අරගලයේ රන්දිකට ඇප

203

අරගලය පැවති සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදු කළේ යැයි චෝදනා කරමින් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (5දා) අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරිකයකු වන රන්දිමාල් ගමගේ නමැත්තා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්නද අල්විස් මහතා ඊයේ (5දා) නියෝග කළේය.

ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේදී ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබූ එම සැකකරු කුරුඳුවත්ත පොලිසිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. නඩුව ලබන 9 වැනිදා යළි කැඳවීමට නියමිතය.
32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන්නකු වන අතර ඔහු ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

මොහු ඊයේ (05 දා) අලුයම 04.30 ට ඩුබායි සිට ජසීරා ගුවන් සේවයේ ජේ. – 9124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ. එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදු වනවාත් සමගම කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළවලට අලාභහානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම මත මෙසේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවක් දැක්වීම සිදු කෙරිණි.

කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් (3713) ලක්මාල් මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීහු පිරිසක් ජීප් රථයක් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණ රන්දිමාල් ගමගේ පෙරවරු 11.00 පමණ
රැගෙන ගියහ.

ඒ. ජේ. ඒ. අබේනායක සහ ටී. කේ. ජී. කපිල – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment