අපිටයි සතුන්ටයි නැති සහල් බියර්වලට

301

මෙරට සාමාන්‍ය ජනතාවට ඉඳහිට හෝ මස් කෑල්ලක්, බිත්තරයක් කෑමට තිබුණු අවස්ථාව නැතිවෙන තැනට නීති අලුත් විය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 24 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා සහල් යෙදවුමක් ලෙස භාවිත කිරීම, තොග රැස්කර තබාගැනීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරී හෝ මිලදීගැනීම සපුරා තහනම් කෙරිණි. හරිම අපූරුය. පණින රිළවුන්ට ඉනිමං බඳිනවා වැනිය. එම නීතියත් සමඟ මෙරට මස්, බිත්තර කර්මාන්තයේ මළගම අත ළඟට පැමිණෙන බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

මේ වනවිට මෙරට මස්, බිත්තර කර්මාන්තයේ ග්‍රාමීය සත්ත්ව ගොවිපළවල් 90% කට ආසන්න සංඛ්‍යාවක් වැසී ගොස් හමාරය. මෙරට මස්, බිත්තර කර්මාන්තයේ 70% ට වැඩි සත්ත්ව ගොවිපළවල් සංඛ්‍යාවක් පිහිටා තිබෙන වයඹ පළාතේ පමණක් කුඩා පරිමාණයේ සියලුම සත්ත්ව ගොවිපළවල් වැසී ගොස් අවසානය. ඒ හේතුවෙන් මේ වෙනකොට මස්, බිත්තර කර්මාන්තයේ සේවයේ නියුතුව සිටි 80% ට පමණ ආදායම් මාර්ග අහිමි වී ඇති බව සැබෑය. අසරණ මිනිසුන්ව ජීවත් කර වූ සත්ත්ව ගොවිපළවල් වැසී යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කාරණය සත්ත්ව ආහාර හිඟවීමය. එවැනි පසුබිමක මෙවැනි ‘ඔලමොට්ටල’ නීති පැනවීම කාගේ වුවමනාවක්ද යන්න සිතාගැනීමටවත් නොහැකිය.

“සතුන්ට හොඳ සහල් කන්න දෙන්න අපිට පිස්සු නෑ. මෙච්චර කාලෙකට සතුන්ට දෙන්න අපි ගත්තෙ ඉවත දමන රයිස් පොලිෂ්, හුණු සහල්, කළු ඇට, බොල් ඇට. ඒවා මිනිස්සුන්ට කන්න බෑ. වී කෙටෙන ප්‍රමාණය අඩු නිසා දැන් හුණු සහල්, කළු, බොල් ඇටත් හිඟයි. බඩඉරිගු හිඟයත් එක්ක සත්ත්ව ආහාර ඇත්තේම නෑ. එහෙම වෙනකොට සත්ත්ව කර්මාන්තයෙන් දියුණු වෙච්ච මනුස්සයො තම සතුන්ගේ කුස ගින්දර නිවන්න හොඳ සහල් හෝ ගෙදර තියෙන වී ටිකක් හරි දෙන්න පෙළඹෙන බව ඇත්ත. ඒක තමයි මනුස්සකම කියන්නෙ…” සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පෙළගැසෙන කතාවට මනුස්සකම එකතු කළේය.

“අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කෝටි දෙකහමාරකට ආසන්න සංඛ්‍යාවක්. ඒත් ආහාර ලබාදී නඩත්තු කළ යුතු සතුන් කෝටි 12 ක් 13 ක් ජීවත් වෙනවා. කොටු කර, කූඩු කර හදන සතුන් විතරක් කෝටි හය, හතක් ජීවත් වෙනවා. ඒ සතුන්ට සෑම දිනකම උදෑසන 6.30, 7.00 වෙනකොට කන්න දෙන්න ඕනෑ. උන්ට තියෙන්නෙත් පණක්. ඒ පණ රැකෙන්නේ ආහාරවලින්. සාමාන්‍යයෙන් කුකුළෙක්ට දිනකට ආහාර ග්‍රෑම් 120 ක් දෙන්න ඕනෑ. දැන් මහා පරිමාණ කුකුළු ගොවිපළකත් දිනකට සතෙකුට ග්‍රෑම් 70 ට වඩා ආහාර දෙන්නෙ නෑ. උන්ට ලැබෙන ආහාර අඩු වෙනකොට හාමත් වෙලා, සතුන් මැරිලා යනවා. දැන් ඉතිරි වෙලා තියෙන කුකුළු ෆාම්වලත් සතුන්ගේ බර හොඳටම අඩු වෙලා. 80% තිබුණු බිත්තර අස්වැන්න දැන් 30%, 20% පහළ බැහැලා. ඩීසල්, ගෑස්, සත්ත්ව ආහාර නැතිව තව මාසයක්, එකහමාරක් යනකොට මස්, බිත්තර කර්මාන්තය ඉවරෙටම ඉවරයි…” සරත් රත්නායක කුකුළු මස්, බිත්තර කර්මාන්තයේ අඳුරු පැතිකඩ විවර කරන විට, ඉන්ධන, ගෑස් ගැටලුවත් සමඟ කෑම කඩ, හෝටල් වැසී යෑම නිසා ඌරු කොටුවලට ලබාගත් ඉඳුල් කෑම දැන් නොලැබෙන බව ඌරු කොටු හිමියෙක් ද අප සමඟ පැවසුවේය. කොටු වී සිටින ඌරන්ට දැන් සිදුව ඇත්තේ මඩ කෑමට බව ඔහු ආවේගශීලී ස්වරයෙන් කීවේය. ප්‍රමාණවත් ලෙස තණකොළ ලබාදීමට නොහැකි නිසා ගවයන්ට පුන්නක්කු ලබාදීමට කටයුතු කරන බවත් පවතින සත්ත්ව ආහාර හිඟය තුළ පුන්නක්කු ලබාදීමට නොහැකි බව කිරි ගොවීහු ද අප සමඟ පැවසූහ. පවතින අර්බුදකාරී තත්ත්වය තුළ කිරි කර්මාන්තයත් භායනක තත්ත්වයකට වැටී තිබෙන බව ද ඔවුහු කීහ. ඌරු කොටු සහ රටේ කිරි කර්මාන්තය ගැන වෙන, වෙනම කතා කිරීමේ අදහසින් තම එකම ආදායම් මාර්ගය වූ මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ වැසී ගොස් නන්නත්තාර වූ බංකොළොත් ව්‍යාපාරිකයෙක් කියන කතාවට අපි සවන් දුන්නෙමු.

“රටේ ජනතාවගේ පරිභෝජනය ගැන සැලකිලිමත් වෙලා සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන්න සහල් ගන්න එපා කියලා ගැසට් ගහනවා. රටේ ජනතාව වෙනුවෙන් සහල් තොග සුරක්‍ෂිත කරගැනීම ඉතාම හොඳයි. ඒත් දේශපාලුවන්ගේ මත්පැන් නිෂ්පාදනාගාරවලට තොග පිටින් සහල් යන බව ආරංචි වෙනකොට තමයි ඇගේ මාළු රත් වෙන්නේ. බියර් නිෂ්පාදනයට වැඩිපුර ගන්නේ සහල්. ඒවා තහනම් කරන්න කවුරුවත් කතා කරන්නේ නෑ. ජනතාවගේ පෝෂණයටත් ශක්තියක් වෙලා, සාධාරණ ව්‍යාපාරකයක් කරගෙන යන අපිට තමයි හැම නීතියක්ම. මේ ආණ්ඩුවට වටින්නේ සාධාරණ ව්‍යාපාරිකයන් නෙමෙයි, උන්ට දොලපිදේණි දෙන, හිත මිතුරු තැබැරූම්කාරයන්ව. මේක අවලම් රටක්…” ඒ වචන ගිනි පුපුරු වැනිය. ව්‍යාපාරය දියුණු කිරීමට ලබාගත් බැංකු ණය සිර වී, වාහන ලීසිං ඇරියස් වී ප්‍රශ්න කන්දක අතරමං වී සිටින අසරණයකුගෙන් නිවුණු කතා බලාපොරොත්තු විය නොහැක. පීඩනයෙන් පිරුණු ඔහුගේ හදවත සැහැල්ලු වෙන්න ඉඩ හැර ඒ කතාවෙන් ගත යුතු වචන කිහිපය පමණක් අපි සටහන් කළෙමු.

2020 වර්ෂය වනවිට කිලෝ දහයක්ව පැවැති වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය මේ වනවිට සැලකිය යුතු මට්ටකින් පහත වැටී ඇත. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මස් මිල ඉහළ යෑමය. මේ වන විට කුකුළු මස් කිලෝවක මිල රුපියල් එක්දාහස් දෙසීයකි. එමෙන්ම ආර්ථික අර්බුදයට පෙර රුපියල් 350 ට 400 ට තිබුණු ඌරු මස් කිලෝව අද රුපියල් 900 ත් 1300 දක්වා මිල ඉහළ ගොස් තිබේ. රුපියල් 750 ට 800 ට අලෙවි වූ ගව මස් කිලෝව දැන් රුපියල් 1800 ට ආසන්නය. එළු මස් කිලෝව රුපියල් 2200 ත් 2500 ක් දක්වා මිල ඉහළ ගොස් තිබේ. මස්, බිත්තර මිල මෙතරම් වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධකය සත්ව ආහාර මිල ඉහළ යෑම, සත්ව ආහාරවලට තිබෙන දැඩි හිඟතාව සහ ඉන්ධන මිල ඉහළ යෑම බව සැබෑය.

“සත්ත්ව ආහාර ගැටලුව විසඳන්න තියෙන්නේ එකම විකල්පයයි. ප්‍රමාණවත් බඩඉරිඟු පිටරටින් ආනයනය කරදීම. සත්ත්ව ආහාරවලට 45% ක් භාවිත කරන්නේ බඩඉරිඟු. එහෙම වුණොත් හුණු සහල්වත් අපිට එපා. සත්ත්ව ආහාර ප්‍රශ්නය අපි විසඳගන්නම්. මස්, බිත්තර මිලෙත් යම් අඩුවීමක් කරන්න පුළුවන් වෙයි. ඒක රටේ ජනතාවගේ පෝෂණයටත් හොඳයි. රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙනවා. එහෙම නොවෙන්න මේ කර්මාන්තයේ මළබත කන්න වැඩි කාලයක් නෑ…” ඒ කුකුළු ෆාම් හිමිකරුවන්ගේ පොදු හඬය. මේ අපේ කතාවය.

කුඩා දරුවන්, ක්‍රියාශීලී වැඩිහිටියන්, මහලුවියේ පසුවන්නන් යන ඕනෑම කාණ්ඩයක පුද්ගලයන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමට දෛනික පෝෂණ අවශ්‍යතාවයේදී සමබල ආහාර වේලක් ගත යුතුය. එම සමබල ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතුය. ප්‍රෝටීන් අපට අවශ්‍ය වන්නේ දේහ වර්ධනය සඳහා ශරීරය තුළ සිදුවන විවිධ ජීව ක්‍රියාවන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඇමයිනෝ අම්ල සපයන පෝෂක සංඝටකය ලෙසය. එම ඇමයිනෝ අම්ල ඇතැම් කොටස් මිනිසාගේ ශරීරය තුළදී නිෂ්පාදනය කරගත නොහැක. එමෙන්ම එම ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඒවා ලෙස ද හැඳින්වේ. ඒ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මිනිස් ශරීරයට ලබාගත හැකි වනුයේ සත්ත්ව ප්‍රෝටීනවලින් පමණි. ඒ අනුව මස් හෝ මාළු නිර්දේශිත ප්‍රමාණවලින් දෛනික ආහාර වේලට එකතුකරගත යුතු බව පෝෂණවේදීන්ගේ අදහසය. එහෙත් මේ වන විටත් මෙරට බොහෝ දිළිඳු පවුල්වල මාසයකට එක කෑම වේලකට හෝ මස්, මාළු එකතු කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එහෙත් වයස අවුරුදු තුනත්, පහළොවත් අතර දරුවන්ගේ වර්ධනයට මේද කොටස්, සත්ත්ව ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. එමෙන්ම වැඩිහිටි ජනතාවට බෝ නොවන රෝගවලින් පාලනය වී නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමට ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් අත්‍යවශ්‍යය. එහෙයින් මස් මාංශ පරිභෝජනය අඩුවන මෙරට අනාගතයේදී පෝෂණ උණතා සහිත ළමයි බිහිවීමට ඇති ප්‍රවණතාව ඉතා ඉහළය. රට තුළ බෝ නොවන රෝග උත්සන්න වීමට ඇති ප්‍රවණතාවය ද ඉතා වැඩිය.

නොදියුණු ලෝකයේදී පවා අපේ රටේ මිනිසුන්ට මස්, මාළු, කිරි, බිත්තර, අල, බතල, ධාන්‍යවලින් අඩුවක් නොවුණු බව ඉතිහාසයේ සඳහන්ය. මහා පරාක්‍රම රජුගේ පාලනය තුළ රටේ පරිභෝජනයෙන් ඉතිරි සහල් පිටරටවලට අපනයනය කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. එකල, මෙරට ආහාර සුරක්‍ෂිතතාව ඉහළින්ම තිබුණු බව ද සැබෑය. ඒ මෙරට සොබාවික පරිසරය සහ ස්වභාවික සම්පත් කළමනාකරණය රජුගේ ප්‍රධාන කාර්යභාරයක් වූ නිසාය. එහෙත් අතීත මුතුන්, මිත්තන් එසේ කළමනාකරණය කරගෙන පැමිණි ස්වයංපෝෂිත රට වර්තමානයේදී පාලනය කිරීමට දේශීය නායකයෙක් නොමැති විය. ජාත්‍යන්තරය විසින් හසුරුවන පඹයන් වැනි නායකයන් මේ වන විට මෙරට ඩොලර් ආර්ථිකය කාබාසිනියා කර, මස්, බිත්තර කර්මාන්තය වැනි දේශීය කර්මාන්ත නැත්තට නැතිකොට රුපියල් ආර්ථිකයත් පිච්චියට ඇද දැමීමේ දෙවැනි වෑයමත් දියත් කර ඇති බව පෙනේ. එවිට මේ රට යටත් කරගැනීමට මාන බලන විදේශීය රටවල අරමුණ සාර්ථක කරගැනීමට ඉතාම පහසු වේ. මේ සටකපට රට්ටුන්ට නොතේරේ.

අප කම්පනයට පත් වී සිටිනුයේ මස්, බිත්තරවලින් ස්වයංපෝෂිතව තිබූ රටේ දරුවො හෙට අනිද්දා වනවිට මන්දපෝෂණ තත්ත්වයට පත් වී හිස් ගෙඩි මෙන් මියැදෙනවා දැකීමට ලැබීම ගැනය. සමබල ආහාර වේලක් නොලැබෙන රටක ලෝකය සමග තරග කළ හැකි ගෝලීය ශ්‍රී ලාංකිකයෙක් බිහි කරගැනීමට නොහැකිවීම ගැනය. පෝෂණය අඩුවීම තුළ මිනිසුන්ගේ සිතීමේ ශක්තිය අඩු වී බුද්ධිමය හැකියාව දුර්වල වී තණකොළ කන හරක් බවට පත්වීම ගැනය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment