අර්බූද නිසා රග්බි ක්‍රීඩාවට අවුරුදු දෙකට ලක්‍ෂ 1800 ක් අහිමි වුණා

189

සම්මේලනය විසුරුවා හැර ස්ථායිකරණ කමිටුවක් පත් කරමින් ක්‍රීඩා ඇමැති කියයි

රග්බි ක්‍රීඩාවේ පැවැති අර්බුද හේතුවෙන් පසුගිය අවුරුදු දෙක තුළ රුපියල් ලක්ෂ 1800ක (කෝටි 18) ක අනුග්‍රාහකත්වයක් රග්බි ක්‍රීඩාවෙන් ඉවත් ව ගොස් ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (12 වැනිදා) ප්‍රකාශ කළේය.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වන වගන්තිය යටතේ ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසුරුවා හැර ස්ථායිකරණ කමිටුවක් පත්කර ඔවුන්ට පත්වීම් පිරිනැමීම සිදු කරමින් ඇමැතිවරයා එම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ඒ අනුව පෙරේදා විසිරුවා හරින ලදි.

අදාළ ස්ථායිකරණ කමිටුව සාමාජිකයන් 9 දෙනකුගෙන් යුක්ත වන අතර කීර්තිමත් රග්බි ක්‍රීඩකයකු, විනිසුරුවරයකු සහ පරිපාලකයකු වන චූලා ධර්මදාස මහතා එම කමිටුවේ සභාපති ධුරය දරයි.

චූලා ධර්මදාස මහතා රග්බි විනිසුරු කමිටුවේ සභාපතිවරයා මෙන්ම සීආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකු ද වේ.

ලේකම් ධුරය සඳහා ශානක රණසිංහ මහතා පත් කර ඇත.

අදාළ නිලධාරීන් සියලු දෙනා මෙරට රග්බි ක්‍රීඩාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට සමත් වූ අය බව ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

මාස 6 ක කාලයක් සඳහා පත් කර ඇති අදාළ කමිටුවට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් අතර රග්බි ක්‍රීඩාවෙන් ඉවත්ව ගිය අනුග්‍රාහක දායකත්වය නැවත ක්‍රීඩාවට ලබා ගැනීම ද වේ.

එසේම ඉතා ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමට අදාළ කටයුතු කිරීම, රග්බි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද එම කමිටුවේ ප්‍රධාන කාර්යයන් වේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට අදාළ කටයුතු නුදුරේදීම ආරම්භ කරන බව එහිදී අදහස් දැක්වූ ස්ථායිකරණ කමිටු සාමාජිකයෝ සඳහන් කළහ.

ආසියානු රග්බි සම්මේලනය සමඟ මේ වන විටත් ඒ පිළිබඳව කතා කර ඇති බවත් ශ්‍රී ලංකාවේ නීතිය සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට යටත්ව කටයුතු කිරීම පිළිබඳ ආසියානු රග්බි සම්මේලනය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවද ඔවුහු පැවසූහ.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නීති සහ ජාත්‍යන්තර සම්මේලනවල නියෝග නොතකා හරිමින් ක්‍රියා කළ නිසා රග්බි සම්මේලනය විසුරුවා හැර මෙම තීරණය

ගැනීමට තමන්ට සිදු වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා එහිදී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයින්ගේ අනාගතය සහ අභිවෘද්ධිය ගැන සිතා බලා මෙම ක්‍රීඩාව නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම ද මෙම කමිටුව පත් කිරීමේ අරමුණ බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙම කමිටුව මගින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ද තමන් බලාපොරොත්තු වන බව ඇමතිවරයා තවදුරටත් පැවසීය.

අදාළ කමිටුව මෙසේ ය.

චූලා ධර්මදාස මහතා – සභාපති, ශානක රණසිංහ මහතා – ලේකම්, තුසිත පීරිස් මහතා – භාණ්ඩාගාරික, ඩී.ඩී. දමිත් විතාරණගේ – සාමාජික, කිෂාන් මුසාෆර් මහතා – සාමාජික, සවන්ත ද සේරම් මහතා – සාමාජික, සුභාෂ් ජයතිලක මහතා – සාමාජික, ප්‍රදීප් බස්නායක මහතා – සාමාජික, බි්‍රගේඩියර් සුනිල් රණසිංහ මහතා – සාමාජික.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, අමාත්‍යාංශ උපදේශක සුදත් චන්ද්‍රසේකර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ) අනුර මුතුමාල යන මහත්වරු සහභාගී වී සිටියහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment