ජීවිත 6ක් බිලිගත් කින්නියා පාලම්පාරුවේ හිමිකරු ඇතුළු 3ක් රිමාන්ඩ්

162

* කලබල කළ අයත් අල්ලන්න විමර්ශන

ජීවිත හයක් බිලිගනිමින් ත‍්‍රිකුණාමලයේ කින්නියා කුරුඤ්ඤන්කර්නි කලපුවේ පෙරළී ගිය පාලම්පාරුවේ හිමිකරු එය පැදවූ පුද්ගලයා සහ මුදල් අයකැමිවරයා කින්නියා පොලිසිය මගින් ඊයේ (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.

අබලන්වූ පාලම්පාරුවක් යොදාගෙන ඉතාම අනාරක්ෂිත ආකාරයට මගීන් විශාල පිරිසක් නංවාගෙන ගොස් ඔවුන් අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මේ අතර මෙම පාලම්පාරුව පෙරළී යෑමෙන් පසු කෝපයට පත්වී කින්නියා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. තවුෆික් මහතාගේ නිවසට, කින්නියා රෝහලට පහරදුන් සහ නගරයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ප‍්‍රහාරයන්වලට සම්බන්ධ පුද්ගලයන් වීඩියෝ දර්ශන සහ සීසීටීවී දර්ශන මාර්ගයෙන් හඳුනාගැනීමේ කටයුතු මේ වනවිට ක‍්‍රියාත්මක කර ඇති අතර ඔවුන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු හය දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 20 දෙනෙකු රෝහල් ගතකරමින් මෙම පාලම්පාරුව පෙරේදා (23 දා* උදෑසන කින්නියා කලපුවේදී පෙරළී ගොස් තිබිණි.

කින්නියා කුරුඤ්ඤන්කර්නි කලපුව හරහා ඇති පාලම අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිසා එහි ජනතාවට කලපුව තරණය කිරීම සඳහා මෙම පාලම්පාරුව යොදවා තිබී ඇත.

එක් අයකුගෙන් රුපියල් 20ක් අයකරමින් මෙම පාලම්පාරුව කාලයක් තිස්සේ කලපුව තරණය කිරීම සඳහා යොදවා තිබිණි.

මෙම පාලම්පාරුව ප‍්‍රමිතියෙන් තොර එකක් බවටත් එය ඉතාම අනාරක්ෂිත ආකාරයට මගීන් රැුගෙන යන බවටත් ප‍්‍රදේශවාසීන් බලධාරීන් දැනුවත්කර තිබුණද ඊට කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

මෙම පාලම්පාරුව සඳහා අනුමැතිය ලබා දුන් බලධාරීන් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුනු,ති‍්‍රකුණාමාලෙ – සමන් මල්ලවආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment