ඇඹිලිපිටිය කඩදාසි කම්හලට  නැවත පණ දෙයි

653

ශ‍්‍රී ලංකාව වැටී තිබෙන තැනින ගොඩගන්න දේශීය හා විදේශීය
ආයෝජකයන් දිරිමත් කළ යුතුයි – කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක

දැනට ශ‍්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුයේ 09 වැනි දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙටි‍්‍රක් ටොන්

75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ. සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම අතර එම ගිවිසුම කොළඹ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී අද අත්සන් තැබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ලංකාවට එන ආයෝජකයන් අපි භාරගත යුතුයි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. අපි දැනට ජාත්‍යන්තර ව්‍යාපාර දර්ශකයේ ඉන්නේ 99 වන ස්ථානයේ. අපිට ඉන්දියාව, චීනය එක්ක තරග කරන්න බැහැ ඇත්තටම. අපිට සිටින ප‍්‍රධාන තරගකරුවන් තමයි සිංගප්පූරුව සහ හොංකොං. අපේ රටේ කෘෂිකාර්මික නොවන කර්මාන්ත තිබෙන්නේ 1035732ක් පමණයි. එයින් සේවකයන් 100කට වඩා ඉන්න ව්‍යාපාර තියෙන්නේ 2440ක් පමණයි. ඉතිරි සියයට 91ක ප‍්‍රමාණයක්ම ඉතා කුඩා ඒවා. දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම හා හැකි තරම් නව ව්‍යවසායකයන් බිහි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම කර්මාන්ත සංවර්ධනය සඳහා සියයට 1ක් 2ක් වගේ පොලියට මූල්‍යාධාර ලබා දීමට සමාගම් රැසක් අපට එකඟතාව පළකොට තිබෙනවා. මේවගේ විශාල වැඩකටයුතු ඉදිරියට කරගෙන යද්දි අපිට තර්ජන, ගර්ජන ඕනෑතරම් එන්නට පුළුවන්. ඒ අස්සේ ශ‍්‍රී ලංකාවට ආවේණික දුර්වලතා මුණගැසෙනවා. මේ සියල්ල හඳුනාගෙන කටයුතු කළ යුතුයි, යැයි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ‍්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න, අමාත්‍යාංශ නිලධාරීහු ඇතුළු පිරිසක් ද එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment