ඔටුන්නක් දාගෙන ඉන්නේ රගපාන්න නොවෙයි

268

”ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය නළුවෝ වෙන්න නොවෙයි. ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න. ඒක කරන්න බැරි නම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ’’ යැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පෙරේදා (23දා) රාත‍්‍රියේ පැවසූහ.

වාද්දුව ශුද්ධෝත්තම දෙව් මැඳුරේ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් කාදිනල්තුමා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

”පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවත්වපු කොමිෂන් සභා වාර්තාවල යම් යම් දේවල් ස`දහන් වෙලා තියෙනවා. මතුපිටින් පෙනෙන දේට වඩා යටින් ලොකු වැඩපිළිවෙළක් තිබුණා කියලා අපිට වැටහෙනවා. ඒකට සාධක ගොඩක් තියෙනවා. අපිට කාගෙන්වත් පළිගන්න ඕනෑකමක් හෝ රුදාවක් නැහැ. නමුත් අපිට ඇත්ත  දැනගන්න ඕනෑ.

මිනිසුන් 269 දෙනකු ජීවිත නැති කරගත්තා. පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙලා ගෙදර යන්න ආපු මිනිස්සුන්ටයි මේ විපත වුණේ. සමහර අයට දරු පවුලම නැති වුණා. සමහර දරු පවුල් සම්පූර්ණයෙන් විනාශ වෙලා තනිවුණා. සමහරු ජීවිත කාලයේම අංගවිකලයන් බවට පත්වුණා. ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන වේදනාව වචනවලින්වත්, වෙන දෙයකින්වත් කියලා නිම කරන්න බැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ මහා නපුරු වැඬේ කළේ කවුද? එහෙම කළේ ඇයි? කියන සත්‍ය යථාර්ථය දැනගැනීමෙන් පමණයි. ඒක සොයා ගන්නා තාක්කල් අපේ අරගලය නවත්වන්නේ නැහැ. මගේ පූජා ප‍්‍රසාදීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපි මේ වැඬේ ඉවරයක් කරන තාක් අපි එකට සිටින ලෙස. එහෙම නැත්නම් අපේ මේ පූජාත‍්‍රය සක‍්‍රමේන්තු පූජාත‍්‍රයක් බවට පත්වෙනවා. පූජාත‍්‍රය කියන්නේ සක‍්‍රමේන්තු පූජාත‍්‍රයක් නොවෙයි. පූජාත‍්‍රය කියන්නේ යාගය, පිදීම, යාගවීම, ඒ නිසා අපි අපේ ජීවිත පරදුවට තබමින් අපේ ජනතාවට ජනතාවට ආදරය කළ යුතුයි. ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ඒකෙන් අපිට පැනයන්න බැහැ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසීය.

අද අපේ රටේ භයානක තත්ත්වයක් ඇතිව තියෙනවා. මේ රටේ අහිංසක ජනතාවගේ බඩගින්න, දුක පූජකතුමන්ලාට, රදගුරු තුමන්ලාට දැනිය යුතුයි. එහෙම දැනෙන්නෙ නැත්නම් මේ පදවිවලින් වැඩක් නෑ. අපි මේ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලි නාට්‍යයක් රඟපාන නළුවෝ නොවෙයි. විහිළුවට නොවෙයි. මේක දරනවා නම් අපි ජනතාව අතර මාංශ ගතවෙන්න ඕන. ජනතාවගේ දුකේදී සැපේදී එකට සිටින්නට ඕන. කිතුනු ජනතාව දෙසීයකට අධික පිරිසක් මරාදාන්න කටයුතු කරපු වගේම ප‍්‍රහාරය දැනගෙන උසස් තනතුරු දරපු පොරොන්දු දුන්න උදවිය දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඒක තමයි අපට දරාගන්න බැරි කාරණාව. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරල තියන දේ පවා ක‍්‍රියාත්මක කරන්න බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. අපි කොච්චර කිව්වත් කරන්නේ නැහැ. එහෙම කරන්නේ මේ ප‍්‍රහාරයට සම්බන්ධයක් එයාලගේ වගකීමක් තියෙනවද කියලා අපිට සැකයක් තියෙනවා. එහෙම කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න ඕන. අපි දේශපාලනය කරනවා නොවෙයි. අපට ඕන සත්‍යය යථාර්ථය දැනගන්න. ඒ නිසා සියලූ කතෝලික ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. මේ ප‍්‍රශ්නයේදී එකාවන්ව හිටගෙන බලධාරීන්ට බල කරන්න. මේ ප‍්‍රහාරයේ වගකිව යුතු අය කවුරුන්ද කියා අපට සත්‍ය වටහා දෙන්න කියලා.’’

2020 මැයි මස සිදු වූ අකුණු සර වැදීමෙන්, වාද්දුව ශුද්ධෝත්තෝම දේවස්ථානයට හානි සිදුව තිබූ අතර, එය මීසම්වාසීන්ගේ සහ දානපතීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ යුද හමුදා 4 ඉංජිනේරු සේවා බළකායේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකර තිබුණි.

වාද්දුව මීසම් පාලක ගයාන් ප‍්‍රශාන්ත පියතුමන් ඇතුළු පූජක තුමන්ලා, ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ මීසම්වාසීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

සුජීව තත්සර, ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment