ආහාර පාලනයෙන් දියවැඩියාව සුව කිරීම

5632

දියවැඩියා රෝගයට ගොදුරු වූ විට මෙතෙක් කාලයක් අප ප්‍රතිකාර ලෙස ලබා ගත්තේ රෝගය පාලනය කර ගැනීම සඳහා ඖෂධ භාවිත කිරීමය.

නමුත් දෙවැනි කාණ්ඩයේදී දියවැඩියාව හෙවත් උපතින් පසු ඇති වන අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා නිසා සහ නිසි ආහාර පාලනයකින් තොරව දිවි ගෙවීම නිසා ඇති වන රුධිර සීනි මට්ටම ඉහළ යෑම සහ අධික තරබාරුව නිසා ඇති වන දියවැඩියා රෝගය දිගුකාලීනව ඖෂධ භාවිත නොකර ආහාර පාලනය මගින් යළි ආපසු හැරවිය හැකිය. (Diabetes Remission)

දියවැඩියාව ආපසු හැරවීම

අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇති වීම, අධික තරබාරුව, සීනි අධික ආහාර වර්ග දිනපතා පාලනයකින් තොරව ගැනීම, ව්‍යායාමවලින් තොර අලස දිවියක් ගත කිරීම වැනි හේතු නිසා ඇති වන දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සඳහා මෙතෙක් ප්‍රතිකාර ලෙස සිදු කරනු ලැබුවේ බාහිරින් ඉන්සියුලින් ලබාදීම හෝ මෙට්ෆොමින් වැනි ඖෂධ දිනපතා භාවිතයට ලබා දෙමින් රුධිර සීනි මට්ටම පාලනය කිරීමය.

නමුත් දැඩි ආහාර පාලනයක් මගින් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ආපසු හැරවිය හැකි බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

එහිදී සිදු කරනු ලබන්නේ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයාට කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර වර්ග තම ප්‍රධාන ආහාර වේල් ලෙස ගැනීමට හුරු කිරීමය.

එනම් සලාද වර්ග ආහාරයට ගැනීමට හුරු කිරීමය. ඊට අමතරව ප්‍රෝටීන් වර්ග බහුල ආහාර ලබාදේ. ඒ සඳහා බිත්තර, සෝයා ආහාර, මස් වර්ග ආදිය ලබාදේ. ධාන්‍ය වර්ගවල ප්‍රෝටීන්වලට වඩා වැඩිපුර ඇත්තේ කාබෝහඩ්‍රේට්ස්ය.

එවිට සිරුරේ පවතින බර කිලෝග්‍රෑම් 10 කින් පමණ අඩු කළ හැකිය. මෙහිදී ව්‍යායාම මගින් සිරුරේ බර අඩු කර ගැනීම සිදු නොකරයි. මන්දයත් දැඩි ආහාර පාලනයක් සිදු කර ඇති නිසා ව්‍යායාම මගින් ද බර අඩු කිරීමට යෑමෙන් මාංශ පේශී ක්ෂය වීමක් සිදුවිය හැකි බැවිනි.

මාංශ පේශී ක්ෂය වීම නිසා අක්මාවේ සහ අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ.

සිරුරේ බර අඩු කිරීම නිසා සම මත තැන්පත්ව තිබූ මේද තට්ටුව අඩු වී යයි.

සිරුරේ මේදය වැඩිවීම නිසා ඉන් ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇති වන බව හඳුනාගෙන ඇත.

අග්න්‍යාසයේ ද සම මත මේද තට්ටුවක් තැන්පත් වීම නිසා ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධය දක්වයි. එවිට එහි ඇති බීටා සෛලවල ක්‍රියාකාරීත්වය දුර්වල වේ.

ආහාර පාලනය මගින් සිරුරේ මතුව ඇති අධික මේද තට්ටුව ඉවත් කිරීම මගින් මෙම ඉන්සියුලින් හෝමෝන ප්‍රතිරෝධය මඟ හරවා ගත හැකිය.

අධික තරබාරු අයට සිදුකරන ආමාශයේ සැත්කමින් (Bariatric Surgery) පසු ඔවුන්ගේ ආහාර පාලනයක් සිදුවීම මත සිරුරේ මේදය අධිකව තැන්පත් වීම ද නැති වන බව හඳුනාගෙන ඇත. එවිට ඔවුනට මෙතෙක් පැවති ඉන්සියුලින් හෝමෝන ප්‍රතිරෝධය ද නැති වී යන බව හෙළි විය. ඒ අනුව ඔවුන්ගේ මෙතෙක් පැවති රුධිර සීනි මට්ටම ඉහළ යෑම පාලනය වී අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය ද යළි නිසි ලෙස සිදුවන බව හඳුනා ගනු ලැබීය. ඒ අනුව සිරුරේ බර කිලෝ ග්‍රෑම් 70 ත් 80 ත් පමණ සහිත පුද්ගලයින්ට ආහාර පාලනය මගින් කිලෝ 10 ක් පමණ බර අඩු කිරීමෙන් සිරුරේ මේද මට්ටම අඩු කළ හැකි බව හඳුනාගනු ලැබීය. ඒ අනුව ඔවුනට අධික තරබාරුව නිසා මෙතෙක් පැවති ඉන්සියුලින් හෝමෝන ප්‍රතිරෝධය ආහාර පාලනය මගන් සිදුකරන සිරුරේ බර අඩු කිරීමෙන් පාලනය කළ හැකි බව තහවුරු වී ඇත. එවිට ඔවුනට සිරුරේ සීනි මට්ටම පාලනය සඳහා තවදුරටත් බාහිරින් මෙට්ෆොමින් ඖෂධ හෝ ඉන්සියුලින් ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවේ.

මෙම ප්‍රතිකාර නිසි වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය. එසේ නොවුණහොත් දැඩි ආහාර පාලනය නිසා මස් පිඩු ක්ෂය වී යෑම සිදුවිය හැකිය. ඉන් අක්මාවේ සහ අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය දුර්වලවීම සිදු වේ.

ආහාර පාලනයෙන් දියවැඩියාව සුව කිරීම

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment