අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ජූලි 01දා සිට

372

ජනපතිගේ අත්සනින් අතිවිශේෂ ගැසට්ටුව එයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කෙරේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (21දා) නිකුත් කර ඇත.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ 4ක් හඳුනාගෙන තිබෙන අතර සංක්‍රාන්ති, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු වශයෙන් එම කාණ්ඩ නම් කර තිබේ.

මෙහිදී සංක්‍රාන්ති කාණ්ඩයේ පවුල් ඒකකයක් වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දක්වා මාසිකව රු. 2,500 ක දීමනාවක් සහ අවදානමට ලක් වූ පවුල් ඒකකයක් වෙනුවෙන් 2024 මාර්තු 31 දක්වා රු. 5,000 ක දීමනාවක් ලබා දීමට නියමිතය.

මේ අතර 2023 ජූලි 01 සිට වසර 3 ක කාලයක් වෙනුවෙන් දුප්පත් කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 8,500 ක දීමනාවක්ද, අන්ත දිළිඳු කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 15,000 ක දීමනාවක් ද ගෙවනු ලබන බව එම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment