අවුරුදු කාලේ කුකුළු මස් කිලෝව 1300 ට: බිත්තරත් කිලෝ ගණනට

276

උත්සව සමයේදී කුකුළු මස් කිලෝවක් රුපියල් 1300 ක උපරිමයකට යටත්ව අලෙවි කිරීමට සිය සංගමය තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති, අජිත් ගුණසේකර මහතා “දිවයින”ට ඊයේ (04 දා) පැවසීය.

එමෙන්ම දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම පිළිබඳ යෝජනාව පාරිභෝගිකයාට සාධාරණ බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

රට තුළ කුකුළු මස් හිඟයක් ඇති කර කුකුළු මස් ආනයනයට සූදානමක් තිබුණද සීත කළ සම සහිත කුකුළු මස් කිලෝවක් සියලු නිෂ්පාදන වියදම් සහ ප්‍රවාහන ගාස්තු ද ඇතුළුව රුපියල් 1300 ක මිලකට පාරිභෝගික ජනතාවට ලබා දිය හැකිව පවතින බැවින් වැඩි මිලට කුකුළු මස් මිලදී නොගන්නා ලෙස හෙතෙම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය. බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීමට ගෙන ඇති යෝජනාවට අපි පක්‍ෂයි. එය ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. සාමාන්‍ය බිත්තරයක් ග්‍රෑම් 35 සිට 70 දක්වා බරින් යුක්තයි. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් 40 කට පමණ බිත්තරයක් අලෙවි කළ හැකියි.

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඩොලරයේ අද මිලට සාපේක්‍ෂව මෙරටට ගෙන්වීමට මාස 1 1/2 ක් යනවා. තවම ක්‍රියාත්මකව පවතින්නේ එදා ඩොලරයට මිලදී ගත් අමුද්‍රව්‍ය. ඉදිරියේදී පාරිභෝගිකයාට සහනයක් ලැබෙයි යැයිද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment