ආගමික රාජතාන්ත්‍රික මෙහෙයුම් සහ චීනයේ විදේශ ප්‍රතිපත්තිය

292

චීන ජාතිකයන් සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය භාවිත කරමින් ඔවුන්ගේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ඉතිහාසයක් ඇත. මෙම අවස්ථාවේදී ද චීනය ආර්ථික ආධාර සහ වෙනත් දිරිගැන්වීම් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරයි. ඒ තුළින් රාජතාන්ත්‍රික පිළිගැනීම සහ මෙරට සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා වන මාර්ගය පාදා ගනී.

චීනයේ සිට ආසියාව හා යුරෝපය කරා වැටුණු පුරාණ වෙළෙඳ මාර්ග එනම් සේද මාවතේ ආර්ථික තීරය යන සංකල්පය ඔස්සේ චීනය විසින් ශ්‍රී ලංකාව වැනි රටවල් බෞද්ධ නැඹුරුවක් ඔස්සේ ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන්නේද යන්න කතිකාවක් මේ වන විට මතු වී ඇත.

චීනය විසින් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටවල වෙහෙර විහාර, බෞද්ධ ආශ්‍රම ඇතුළු බෞද්ධ උරුමයන් වෙනුවෙන් ආයෝජන කටයුතු සිදු කරමින් සිටියි. එහිදී ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටවල බෞද්ධ සිද්ධස්ථාන කරා බෞද්ධ භික්ෂූන් වහන්සේ යොමු කොට බෞද්ධ ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීම ආරම්භ කර ඇත. බෞද්ධ රටවල් සමග ඇති ඓතිහාසික සබඳතාවල වාසිය චීන විසින් සිය අභිලාෂයන් හා මුලපිරීම් මුදුන්පත් කර ගැනීමට යොදා ගන්නා ආකාරයක් මෙහිදී දැක ගත හැකිය.

ඒ අනුව චීනයේ විදේශ ප්‍රතිපත්තිය ආගමික රාජතාන්ත්‍රික මෙහෙයුම් සමඟ ද පදනම් වී ඇති බවට විචාරකයන්ගේ මතය වී ඇත. ලෝක බලවතෙකු ලෙසට ජාත්‍යන්තර වේදිකාව තුළ කටයුතු කිරීමේදී චීනයට එරෙහිව නැඟී එන විවේචන අවම කර ගැනීමට දැඩි උත්සාහයක් දරමින් මිත්‍රශීලී බලවතෙකු ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටීමට කටයුතු කරන බවට ප්‍රබල විවේචනයක් චීනයට එරෙහිව ඉදිරිපත් වී ඇත. ගෝලීය සන්දර්භය තුළ චීනය තීරණාත්මක සාධකයක් බවට ඒත්තු ගැන්වීමට යෑමේ දී තමා මිත්‍රශීලී බලවතෙකු බවට වන මතවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ආගමික රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට අදහස් පළවී ඇත. චීනය විසින් දියත් කරන ආගමික රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය මගින් බෞද්ධ රටවල් සමඟ වඩා හොඳ සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්නා අතර එම රටවලින් තමාට එරෙහිව නැගී එන විවේචන ආපසු හරවා යැවීමට කටයුතු කරයි.

තම මෘදු බල ව්‍යාපෘතිය ඔස්සේ චීනය විශාල වශයෙන් සංස්කෘතික හා ආර්ථික මුලපිරීම් භාවිත කරමින් ලෝකය පුරා රටවල විවිධ ව්‍යාපෘතිවල ආයෝජනයන් සිදුකිරීම දැක ගත හැකිය.

චීනය ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි වෙළෙඳාම සහ අනෙකුත් සම්බන්ධතා වැඩි කර ගැනීමේ පියවරක් ලෙසට ඉන්දියාවට දකුණු දෙසින් පිහිටි ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන්වල වරායන්, ගුවන් තොටුපළවල්, මාර්ග සහ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇත. එම නිසා චීනයේ සේද මාවතේ ආර්ථික තීරය යන සංකල්පය සමග චීනයේ ආධාර ව්‍යාපෘති වෙන්කළ නොහැකි සම්බන්ධතාවක් පවතී.

මෙම සියලු ව්‍යාපෘතිවල අවසාන ඉලක්කය වන්නේ චීනය කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර වාණිජ සේද මාවතක් නිර්මාණය කිරීමයි. චීනය ලෝකය සමඟ සම්බන්ධ කිරීමයි.

තමාට එරෙහිව ජාත්‍යන්තරව නැගෙන විරෝධතා සමනය කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉලක්ක කරගෙන සිදු කරන ආධාර ව්‍යාපෘති සහ එහි ආර්ථික සංවර්ධන ආකෘතීන් ප්‍රවර්ධනය කිරීම චීනය විසින් වර්තමානයේ බහුලව ක්‍රියාත්මක කරනු දැකිය හැකිය. දුප්පත් රටවල් සහනාධාර, පරිත්‍යාග මත යැපීමට පුරුදු කිරීමෙන් එම රටවල් කිසි දිනක ස්වයංපෝෂිත ආර්ථික තත්ත්වයක් උදාකර නොගනී. ජනතාව රටක් වශයෙන් වගකීම් අතට ගෙන කටයුතු නොකර සිටීමට මෙම යැපීම් මානසිකත්වය හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ ඵලදායි නොවන විදේශ ණය මත යැපුණු යෝධ ව්‍යාපෘතීන් බව පැහැදිලි. හම්බන්තොට වරාය, නෙළුම් කුලුන සහ මත්තල ගුවන්තොටුපළ වැනි ව්‍යාපෘති සඳහා චීන බැංකුවලින් අධික පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම ශ්‍රී ලංකාවට ආර්ථිකයට දරා ගැනීමට නොහැකි කාරණයක් විය. අවසානයේ දී, දුප්පත් රටවලට ඇති සම්පත් සූක්ෂම ආකාරයෙන් උදුරා ගැනීමක් මෙම වැඩපිළිවෙළ හරහා සිදු වෙමින් පවතී. ඉතියෝපියාව සහ සැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයකටම මේ අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවී ඇත.

පසුගියදා කොළඹ චීන තානාපතිවරයා මහනුවරදී බෞද්ධ නාහිමිවරුන් හමුවිය. චීනය සිය රාජතාන්ත්‍රික මෙහෙයුම් තිත්ත බෙහෙතක් සීනිවලින් තවරා ලබාදෙන ආකාරයට යොදා ගැනීමට තරම් උපක්‍රමශීලී වී ඇති බව පෙනෙයි. චීන ජාතිකයන් සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය භාවිත කරමින් ඔවුන්ගේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ඉතිහාසයක් ඇත. මෙම අවස්ථාවේදී ද චීනය ආර්ථික ආධාර සහ වෙනත් දිරිගැන්වීම් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරයි. ඒ තුළින් රාජතාන්ත්‍රික පිළිගැනීම සහ මෙරට සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා වන මාර්ගය පාදා ගනී. කෙසේවෙතත් චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන විට බුදුදහමට පෙන්වන ඇල්ම භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් පසුගියදා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඉන්දියාවේ දී ආරාධනා කර සිටීම සැලවීමත් සමඟ චීන රජය ඉන් ඉමහත් කලබලයට පත් වී ඇත.

කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරි හූ වෙයි මහතා ජනවාරි (11) වැනි දින මහනුවරදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට චීනයේ දැඩි විරෝධය පළ කරන බව පැවසීය.

මෙය තවදුරටත් ඉදිරියට ගෙන යමින් චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය නතර කරවීම පමණක් අරමුණ කරගනිමින් ඊට සිය අවධානය ලබාදීම සඳහා මහනුවර හා හොරණ නගරවල ජනතාව ඉලක්ක කර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

වෙනත් රටක ආගමික කාරණාවක් සම්බන්ධව බලපෑම් කිරීමට තවත් රටකට ඇති අයිතිය කුමක්ද යන්න මෙහිදී යම් අයෙකු කෙරෙහි ඇති වන සාධාරණ ප්‍රශ්නයකි. එය දියුණු රටක ශිෂ්ට සම්පන්න ක්‍රියාවක්ද යන පැනය නැවත පැනනඟිනු ඇත.

එලෙසම මහනුවර දිස්ත්‍රික්කයේ ෆා-ෂියෑන් නම් ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු නෙල්ලිගල විහාරස්ථානයේදී මාධ්‍ය හමුවේ කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරි හූ වෙයි මහතා පවසා සිටියේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයකින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු විය හැකි බවයි.

බෞද්ධ රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය චීන විදේශ ප්‍රතිපත්තියේ නව මෙවලමක් බවට විචාරකයෝ මත පළ කරති. ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම මෙන්ම සමාජය වර්තමානයේ පත්ව ඇති පීඩාකාරී තත්ත්වය සිය උපායමාර්ග ඉෂ්ට කරගැනීමට චීනය යොදා ගන්නා බවට චෝදනා ඉදිරිපත් වෙයි. සිය භූ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට චීන නිලධාරීන් ශ්‍රී ලංකාවේ බෞද්ධ නායකයන් සමග නිරන්තර සම්මන්ත්‍රණ සහ රැස්වීම් සංවිධානය කරයි. ඊට අමතරව, ඔවුන් බෞද්ධ විහාරස්ථාන හා බෞද්ධ සංවිධාන සඳහා මූල්‍ය ආධාර සපයයි.

චීනය තුළ ආගමික නිදහසට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටියදී, ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් වෙනත් රටවල අනුගමනය කරමින් එම රටවල් දිනා ගැනීමේ පටු පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීමේ තැතක චීනය නියැළී සිටින බවට විවේචන ඉදිරිපත් වී ඇත. ඒ අනුව චීනය ආගමික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් අසල්වාසීන් දිනා ගැනීමට මෘදු බලය උපක්‍රමශීලීව යොදාගන්නා ආකාරය දැකගත හැකිය.

● ආචාර්ය ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment