අපේ ඉතිහාසයේ කැඩපත කොළඹ ජාතික කෞතුකාගාරය

2595

(කොළඹ කෞතුකාගාරයට 2022-01-01 දිනට වසර 145 ක් පිරීම නිමිත්තෙනි)

කොළඹ කෞතුකාගාරයට 2022.01.01 දිනට වසර 145 ක් පිරීම නිමිත්තෙන් අපේ ජාතික උරුමයන් කියාපාන කෞතුකාගාර ජාලය.

කොළඹ කෞතුකාගාරය ඇරඹෙන්නේ අදින් හරියටම වසර 145 කට පෙරාතුව එනම් 1877 ජනවාරි 01 වන දින වේ. එදා සිට අද දක්වා කාලයක් තිස්සේ මෙහි කෞතුකාගාර සේවාව වර්ධනය වී ඇති ආකාරය ගැන මෙනෙහි කළ යුත්තේ වර්තමාන ප‍්‍රවණතාවයන් අනුව කෞතුකාගාර සේවය වැඩිදියුණු කොට ජාතියේ සංවර්ධන වැඩපිළිවෙලට ඉන් සේවයක් ලබා ගැනීම පහසු කරවනු සඳහාය. එහෙයින් වාර්ෂිකව එක් වතාවක් හෝ කටුගේ
ගැනත් එහි මෙහෙවර හා වැදගත්කම ගැන රට දැනුවත් කිරීම අගය කළ යුතු මනාය.

කොළඹ කෞතුකාගාරයට 1877 දී ආරම්භ කළත් කෞතුකාගාර සංකල්පය විදේශ රටකින් අප ලත් දායාදයක් නොවෙයි. එය අප රටේ ලිඛිත ඉතිහාසය අනුව බෞද්ධ සම්ප‍්‍රදාය තුළින්ම බිහිවූවකි. මෙරට කෞතුගාර සංකල්පයේ මූල බීජයන් දෙවන පෑතිස් යුගයේදී (ක‍්‍රි.පූ.250-210) ආරම්භ වූ බව මහාවංශය පරිශීලනයෙන් අපට අවබෝධ කරගත හැකිය. ඒ අනුව මිහිඳු හිමියන් හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප‍්‍රධානත්වයෙන් මෙරටට ශ‍්‍රී මහා බෝධි ශාඛාව වැඩමවා අනුරාධපුර මහා මෙවුනා උයනෙහි රෝපණය කරන ලදී.

එදා දේවානම්පියතිස්ස රජතුමා මෙහෙණවරයෙහි මන්දර දොළසක් කරවා එක් මන්දිරයක බෝධිය මෙරටට වැඩම වූ නැවේ කුපයටියක් ද එක් මන්දිරයක ‘‘සළුපතයක් ’’ ද තවත් මන්දිරයක ‘‘කෙණිපතයක් ’’ ද තවත් මන්දිරයක තැන්පත් කොට ඇත. මෙම කෞතුකවස්තු පිළිබඳව හැඳින්වීමක් කරන මහාවංශ ටීකාව ‘‘තවාය කුපයථඨි’’ යනු නැවෙහි තුඹ ගස ලෙසත් ‘‘විය’’ යනු අවයවය හෙවත් ‘‘සුක්කානම’’ ලෙසත් ‘‘අරිත්තං’’ යනු හබල ලෙස දක්වයි.

මේ සිද්ධියෙන් ලක්දිව ජය ශ‍්‍රී බෝධීන් වහන්සේ වැඩම කරවීම සිහි ගැන්වීම සඳහා ඒ ඓතිහාසික නෞකාවේ කොටස් මෙරට මන්දිර තුනක (3) තැන්පත් කොට ආරක්ෂාකර ලීමත් මහජනයාට නැරඹීමට ඉඩ සලසා දීමෙන් පැහැදිලි වන්නේ ක‍්‍රි.පූ. 3 වන සියවසටත් ඈත අතීතයේ සිට ලක් වැස්සන් තුළ කෞතුකවස්තු රැස්කිරීම හා නැරඹීම සඳහා ආශාවක් තිබුණ බවයි. එකල කෞතුකාගාර නමින් සඳහන් නොවුනද එයට සමාන

‘‘අගාර’’ විශේෂ ගෙවල් (ගෘහ) තිබූ බවට සාධකයන් පළවන මුගලන් රජුගේ කාලයෙහි තිබූ දීපංකර ප‍්‍රතිමා ගෘහයද එබන්දකි. එහි විශේෂ ධාතු කරඬු , ඡත‍්‍ර, ප‍්‍රතිමා, පුස්කොළ පොත් හා වෙනත් දෑ ප‍්‍රදර්ශනය කර ඇත. මහනුවර (සෙණ්කඩගල) දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති දළඳා මාළිගාව ද එබන්දකි.

අපේ ඉතිහාසයේ කැඩපත කොළඹ ජාතික කෞතුකාගාරය

ඒ අනුව මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරවන මෙම සිදුවීම අරඹයා දෙවන පෑතිස් රජු ගෙන ඇති පියවර නූතන කෞතුකාගාර සංකල්පයේ භාණ්ඩ ප‍්‍රදර්ශනය යන මූලික අවස්ථාව සනිටුහන් කරන්නකි.

දෙවන පෑතිස් යුගයෙන් අනතුරුව කෞතුකාගාර සංකල්පයේ තවත් සංධිස්ථානයක් ශ‍්‍රී මේඝවර්ණ (ක‍්‍රි.ව.304-332) රාජ්‍ය කාලයේ දී උදාවේ. මහාවංශයට අනුව එකල මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨිය යන හිමිවරුන්ගේ ප‍්‍රතිමා නිර්මාණය කර ප‍්‍රදර්ශනය කර ඇත. තවද පළමුවන පරාක‍්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයන්හි (ක‍්‍රි.ව.1133 -1180) දඩයම සඳහා ගොස් සිටි රජුනට අනින්නට පැමිණි ගොනෙකුගේ හිසින් විසිවී ගිය අං තට්ටුවෙහි අකුරු කොටවා රාජ්‍ය භාණ්ඩාගාරයේ තැන්පත් කළ බව මහාවංශයේ සඳහන් වේ. නූතනයේ කොළඹ කෞතුකාගාරය බිහිවීමට පෙරාතුව නිල නොවන කෞතුකාගාරයක් කොළඹ කොටුවේ තිබී ඇතැයි ද මෙතෙක් හෙළිනොවූ කරුණකි. ඒ පිළිබඳව පහත සඳහන් වාර්තාවේ සඳහන් වේ.

‘‘කටුගේ වනාහි සත්වයන්ගේ අස්ථි හෙවත් කටු තබා තිබෙන ගේ යන අර්ථයයි. ඇටගේ යන නාමයද ව්‍යවහාර කරනු ලැබේ. යම් රටක සත්වයන් ද එහි උපදින උපදවන ද්‍රව්‍යයද මේ යැයි මහජනයාට දැක්වීම පිණිස ඒ සතුන්ගෙ මළසිරුරු හා එකී ද්‍රව්‍යයන් පිරිමහන තරමට රැස්කොට තබා තිබෙන ස්ථානය

කෞතුකාගාරය වේ. මෙසේ කල දැනට කොළඹ කුරුඳු වත්තේ එබඳු ස්ථානය ‘‘කටුගේ’’ යන නමක් වී දැයි පරීක්ෂා කළ යුතුය. මේ කටුගේ යනු කෞතුකාගාරය භින්න වූ පදයැකයි නොතිබිය යුතුය. ඊටම දෙමළෙහි ‘‘මුළුළු වීඩු’’ යන නාමයද කටුගේ අර්ථයයි. එම කුරුඳු වත්තේ කටුගෙය පිහිටු වන්නට මත්තෙන් වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන මුලාදෑනියා යුද සේනාව පිළිබඳ ප‍්‍රධාන වෛද්‍යවරයා විය. එවකට උන්නැහේ කාර්යය ශාලාව (කන්තෝරුව) කොළඹ කොටුවේ ඉස්පිරිතාල වීදියේ වූයේය. ඒ කාර්යය ශාලාවේ එක් ගබඩාවක

රැස්කොට තබා තිබුණ නොයෙක් සත්ත්වයන්ගේ ඇටකටු සෑම සෙනසුරාදාවකම මහජනයාට එහි පැමිණ බැලීමට අවශ්‍ය වී තිබුණේය. මේ ගබඩාවට ඒ කාලයේ දී ‘‘කටුගේ’’ හෙවත් ‘‘ඇටගේ’’ කියන ලදී.

අපේ ඉතිහාසයේ කැඩපත කොළඹ ජාතික කෞතුකාගාරය

ඉක්බිති එවකට කොළඹ කොටුවේ පිහිටා තිබුණු රාජකීය ආසියාතික සංගමයට භාරදී එකී කුරුඳු වත්තේ කෞතුකාගාරය තැනුවාට පසු මේ අභිනව ස්ථානයට ද පුරාණ කටුගේ හෙවත් ඇටගේ යන නාමයම මහජනයා විසින් ව්‍යවහාර කරන්නට පටන් ගන්නා ලදී. (1908- 1911) ඥන දර්ශය සඟරාව)

එනමුත් අප කෞතුකාගාර පද්ධතියට මූලික අඩිතාලම වැටුණේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිඵලයක් ලෙස සිතිය හැකිය. එනම් 1947 දී පිහිටුවා ගන්නා ලද රාජකීය අසියාතික සංගමයේ සාමාජිකයන් එක්රැස්කරන ලද භාණ්ඩ එකතුව එහි මාසික රැස්වීම අවසානයේදී භාණ්ඩ එකතුන් ප‍්‍රදර්ශනය කරන ලදී. ප‍්‍රදර්ශනවලින් ජනප‍්‍රියත්වය වැඩි විය. ඒ අනුව ස්ථීර කෞතුකාගාරයක් පිහිටුවා ලීමේ වැදගත්කම ආසියාතික සංගමයට තේරුම් ගියේ ය. කොළඹ කෞතුකාගාරය ඇති වීමට පාදකය එයයි.

ඒ අනුව ස්ථීර කෞතුකාගාරයක් පිහිටුවීමේ වැදගත්කම වටහාගත් රාජකීය ආසියාතික

සංගමයේ ලංකා ශාඛාව 1854 වසරේ සිට දැඩි උත්සහයක යෙදිණි. එලෙස කල්යත්ම විලියම් හෙන්රි ගෙග‍්‍රරි ලංකාණ්ඩුවේ ආණ්ඩුකාරයා ලෙස පත්ව එන්නේ 1872 දීය. නව ආණ්ඩුකාරයා පැරණි දේ රැස් කරන්නටත්, පැරණි දේට පුදුමාකාර ආදරයක් දැක් වූ අයෙක් විය. එතුමා නපුරු ආණ්ඩුකාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් යහගුණ ලක්ෂණයන්ගෙන් හෙබි පාලකයෙක් විය. ඔහු බි‍්‍රතානය ජාතිකයකු වුවත් ලාංකිකයන්ට සෙතක් සැලසීම ඔහුගේ පරමාදර්ශය විය. ලාංකිකයන් ඒ හිත හොඳ ආණ්ඩුකාරතුමාට කොපමණ ඇලුම් කළේද යත් එතුමාව නම් කළේ ‘‘ගිරිගෝරිස් රජ්ජුරුවෝ’’යන ආදර නාමයෙනි.

එවකට රාජකීය ආසියාතික සංගමයේ ලංකාවේ ශාඛාවේ සභාපති කර්නල් ඒ. බී. පයර්ස් මහතා ප‍්‍රධාන නියෝජිත පිරිස ආණ්ඩුකාර විලියම් හෙන්රි ගෙග‍්‍රරිතුමා හමුවට ගොස් කෞතුකාගාරයක අවශ්‍යතාවය පිළිබඳ කරුණු දැක්වීය. ඒ ඉල්ලීමේ වැදගත්කම හොඳින් තේරුම් ගත් එතුමා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම, භූමිය තෝරා ගැනීම, ගොඩනැඟිල්ල සැලසුම් කිරීම සඳහා උපදෙස් ලබාදීම හා නව කෞතුකාගාර ප‍්‍රධානියා ලෙස සුදුස්සෙකු තෝරා ගැනීම යන සියලු කාරණා වල වගකීම දරණ ලද්දේ ද ගෙග‍්‍රරිතුමාය.

1873 සැප්තැම්බර් මස 23 වන දින ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති වශයෙන් ආණ්ඩුකාරයා කොළඹ කෞතුකාගාරය ඉදිකිරීමට ප‍්‍රතිපාදන (පවුම්) ලබා ගැනීමට බි‍්‍රතාන්‍ය කිරීටයට කරුණු දැක්වූවද එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය. එයින් පසුව ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා යන වියදම පවුම් 12000 ක් නොඉක්මන බවටත් ගෙග‍්‍රරි ආණ්ඩුකාරයා ලබාදුන් සහතිකය මත යෝජනාව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ඒක මතිකව සම්මත විය.

ගෙග‍්‍රරි ආණ්ඩුකාරවරයා වාස්තු විද්‍යාව හැදෑරූ පුද්ගලයකු විය. ඒ නිසාම ආණ්ඩුකාරවරයාගේ සිත්ගත් ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ ජේම්ස් ජී. සමදර් විසින් ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රමයට අනුකූලව සැලසුම් කරන ලදී. 1874 දී පමණ

ගොඩනැඟිල්ල ඉදිකිරීම ඇරඹූ අතර රුපියල් එක් ලක්ෂ දහනවදහස් නවසිය අනූතුනයි ශත අනූතුනක් (රු. 110093.93) වියදමින් ගොඩනැඟිල්ලේ කටයුතු 1875 දී නිමකරන ලදී. ගොඩනැඟිලි කොන්ත‍්‍රාත්කරුවන් වූයේ මරික්කාර් හා ඇන්. පෙරේරා යන අයයි.

එලෙස නිමකරන ලද නව කෞතුකාගාරය ආණ්ඩුකාර විලියම් හෙන්රි ගෙග‍්‍රරිතුමා විසින් 1877 ජනවාරි 01 වන දින විවෘත කරන ලදී. ඒ වන විට කෞතුකභාණ්ඩ හා ස්වභාවික භාණ්ඩ 1192 ක් ප‍්‍රදර්ශනය සඳහා එක්කළ බව ලේඛන ගතව සඳහන් කර ඇත. කොළඹ කොටුවේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ගබඩාවක තාවකාලිකව ප‍්‍රදර්ශනය කළ භාණ්ඩ රැසක්ද නව කෞතුකාගාරයට පරිත්‍යාග කර ඇත.

අපේ ඉතිහාසයේ කැඩපත කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වනුයේ ලංකාවේ සියලු පළාත් වලින් එක් රැස් කරගන්නා ලද කෞතුක භාණ්ඩ වේ. එහි ඇත්දත් කැටයම්, ලෝකඩ ප‍්‍රතිමා, දැව භාණ්ඩ, රෙදිපිළි, පුස්තකාල පොත්, අවි ආයුධ, සත්ව හා මානව අවශේෂ පාෂාණ වර්ග විශේෂ වේ. එම භාණ්ඩයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් දුර්ලභ වන අතර අන්තැනකදී දැකිය නොහැක. උදාහරණයක් ලෙස කොළඹ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති සිංහාසනය ඇතුළු රාජ්‍ය භාණ්ඩ වේ.

ක‍්‍රි.ව. 1877 දී ආරම්භ වූ කොළඹ කෞතුකාගාරයට ක‍්‍රි.ව. 1912 දී සත්ව විද්‍යා අංශයද, 1939 දී මානව හා මානවංශ විද්‍යා අංශයද පිහිටුවන ලදී. 1942 දී ජාතික කෞතුකාගාර ආඥා පණත යටතේම යාපනය, රත්නපුර හා මහනුවර ජාතික කෞතුකාගාර බිහි වුණි.

එයින් පසුව 1971 අනුරාධපුර ජන කෞතුකාගාරයද 1977 දී ස්වභාවික විද්‍යා කෞතුකාගාරයද ගාල්ල ජාතික කෞතුකාගාරය හා සමුද්‍ර ජීව කෞතුකාගාරයද, පිටකොටුව ඕලන්ද කෞතුකාගාරයද, නිදහස් අනුස්මරණ
කෞතුකාගාරයන් බිහිවිය.

එලෙස කල්යත්ම හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ශ‍්‍රී ලංකාවේ පැරණි තාක්ෂණ ක‍්‍රමවේදයන් විදහාපාන අයුරින් කෞතුකාගාරයත් 1919 දී පොළොන්නරුවේ ඉදිකර විවෘත කර ඇත. එහි විශේෂත්වය වන්නේ වැව් බැඳි රාජ්‍යයේ හෙළ හැදියාව හා වාරි තාක්ෂණය පිළිබිඹු කරන්නකි.

එපමණක් නොව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරා ජෛව විවිධත්ව හා සත්ව පරිනාමය විදහාපාන අයුරින් කෞතුකාගාර උද්‍යානයක් රත්නපුර කෞතුකාගාර පරිශ‍්‍රයේ ඉදිකර ඇත.

මෙම කෞතුකාගාර ජාලයේ මුල්ම අධ්‍යක්ෂවරයා වූයේ ඇමරල් හේලිය, එයින් පසු ආචාර්ය ආතර් විලී, ආචාර්ය ජේ. පියර්සන්, එස්. මැල්පාස් යන විදේශිකයන් හා ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, ආචාර්ය පී.එච්.ඞී.එච්. ද සිල්වා, ආචාර්ය තෙල්මා ගුණවර්ධන, ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ, ආචාර්ය නන්දා වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර ඇත. වර්තමාන කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් වනුයේ සනුජා කස්තුරිආරච්චි මහත්මියයි.

මෙයට අමතරව ඒ.බී. ඇම්. සෙනවිත්න, ආනන්ද පී. ගුරුගේ හා යසන්තා මාපටුන මහත්ම මහත්මීන් අධ්‍යක්ෂක ධූරයේ වැඩ බලා ඇත.

කොළඹ කෞතුකාගාරය ප‍්‍රධාන කෞතුකාගාර ජාලයට වසර 145 ක් සපිරෙන මොහොතේ එය ලබාදීමට අපරිමිත සේවයක් ඉටුකළ ‘‘ගිරිගෝරිස්’’ ආණ්ඩුකාරයා ප‍්‍රධාන පිරිස අප විසින් සිහිපත් කළ යුතුව ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  1. කෞතුකාගාර සියවස – ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  2. මහාවංශය – සුමංගල හිමි
  3. ඥාණ දර්ශනය – සඟරාව – (1908 – 1911)
  4. 2010 – ජූලි 07 දින දිවයින, විනී ලයනල්ගේ ලිපිය
  5. රත්නපුර ජාතික කෞතුකාගාරයේ
    හිටපු ස්ථානභාර නිලධාරී
    විනී ලයනල් ගලහිටියාව
advertistmentadvertistment
advertistmentadvertistment