ඇඳ ණයට යටවන කාන්තා විමුක්තිය හා ළමා සුරක්ෂිතතාව

892

ග්‍රාමීය ජනතාවගෙන් සියයට 82 ක් ආර්ථික අවදානම් තත්ත්වයකට පත්ව සිටින බවත් කාන්තාවන් මූලික කරගත් ගෘහ ඒකක බහුතරයක් අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලී තම කනකර පවා උකස් තබමින් දැඩි ආර්ථික අවපාතයක දිවිගෙවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සමීක්ෂණ ප්‍රතිපලයක් පෙරදැරිවය. අදාළ සමීක්ෂණය කුමක්ද යන්න පැහැදිලි නැතත්, හෙතෙම හෙළිදරව් කරන්නේ ශ්‍රී ලාංකේය සමාජයේ බරපතළ ඛේදවාචකයකි. බරපතළ සමාජ කඩාවැටීමකි.

මීට හේතුව ලෙස විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නොහොත් එනම් මාෆියාව නිසා ග්‍රාමීය ජනයා එහි ගොදුරක් බවට පත්වීමය. දැනටමත් රටේ මෙවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පවතින බව ප්‍රකාශ කරන විපක්ෂනායකවරයා පවසන්නේ මෙයින් බහුතරය නීතිවිරෝධී ආයතන බවයි. මෙවන් ක්ෂුද්‍ර ණය ගම්වල හඳුන්වනු ලබන්නේ “ඇඳ ණය” ලෙස බවද, මෙකී ණය ගෙවාගැනීමට නොහැකි වන විට ණය එකතු කරන්නන්ට ලිංගික අල්ලස් දීමට කාන්තාවන්ට සිදුව ඇති බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා ඇත නොහොත් යහන්ගත වන්නට සිදුවන නිසා “ඇඳ ණය” ලෙස හඳුන්වනවා දැයි පැහැදිලි නැත.

විපක්ෂනායකවරයා මේ මතුකර ඇත්තේ මෙරට ග්‍රාමීය ජනතාවටත් වඩා ග්‍රාමීය කාන්තාව මුහුණ දෙන තවත් එක්තරා බරපතළ කාරණයක් පිළිබඳව බව පෙනේ. බොහෝ ග්‍රාමීය පවුල්වල ගෘහ මූලිකත්වය කාන්තාව විසින් දරනු ලබන අතර, ඒ නැතත් ග්‍රාමීය පවුල් ඒකකවල ආර්ථික බර දරමින් පවුල් ඒකකය ඇදගෙන යනු ලබන්නේ කාන්තාව විසිනි.

එවන් විටෙක රටේ, ලෝකයේ අනෙකුත් කාන්තාවන් ලබන අවම පහසුකම් හෝ ලබාගැනීම සඳහා මෙන්ම, තම දරු පවුලේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඇය කුමන හෝ වැලක එල්ලී ආර්ථික අපහසුතා සමනය කරගන්නට වෙහෙසෙන අතර, ඇයට මෙහිදී හමුවන ළඟම හිතවතා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නමැති යක්ෂයාය. නැති බැරි අවස්ථාවේ අත මාරුවක් කරගන්නට සිටින මිතුරකු සේ පෙනුණත් සැබැවින්ම කල්යත්ම ලෙහෙසියෙන් ගෙවා නිමකරන්නට නොහැකි මේ ක්ෂුද්‍ර ණය මාෆියාව යක්ෂයකු බව ඇයට වැටහෙන්නේ මාස දෙක තුන ගතවන විටදීය. අවසානයේ කනකර උකස් කරද සම්පූර්ණයෙන්ම ගෙවා ගත නොහැකි මේ ණය උගුල වෙනුවෙන් විපක්ෂනායකවරයා කියන පරිදි අවසානයේ ලිංගික අල්ලස් දීමට සිදුවීමද නොවිය හැක්කක් නොවේ.

අප දන්නා පරිදි මේ ක්ෂුද්‍ර ණය යක්ෂයා ආකාර දෙකකින් ග්‍රාමීය ජනයා වෙත කඩා පනී. එකක් වන්නේ ෆිනෑන්ස් ක්‍රමයට ටී.වී. කැසට්, වොෂින් මැෂින්, රයිස් කුකර්, අර කට්ටල, මේ කට්ටල කිය කියා ගෑනුන්ගේ ඇඟේ ගැසීමය. දෙවැන්න කෙළින්ම ගිනි පොළියට දෙන “කෑෂ්” ය. කොළඹ හතේ පටන් හද්දා පිටිසර දඹානේ වැද්දන්ගේ පටන් වාකරේ-වෙරුගල් හි පිහිටි මුහුදු වැද්දන්ගේ අහස පෙණෙන කටුමැටි පැල්කොට තුළට පවා රිංගන මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන්නෝ සහ ෆිනෑන්ස්කාරයෝ එම ස්ථිර ආදායමක් නැති එම පවුල් හූරාගෙන කන එක රටේ මහා බරපතළ තත්ත්වයක් බව අප කියන්නේ කලක පටන්ය. ෆිනෑන්ස් ක්‍රමයට බඩු විකුණන ක්‍රමවේදයේ යම් අඩුවක් දැන් දක්නට ලැබුණත් ආර්ථික අපහසුතා ප්‍රයෝජනයට ගන්නා මේ යක්ෂයන් පැටවූ ගසමින් අද ග්‍රාමීය ජනයා හූරාගෙන කන එක රහසක් නොවේ.

නමුත් මෙවන් නීතිවිරෝධී මූල්‍ය ආයතන ලියාපදිංචි කරන්නට හා අධීක්ෂණය කරන්නට සමත් ආණ්ඩුවක් මෙරට බිහි නොවීම මහත් අභාග්‍යයකි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඉකුත්දා කියා තිබුණේ මෙවන් ආයතන අධීක්ෂණය සඳහා නීති ගෙන එන බවයි. නමුත් එය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමක් වන බව පෙනෙන්නට තිබෙන්නේ විපක්ෂනායකවරයා කියන පරිදි දිනෙන් දිනම කාන්තා සමාජය මුහුණ දෙන ගැටලු හා කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් දෙස බැලීමේදීය.

එනම්, හෙතෙම වැඩිදුරටත් හෙළිදරව් කරමින් කියා සිටින්නේ ඇඟලුම් කර්මාන්තශාලා 2000 ක් පමණ වැසී ගොස්, පසුගිය වසරේදී කාන්තාවන් ප්‍රමුඛ සේවකයන් 533,858 දෙනකුට රැකියා අහිමි වී ඇති බවයි. මේ අනුව රැකියා නියුක්තියේ සිටි කාන්තාවන්ගේ රැකියා අහිමිව දැඩි අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති බවද ඔවුන්ගේ පවුල්වල සුබසාධනය කඩා වැටී ඇති බවත්ය. මේ නිසා කුමන ක්‍රමයකට හෝ මුදල් සොයන්නට පෙළඹීම මගින් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. මේ අතර යුනිසෙෆ් වාර්තාවක් ගෙනහැර දක්වන්නේ රට තුළ ලක්ෂ 39 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව හා පවුල් කුටුම්භ 10,000 ක් දැඩි ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දී ඇති බවයි.

මේ අතර, ආණ්ඩුවේම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය පවසන ආකාරයට පසුගිය මාසයේදී පමණක් වයස අවුරුදු 15 ට අඩු දරුවන් 169 ක් අතවරයට ලක්ව, ඉන් දරුවන් 26 දෙනකු ගැබ්ගෙන ඇති බවත්, පසුගිය මාස 09 ක් තුළ දරුවන් 12 දෙනකු ඝාතනයට ලක්ව ඇති බවත්ය.

මෙවන් තත්ත්වයක් තුළ ග්‍රාමීය ආර්ථිකය පමණක් නොව, කාන්තාවන්ගේ හා ළමා සුරක්ෂිතතාව ගැන අපට කතා කරන්නට ඇත්තේ කුමන කතාවක්ද..? රට පත්වෙමින් තිබෙන තත්ත්වය අතිශය භයන්කරය. මේවා ආර්ථික බංකොලොත්භාවය යයි කියමින් වසාදමන්නට කිසිසේත් අපට නොහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment