ආනයනික ඖෂධ මිල සියයට 300-400 කින් නැඟලා

116

ආනයනික ඇතැම් ඖෂධවල මිල සියට තුන්සීය, හාරසීය වැනි ඉහළ ගණනකින් වැඩිවී ඇති නිසා ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නැයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද මහතා ඉල්ලා සිටී.

මිල සූත්‍රයක් පැනවීම ඖෂධ අධිකාරිය විසින් කළ යුතු බවත්, මේ සඳහා සෞඛ්‍ය ඇමැති ඖෂධ අධිකාරිය ඇතුළු බලධාරීන් හමුවී දැනුවත් කළත් මේ වනතෙක් ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බවත් ගන්කන්ද මහතා පැවසීය.

දැනට ඖෂධ නාමයෙන් හැඳින්වෙන ඖෂධ වර්ග 1200 ක් පමණ ඇතත් මිල පාලනයක් සිදුකර ඇත්තේ ඖෂධ 100කට පමණක් බවද ඔහු කීය. රජය විසින් සියයට 29 කින් සහ සියයට 40 කින් අවස්ථා දෙකකදී ඖෂධ මිල වැඩි කිරීමට අවසර දීමෙන් පසුව ඖෂධ මිල සියයට 81 කින් ඉහළ ගිය බවත් ඇතැම් ආනයනික ඖෂධ මිල සූත්‍රයක් නැති නිසා සියයට 300 කින් 400 කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

ඖෂධ මිල තීරණය ආනයනකරු, තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා යන පාර්ශ්ව තුනේම එකඟතාව මත කළ යුතු බව ඖෂධ පනතේ සඳහන්ව ඇතත් එය නොසලකා ආනයනකරු අධික මිලකින් ඖෂධ මිල වැඩිකරන බවත් එය තොග සහ සිල්ලර වෙළෙන්දාටද ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ගන්කන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment