අවන්හලට කුළී මෝටර් රථයකින් ගිය හෝකන්දර ව්‍යාපාරිකයාගේ මළ සිරුර කාණුවේ

1257

* යතුරුපැදියෙන් ගෙනත් බැස්සුවා – මිතුරා කියයි

හෝකන්දර සහ සිංහපුර අතර මාර්ගයේ කාණුවක් තුළ තිබී පිරිමි මළ සිරුරක් තලංගම පොලිසිය මගින් ඊයේ (29 දා) උදෑසන සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නො.161 /සී, හෝකන්දර, ලිපිනයේ පදිංචි දේවමුල්ලගේ ප‍්‍රසන්න ප‍්‍රභාත් පෙරේරා (46) නමැති ව්‍යාපාරිකයෙකි. මොහු තවත් මිතුරෙකු සමග 28 දා රාත‍්‍රි තලවතුගොඩ පිහිටි අවන් හලකට කුලී මෝටර් රථයකින් ගොස් ඇති අතර එම මිතුරා පවසන්නේ රාත‍්‍රි 10.00ට පමණ ඔහු යතුරුපැදියෙන් මරණකරු ගෙනත් බැස්සවූ බවය.

ඔහුගේ නිවසට හැරෙන පාර අසලදී යතුරුපැදියෙන් බැස ගත් මොහුව යම් රිය අනතුරකට ලක්වූවාද නැතිනම් මෙය ඝාතනයක්ද යන්න පිළිබඳව පොලිසිය දීර්ඝ ලෙස විමර්ශනය කරමින් තිබේ.

මෙම ව්‍යාපාරිකයාට අයත් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වන ජංගම දුරකථනයද අනතුර සිදුවූ ස්ථානයට නුදුරින් මල් පඳුරක් අසල තිබී පොලිසිය සොයාගෙන ඇත. තලංගම හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර තලංගම පොලිසියේ පො. ප. ධම්මික, උ. පො. ප. චන්දන ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

 

advertistmentadvertistment
advertistmentadvertistment