ලංකාවට ගෙන්වූ කිරි පිටි කන්ටේනර් විශාල ප‍්‍රමාණයක් ඊයේ වනතුරුත් කොළඹ වරායේ ගොඩගැසී තිබුණු අතර ඒවා නිදහස් කරගැනීමට වාණිජ බැංකුවලින් ඩොලර් නිකුත් නොකිරීම නිසා බරපතල අර්බුදයක් හටගෙන තිබිණ. අන්තිමේදී කිරි පිටි මෙරටට ගෙන්වන්නන්ගේ සංගමය තීරණය කළේ එම කිරි පිටි තොගය බංග්ලාදේශයට හෝ වෙනත් රටකට ප‍්‍රති අපනයනය කිරීමට ය. නිදහසින් පසු මේ රටේ ආර්ථිකය මෙතරම් පරිහානියට පත්වූ කාලයක් නැති බව අපගේ විශ්වාසයයි. කොවිඞ් වසංගතය විසින් රට විනාශය දෙසට මෙහෙයවා තිබේ. අපගේ වැටහීමට අනුව මෙවර කොවිඞ් ලොක්ඩවුන් එක අපායේ ඉන්ටර්වල් එක හා සමාන විය හැකිය. තාප්ප නැති ඉඩමේ ගේට්ටු දෙක ද විවර කිරීමෙන් පසු අහ්ලාදයට පත්වන ජනයා පිස්සු කෙළින්නට පටන් ගත්තොත් මීළඟ කොවිඞ් රැල්ල හටගනු ඇත්තේ මීට සියවසකට පමණ පෙර යුරෝපයේ ජනතාවගෙන් තුනෙන් එකක් මරා දැමූ මහාමාරිය වසංගතය පැතිර ගියාක් මෙනි. රටේ ආර්ථිකය ඇත්තේ ළිං ගැට්ට මතය. එය ළිඳට තල්ලූ නොකරන ලෙස හැමදෙනාගෙන්ම ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment