අල්ලස් කොමිසම චෝදනා අස්කර ගනී – හිටපු ඇමැති පියංකර සහ ලේකම් නිදහස්

566

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා ඉල්ලා අස්කර ගැනීම නිසා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ යන සැකකරුවන් චෝදනාවලින් නිදහස් කර හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

තම අධිකරණය විසින් එලෙස සැකකරුවන් නිදහස් කර හැරීම පැමිණිල්ලට වෙනත් අධිකරණයක් හමුවේ වෙනත් නඩු කටයුත්තක් පවරා පවත්වාගෙන යෑමට බාධාවක් නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

2011.08.10 හා 2012.12.03 වැනිදා කාලය අතරතුරදී සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ නමැත්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ නොතිබූ තනතුරක් ඇති කර එම තනතුරට පත්කර අමතර වැටුපක් ගෙවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි. එම නඩු පැවරීම සිදුකර ඇත්තේ අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ම ලිඛිත අවසරයක් නොමැතිව බවට විත්තියෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment