ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් කුමන්ත්‍රණය කළාට අපිව වට්ටන්න බැහැ – මෛත්‍රී කඩුවෙලදී කියයි

329

“කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරනවා. ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න. මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ යැව්වා.ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරන තුන්දෙනකු පක්ෂයේ තනතුරු වලින් ඉවත් කළා. ඒක ඉතාම නීත්‍යානුකූලව කළ වැඩක්.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ සෙනසුරාදා (06දා) සවස කඩුවෙල ක්වීන්ස්බරි හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙම සමුළුව පක්ෂයේ නව භාණ්ඩාගාරික හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා විසින් සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිටම විවිධ අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්. ඒත් ඒක වට්ටන්න බැරි වුණා. බණ්ඩාරනායක මහතා මේ පක්‍ෂය ගොඩනැගුවා. සිරිමාවෝ මැතිනිය එය ශක්තිමත් කළා. එතුමන්ලගෙ දරුවොත් මේ පක්ෂය අතහැර ගිහින් තියෙනවා. මමත් මේ පක්ෂය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරල තියෙනවා. ඒ නිසා අපිව වට්ටන්න ඔය අතලොස්සක් කුමන්ත්‍රණය කළාට හරියන්නේ නෑ. අපි ඉදිරියටම යනවා. මම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපත් සමග එක්වන ලෙස”

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, භාණ්ඩාගාරික හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුද කථා කළහ.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment