අස්වැසුමත් කපල නඩේ අර්ථසාධකයටත් දෙයිද වැඩේ ! – අස්වැසුමද? හිස්ගැසුමද?

330

ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන ක්‍ෂෙත්‍රවල උද්ගතවූ අර්බුදය ක්‍ෂණයකින් විසඳාගත හැකි නොවුවද තවමත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දක්වන අසමත් බව අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. ජනාධිපති රනිල් ආර්ථිකය මෙහෙයවීමේ වගකීම භාරගෙනද දැන් වසරකට කිට්ටුය. එහෙත් මේ වන තෙක් ආර්ථිකය මෙන්ම දේශපාලනය සම්බන්ධයෙන්ද ඉදිරිපත් වු අලුත් ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්ද නැත. ආර්ථික වසයෙන් මතුපිටින් පෙනුනු ප්‍රශ්න කීපයක් එනම් ඉන්ධන, ගෑස්, විදුලිය වැනි මූලික අවශ්‍යතා කීපයක් ලබාදීමට ආණ්ඩුවට හැකි වුවත් ඒවා සම්බන්ධයෙන් වුවද ඇතුල් පැත්තේ චිත්‍ර යහපත් නොවේ. මේ වන විට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසකගේ මෙන්ම විපක්‍ෂයේද දැඩි විවේචනයට ලක්ව තිබෙන “අස්වැසුම” ප්‍රකාශ වන්නේද මේ ආණ්ඩුවේ අසමත්භාවයත්, නිසි සැලැස්මක් නොමැතිව කරන විහිළු නිසා රටම අසරණ වන බවත්ය. විපක්‍ෂ නායක සජිත් නිවේදනයක් නිකුත් කරමින් ඉදිරිපත් කෙරෙන චෝදනා බරපතළය. ඔහුට අනුව මෙය අස්වැසුමක් නොව ඇස්බැන්දුමකි. රටේ සිටින ලක්ෂ 70 ක් පමණ දුප්පතුන් අතරින් ලක්‍ෂ 12 කට සහන සැලසීම කෙබඳු අස්වැසිල්ලක්ද? යන ප්‍රශ්නය අපටද තිබේ. විපක්‍ෂනායකවරයා මෙහිදී ලර්න් ඒෂියා ආයතනයේ සමීක්‍ෂණයක දත්ත පවා දක්වා තිබේ. නිදහස් ජනතා සභාවේ ඩලස් පවසා තිබුණේ මෙය අස්වැසුමක් නොව පස්වැසුමක්දැයි අපැහැදිලි බවකි. එයත් බරපතළ විවේචනයකි.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුද මෙම අස්වැසුම පුස්සක් බව දක්වති. සංවර්ධන නිලධාරි සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි පුවත්පත් සාකච්ඡාවක් (25) පවත්වා මෙම සහනාධාර ක්‍රමයේ අසාර්ථක බව සඳහන් කර තිබුණි. ආණ්ඩුව නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ මෙය දේශපාලන මුහුණුවරින් විවේචනය කරන බවය. එසේම අඩුපාඩු වැරදි හදා ගැනීමට ලබන ජුලි 10 දක්වා කාලයක් තිබෙන බවද ආණ්ඩුව පෙන්වා දෙයි. රාජ්‍ය ඇමැතිවරුන් කීපදෙනෙක්ද අස්වැසුම විවේචනයට ලක් කර තිබුණි. මේ සියලු විවේචනවල හරය වන්නේ මෙහි අවිධිමත් විලාසයයි. එහි ප්‍රතිවිපාක නිසා මෙතෙක් තිබුණු සහනද අහෝසි වන බවය. එසේ නම් මේ අස්වැසුම කාගේ සංකල්පයක්ද? එය ජනසවිය සමෘද්ධි ලේබලවලට උඩින් ඇලවූ ව්‍යාජ ලේබලයක්ද? කුමක් වුවත් ඇතුළ හිස් අක්‍රමවත් වැඩපිළිවෙළක් බව නම් අපටද පෙනී යයි.

අස්වැසුමත් කපල නඩේ අර්ථසාධකයටත් දෙයිද වැඩේ ! - අස්වැසුමද? හිස්ගැසුමද?

දුගීභාවය හෙවත් දරිද්‍රතාව යනු හුදු සහනාධාරයකින් දුරු කළ හැකි දෙයක් නොවේ. දුගීභාවය යනු විෂම ආර්ථිකයෙත් මුග්ධ දේශපාලන මෙහෙයුම්වලත් දුෂ්ට විපාකයකි. එහෙත් ඒ සඳහා යම් සහන ලබාදීම ජාත්‍යන්තර වසයෙන්ද පිළිගත් ක්‍රමවේදයකි. ධනවතුන්ගෙන් දුප්පතුන්ට ලබාදීම බුදුන්වහන්සේද අනුදැන වදාළහ. කාල්මාක්ස් ප්‍රමුඛ විවිධ අර්ථශාස්ත්‍රඥයෝද දුප්පත්කම නැති කිරීම සම්බන්ධ න්‍යාය සූත්‍ර ඉදිරිපත් කළහ. ලංකාවේද මේ දුගී සුබ සාධනයට දිගු ඉතිහාසයක් ඇත. මෑතකදී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වු ප්‍රකට වැඩසටහනක් වූයේ ප්‍රේමදාස ජනාධිපතිගේ ජනසවියයි. එම සුබ සාධන වැඩපිළිවෙළ සඳහා සුසිල් සිරිවර්ධන වැනි විද්වතුන්ගේ සහායද ලැබුණි. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත්වීමෙන් පසු ජනසවිය වෙනුවට සමෘද්ධිය ආදේශ විය. ජනසවිය හා සමෘද්ධිය අතර සමානතා මෙන්ම විෂමතා කෙබඳුද? වඩාත් හොඳ ව්‍යාපෘතිය කුමක්ද ආදී ප්‍රශ්න ගණනාවක්ම මෙහිදී මතුවේ. ඒවා වෙනම සාකච්ඡා කළ යුතුය. කුමක් වුවත් අස්වැසුම සමාජ ගත වන්නේ මේ ආණ්ඩුවේ විශේෂයෙන් රනිල්ගේ පාලන යුගයේදීය. එහි නිර්මාතෘ කවරෙක්දැයි අපි නොදනිමු. එසේම එයින් මෙතෙක් ක්‍රියාත්මක වූ සමෘද්ධියට වඩා ප්‍රශස්ත සේවයක් සිදු වන්නේද යන්නත් අපි නොදනිමු.

සමෘද්ධිය අහෝසි කර අස්වැසුම හඳුන්වා දෙන්නේ එහි සමෘද්ධියෙහි නොවූ හරයක් ජීවයක් ඇතැයි යන චේතනාවෙන් විය හැකිය. එසේ වුවද ආණ්ඩුවේම රාජ්‍ය ඇමැතිවරයෙක් පවසන අන්දමේ අඩු ආදායම් ලබන ජනතාව ප්‍රපාතයකට තල්ලු කිරීමක් අස්වැසුමෙන් සිදුවන්නේ නම් එයද බලවත් ප්‍රශ්නයකි. රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක එසේ කියද්දී සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේද එය සමෘද්ධිය මෙන් සාධනීය වැඩපිළිවෙළක් නොවන බවය. සැබෑ දුප්පතුන් කපා දමා පොහොසත් අයට අවස්ථාව ලබාදී තිබෙන වැඩසටහනක් ලෙස ආණ්ඩු පාර්ශවයෙන්ම විවේචන එල්ල වන පසුබිමක ඒ සම්බන්ධ තවත් විශ්ලේෂණ අවශ්‍යද නැත. කුමක් වුවත් ඉහත සඳහන් කළ පරිදිම සහනාධාරවලින් හෝ පිනට දීමෙන් හෝ රටක ආර්ථිකයක් ගොඩනැගිය නොහැකි බවද අප කිවයුතුය. එනිසා මෙබඳු සහනාධාර ලබන පවුල්වලට දුගීභාවය නමැති අඳුරෙන් එළියට ඒම සඳහා විධිමත් සැලැස්මක්ද තිබිය යුතුමය. එහෙත් ජනසවිය, සමෘද්ධි වැනි සහන ලබා ගත් ජනතාව අතර හෝ එලෙස ස්වීය ආර්ථිකයක් සඳහා යොමු වු කොපමණ සංඛ්‍යාවක් සිටිත්දැයි නිල වාර්තා නැත. එසේම ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින්ම සඳහන් කරන ලද නැති බැරි අය ඇති හැකි අය කිරීමේ අරමුණක් මෙබඳු වැඩසටහන් සැකසූ අයට නොතබුණිද? ඒවා හුදු ඡන්ද කඩන, ඡන්ද වැඩිකර ගැනීමේ දේශපාලන තුරුම්පු පමණක්ද? යන ප්‍රශ්න ගැන අවම වසයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන හෝ ආර්ථික තොරතුරු විධිමත්ව එක් කරනු ලබන ආයතනවලට වැදගත් නොවේද?

මේ ආණ්ඩුව අස්වැසුම ලෙස යෝජනා කරන සුබසාධන වැඩපිළිවෙළෙහි විශේෂත්වයක් තිබිය යුතු අතරම එහි ඉහත දැක්වූ සහනාධාර ක්‍රමවල අඩුපාඩු දුබලතා හැකිතාක් දුරට අඩු විය යුතුද වේ. එහෙත් එබඳු සාධනීය සැලසුම් අස්වැසුම් බලධාරීන්ට නොවූ බව පෙනේ. ඒ විවේචන හා චෝදනා තවත් මෙහි දැක්වීමට අවශ්‍ය නැත. මේ වන විට සිදුව තිබෙන විවේචනවල හරය වන්නේ මේ පිළිබඳ වගකීම්වලින් නිදහස් වීමට එකිනෙකා උත්සාහ දරමින් සිටින බවය. කොහොමටත් මේ සුබ සාධන මණ්ඩලයට එබඳු දැක්මක් තිබුණි නම් එම ප්‍රතිලාභය ලබාදීමටත් පෙර සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ හා අදාළ වෘත්තිය සංවිධානවල විරෝධය එල්ල නොවනු ඇත. එසේ නොවුවත් මේ මණ්ඩලවල ඉහළ නිලබල බොහෝවිට ලබා දෙන්නේ තණකොළ කැපීමට කිතුලට ගොඩ වූ මිනිහා විසින් දෙන ලද ආකාරයේ පිළිතුරු බවද රහසක් නොවේ. අප විමසන්නේ එකම දෙයයි. තවම මෙරටේ දුගී ජනයා හඳුනා ගැනීමට මිනුම් දණ්ඩක් නැද්ද? මේ සම්බන්ධයෙන් පළවූ පුවත්වලදී අදහස් දැක්වූ දුප්පත් ජනයා හැඬූ කඳුළින් ප්‍රකාශ කළ අදහස් රැසකි. දුප්පතාගේ කඳුල සුසුම නොහඳුනන අසංවේදී ආණ්ඩුවකින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය හැකිදැයි ප්‍රශ්න කළ අයද සිටිති.

අද මෙරටේ සමස්ත ජනතාවම වෙලාගත් විපත වන්නේ දිනෙන් දින ඉහළ යන සමාජ ආර්ථික දුෂ්කරතාවයන්ය. ආර්ථික විෂමතා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් නැතැයි විපක්‍ෂය චෝදනා කරන විට ආණ්ඩුවේ සමහරුන් ප්‍රශ්න කරන්නේ විපක්‍ෂයේ යෝජනා ගැනය. මෙය පක්‍ෂ දේශපාලනය උත්සන්න වූ රටකි. කෙබඳු අර්බුදයක් ඇති වුවත් එයට සාමූහිකව එක්ව විසඳුම් සෙවීම පිළිබඳ නිදසුන් ඉතා අඩුය. අපේ දේශපාලනයේ පදනම වී ඇත්තේ ප්‍රතිලාභ, වාසි, අවාසි පිළිඳවය. පක්‍ෂ මාරු සිදුවූ හැම අවස්ථාවකම ඒවා ප්‍රතිපත්තිමය කරුණුවලට වඩා වෙනස් ගනුදෙනු බව කියනු ඇසෙයි. අපේ ව්‍යවස්ථාව තුළ මේ ගෙඹි පිම්වලට බාධාවන විධිවිධාන කිසිවක්ද නැත. අගමැති දිනේෂ් ගුණවර්ධන පසුගියදා එදා පැවති ප්‍රතිපත්තිගරුක දේශපාලනය ගැන කළ අනාවරණය ඉතා වැදගත්ය. ඒ සාගර පලන්සූරිය අනුස්මරණ උළෙලේදීය. (මෙය ඉකුත් 22 අරලියගහ මැඳුරේ පැවැත්විණි) 1956 දී බලයට පත් බණ්ඩාරනායක ආණ්ඩුව දේශපාලන අර්බුදයකට මැදි වී තිබියදී මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම්ව සිටියහ. ඒ එවක කැබිනට් ඇමැතිවරයෙකු වූ පිලිප් ගුණවර්ධන සමග ආණ්ඩුව තුළ වූ ගැටුමක් නිසාය. මෙහිදී අගමැති බණ්ඩාරනායක විශේෂ දැනුම්දීමක් කර සාගර පලන්සූරිය කැඳවා ඔහුගේ සහාය ඉල්ලා ඇත. එහිදී අගමැතිගෙන් ප්‍රකාශ වූයේ පසු දින අධ්‍යාපන ඇමැති ධුරයේ දිවුරුම් දීමට පැමිණිය යුතු බවකි. එහෙත් සාගර පලන්සූරිය පවසා ඇත්තේ ඇමැතිකමට වඩා තම ප්‍රතිපත්තිය වැදගත් බවය. අද තත්ත්වය ගැන නිදසුන් අවශ්‍ය නැත. කුමක් වුවත් අගමැති දිනේෂ්ගේ අනාවරණය උත්ප්‍රාසනීය ප්‍රතිචාරයකැයි අපට සිතේ. අද තිබෙන්නේත් මෙයට පෙර දසක කීපයක්ම වූයේත් බලයේ රැඳී සිටීම සඳහා පක්‍ෂවල මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ අලජ්ජී දේශපාලනයකි.

අනෙක් අතට රටේ මොන අර්බුද තිබුණත් බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රතිලාභ, වරප්‍රසාද සඳහා දක්වන මජරකමට නැත්නම් දීනකමට තවත් හේතු කීපයක්ද ඇත. ඒ ඔවුන් බොහෝ දෙනෙකුගේ දේශපාලන සාක්ෂරතාව, ජාත්‍යන්තර අවබෝධය, උගත්කම (මෙය විභාග සමත්වීමම නොවේ) ආදී කරුණුය. පොහොට්ටුවේ ඇමැතිකම් සඳහා එක් සුදුසුකම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබාගැනීමය. විෂය අවබෝධය, ජනතාව දක්වන ආකල්ප, විනය සංවරය ආදී කරුණු සම්බන්ධයෙන් වුවද මේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියවෙන අයගෙන් කී දෙනෙක් ගැන සෑහීමකට පත්විය හැකිද? ඇත්ත වශයෙන්ම රටේ උත්තරීතර ආයතනය නියෝජනය කිරීම සඳහා මහජනයා විසින් තෝරා ගත යුත්තේ කවර තරාතිරමක පුද්ගලයන්ද යන ප්‍රශ්නය අද වනවිට දේශපාලන වේදිකාවලද සාකච්ඡා කෙරෙන්නකි. ආචාරධාර්මික විදග්ධ දේශාපලන සම්ප්‍රදායක් ඉල්ලා සිටින යුගයක එයට උඩින් පැන යෑමට මේ පාලකයන් ක්‍රියා කරන බවද රහසක් නොවේ. බර්ටෝල් බ්‍රෙස්ට් වරක් ප්‍රකාශ කළේත් ජනතාව අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට පමණක් නොව ජනතාව වෙනස් කිරීමට බවය. අමන දේශපාලනඥයන් මෙන්ම මුග්ධ ජන කොටස්ද එක වගේම විනාශකාරීන් බව ඔහුගේ අවධාරණයයි.

ඇත්ත වසයෙන්ම මේ වනවිට රටක් වසයෙන් අප මුහුණ දී සිටින සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද විසඳීමට මේ පවතින කිළිටි දේශපාලන බල කඳවුරු අසමත් බව දවසින් දවස තහවුරු වෙමින් තිබේ. ඒ හා සමාන විනාශයක් සිදු කරන නිලධාරි තන්ත්‍රයක්ද බිහිවී තිබේ. මේ නිලධාරි තන්ත්‍රයේ කුණුවීමද දැන් කලක සිට ආරම්භ වූවකි. මේ බොහෝ විපත් සිදු වූයේ ඔවුන්ගේද අනුදැනුම හා මුග්ධ උපදේශනය යටතේය. අදටත් විසඳුමක් නැති වී ගොවීන්ගේ අර්බුදය මෙයට එක් නිදසුනක් පමණි. එපමණක්ද මේ වනවිට රටම ඔත්පල කරවන ආකාරයෙන් බිඳ වැටෙමින් තිබෙන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ බොහෝ ප්‍රශ්න විසඳන මගක් පෙනෙන තෙක්මානයකවත් තිබේද?

ජනතාව විසින් දෛනිකව මුහුණ දෙනු ලබන ජීවන වියදම සමනය කළ හැකි බවක්ද නොපෙනේ. මධ්‍යම පන්තිය බදු බරින් හා ණය බරින්ද අසරණව සිටින අතර ඔවුන්ගේ ආදායම බොහෝ විට ආහාර සපයා ගැනීමට පවා ප්‍රමාණවත් නොවන බවද කියනු ඇසෙයි. හැම භාණ්ඩයකම මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොසින්ය. ආණ්ඩුව කෙසේ කීවත් මෙම ණය අර්බුදයේ වින්දිතයන් බවට මේ ජන කොටස් පත්ව සිටිති. ඔවුන් තුළ වැඩෙන කෝපාග්නිය මේ සක්වළම දවා අළු කිරීමට වුවද සෑහේ. එබඳු සමාජ වෛරයකින් සිටින රටකට තවත් ඇමැති බර පැටවීමට ජනාධිපති රනිල් එකඟ නොවීම ඉතා සාධාරණය. එහෙත් මේ ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව නම් බොහෝ දෙනෙක් තෘප්තිමත් නොවෙති. ඇත්ත වසයෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස සිය දේශපාලන භූමිකාව තුළ උපයාගත් කීර්තිය අද ඔහු ජනාධිපතිවරයා ලෙස ගන්නා ඇතැම් තීන්දු තීරණ නිසා වැනසී යන බව ඔහු නොදන්නෙහිද?

රාජපක්ෂවරුන් රැකීම සඳහා නොලියූ එකඟතාවන් තිබිය හැකි වුවද ඊට වඩා වැදගත් වන්නේ මේ සමාජ දේශපාලන ක්‍රියාවලියම රැඩිකල් වෙනසකට භාජනය කිරීම බව ඔහු තේරුම් ගත යුතුය. ගතානුගතික හා ජරපත් දේශපාලන තන්ත්‍රය ප්‍රතික්‍ෂේප කරන බහුතර ජනතාවක් අද සිටිති. සජබය හා ජාජබ යන දේශපාලන ව්‍යාපාර කෙරෙහි ජනතාව රොක්වීම ව්‍යාජයක් නොවේ. මේ දෙක අතර වැඩෙන පසමිතුරු කතිකාව තුළින් ඇතිවන ප්‍රතිඵලය එජාප හා පොදුජන පෙරමුණට වාසිදායක එකක් නොවිය හැකිය. ඇතැම් එජාප හා පොහොට්ටු නායකයන් විසින් තවමත් මතුරනු ලබන්නේ ජවිපෙ බිහිසුණු අතීතයත් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ජයග්‍රහණයන් අත්පත් කර ගත නොහැකිය යන වඳ පීදුනු තර්ක හා ප්‍රශ්න පමණි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සැබෑ හේතුව සජබ හා ජාජබ පිළිබඳ ආණ්ඩුවට තිබෙන භීතිය විනා අන් දෙයක් නොවේ. එබඳු මැතිවරණයකින් එජාප, පොදු ජන පෙරමුණ මෙන්ම ශ්‍රීලනිපයටද අත්විය හැකිව තිබුණු නියත පරාජය කල්දමා ගැනීමට ජනාධිපති රනිල් ක්‍රියා කළේය.

ජනතාවගේ අලුත් දේශපාලන නැඹුරුව කිසිසේත් මේ පරිහානියට පත් වූ දේශපාලන පක්‍ෂ තුනම නොවන බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එදා ජයවර්ධන පාලන යුගයේදී ජවිපෙට පමණක් නොව අලුතින් මතු වෙමින් සිටි විජය කුමාරතුංග වැනි නායකයන්ටද නැක්සලයිට් ලේබලය ඇළවූ ආකාරය අපට මතකය. විජයට ශ්‍රීලනිපය තුළ බලයක් හිමිවීම වැළැක්වීමටද ජයවර්ධනට වුවමනා විය. එදා ජයවර්ධන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේද මැතිවරණයක් පැවැත්වුවහොත් ශ්‍රීලනිපයේ නැක්සලයිට් කල්ලිය බලයට පත්විය හැකි නිසා ඒ පිළිබඳව ජනමත විචාරණයක් පවත්වා තීරණයක් ගන්නා බවය. එපමණක් නොව ජනමත විචාරණයට පෙර ඇත්ත හා ජනදින වැනි විපක්‍ෂයට අයත් පුවත්පත් සීල් තැබීමටද ජයවර්ධන පසුබට නොවීය. එපමණක් නොව ශ්‍රීලනිපයට අයත් පත්‍රිකා මුද්‍රණය කළ මුද්‍රණශාලා හිමිකරුවන් පවා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියද යොදා ගෙන තිබුණි.

අද එබඳු ක්‍රියා සිදු නොවන බව බැලූ බැල්මට පෙනී ගියත් ඒ වෙනුවට යොදා ගත හැකි මර්දන නීති සම්මත කර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය ඉතා පැහැදිලිය. ප්‍රතිත්‍රස්ත පනත හා විකාශන අධිකාරී පනත ආණ්ඩුවටම පාරාවළල්ලක් වු අයුරු අපි දිටිමු. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන පොහොට්ටුව මොන ආකාරයේ පුරසාරම් දෙඩුවත් එළඹෙන කවර මැතිවරණයකදී වුවද ඔවුන්ට මුහුණදීමට සිදුවිය හැකි විපාක ගැන ඔව්හු දනිති. මේ අතර ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ආර්ථිකය හා සම්බන්ධ මූලික පියවර කීපයක්ම මෙම සතිය ඇතුළත සිදු වන බව නිවේදනය කර තිබේ. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙනි. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට එම කරුණු ඉදිරිපත් වන බවද වාර්තා විය. එහි සභාපති හර්ෂ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ අර්ථ සාධක මුදලට අගතියක් නොවන ආකාරයට එම යෝජනා සකස් විය යුතු බවය. ඔහු සඳහන් කළේ ජනාධිපති රනිල් ඒ පිළිබඳව තමන්ට හා විපක්‍ෂ නායක සජිත්ටද දන්වා ඇති බවය. මෙහිදී හර්ෂ අවධාරණය කරන්නේ වෙළෙඳ පොළේ ස්ථාවරත්වය ආරක්‍ෂා වන ආකාරයට මෙන්ම දේශීය ණය කපා හැරීමකින් තොරව ඒ කටයුතු සිදුවිය යුතු බවය. කුමක් වුවත් මේ කිසිදු ජාතික හෝ ආර්ථික අපරාධයකට වචන මාත්‍රයක් තරමින්වත් නොගෑවුණු මෙරටේ ජනතාවගේ ජීවිතවල කඳුළ, සුසුම හා ආත්මීය වේදනාවන් ගෙන්ද සමන්විත අර්ථසාධක අරමුදලට අත නොතැබිය යුතු බව ආණ්ඩුවට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම හැර වෙනත් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සැලසුම් නොමැති ආණ්ඩුවක් ලෙස දවසින් දවස උග්‍රවන සමාජ අසහනයට පීඩනයට පාලකයන්ට මුහුණ දිය නොහැකි බව දැන් ඉතා පැහැදිලිය. ඇත්ත වසයෙන්ම අස්වැසුම නමින් යෝජනා කර තිබෙන සහන වැඩපිළිවෙළ කිසිදු ප්‍රායෝගික වටිනාකමක් නැති කාගේ හෝ දේශපාලන මනසකට කාන්දු කළ හෝ එයින් බිහිවූ අසංවේදී සැලැස්මක් බව වටහා ගැනීමට තරම්වත් විචක්ෂණභාවයක් ආණ්ඩුවට නැත. මේ ලියවිල්ල ලියන අතර රූපවාහිනී නාලිකාවක පුවතක් ලෙස දැක්වූ අස්වැසුම විරෝධතාවකදී පළවු අදහසක්ද අවසන් වසයෙන් මෙසේ සටහන් කිරීමට සිතුණි. එයින් කියැවුණේ තමන්ගේ නම අස්වැසිල්ල ලේඛනයට ඇතුළත් නොවීම පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කාර්යාලයකට ගිය ගැමිලියන්නට නිලධාරීන් විසින් දක්වන ලද ප්‍රතිචාරයකි. සිද්ධිය වාර්තා වූයේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බව සඳහන් විය. එහි ගිය ඒ පීඩිත ජනයන්ට තම අභියාචනා ඔන්ලයින් ක්‍රමයෙන් ඉදිරිපත් කරන ලෙස එහි නිල බලධාරීන් විසින් පවසන ලද බව කියැවිණි. මේ එක් වියපත් මවක් හැඬූ කඳුළින් එය විස්තර කළ අයුරුයි.

අනේ මහත්තයො තුන්වේලවත් හරියට කන්නට නැති අපට ඔය ටැලිෆෝන් හරඹ කොහොම පාන්ටද මහත්තයො.”

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment