රාජ්‍ය ආයතනවල චක්‍රලේඛ ගහන නිලධාරීන්ට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නෑ…

පාසල් සංවර්ධන සමිතිවලට, සමුපාකාර සමිතිවලට රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් දෙනවා…

විශ්වවිද්‍යාලවල ඉංජිනේරු සිසුන්ට ප්‍රායෝගික පුහුණුව ලබාගන්න වැඩබිමක් නෑ…

දැනට මෙරට ක්‍රියාත්මක වෙන ඉදිකිරීම් ව්‍යාපෘති සියල්ල ම පිටරට ආධාරවලින්…

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමත් එක්ක ඉංජිනේරුවෝ 60%ක් මේ රට හැර ගිහින්…

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ භාණ්ඩ හා සේවා වියදම 100%ටත් වඩා වැඩි වෙලා…

සියලු ක්‍ෂේත්‍ර කඩා වැටී තිබෙන මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ද කොට උඩ ගොස් බොහෝ කාලයකි. රජය මැදිහත් වී කඩිනමින් ප්‍රතිකාරයක් නොකරන්න මුක්කු කැඩී පොළොවට ම පත බෑවෙන බව ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ අප සමග පැවසූහ. එහෙත් 2024 අයවැයෙන් ද මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නඟාසිටුවීමට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති ආණ්ඩුව උවමනාවෙන් ම එම කර්මාන්තයත් වළපල්ලට තල්ලු කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔව්හු අපට කීහ. මේ කතාව පෙළගැසෙනුයේ එම තොරතුරු මතය.

අනාදීමත් කාලයක සිට පැවැත එන මෙරට ඉදිකිරීම් කර්මාන්තය දෙඅංශයකි. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක වන සියලුම ඉදිකිරීම් රාජ්‍ය ඉදිකිරීම් යටතට අයත් වන අතර, නිවාස ව්‍යාපෘති, වාණිජ ගොඩනැඟිලි ඉදිකිරීම්, නිවසක හෝ මොන යම් ගොඩනැඟිල්ලක නඩත්තු කටයුතු සිදු කිරීම පෞද්ගලික අංශයේ ඉදිකිරීම් යටතට අයත් වේ. 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය වනවිට මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළ පැවැති දැවැන්ත පිබිදීම සමග මෙරට දළ ජාතික නිෂ්පාදනයට 8%ක 10%ක දායකත්වයක් ලබාදී ඇති බව ද වාර්තා වේ. කොවිඩ් වසංගතයෙන් මේ රට වෙළාගැනීමට පෙර ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ම රැකියාවල නිරතව සිටි පිරිස ලක්‍ෂ දොළහකට වැඩිය. ඒ අතර ඍජු රැකියා අවස්ථා ලක්‍ෂ හතාමාරකි. වක්‍ර රැකියා අවස්ථා ලක්‍ෂ පහකට වැඩිය. උගත්, නූගත් විවිධ තාරතිරම්වල පුද්ගලයෝ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටීයහ. රජයේ ආයතනයක ඉහළ නිලධාරියෙක් කියන මේ කතාව තුළින් එහි යථාර්ථය හොඳින් පැහැදිලි වේ.

“විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ වියදමට සල්ලි හොයා ගත්තෙ බිල්ඩිං හදන තැන්වල අත්උදව් දීලා. මම විතරක් නෙමෙයි, ඒ කාලේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත ගොඩක් ළමයි වැඩබිම්වල මේසන් බාස්ලට අත්උදව් දෙන, කොන්ක්‍රීට් අනන වැඩවල නිරත වුණා. ඒ ලැබෙන මුදලින් අපේ වියදම් පියවා ගෙන ගෙදරටත් කීයත් හරි දුන්නා. පිට පළාත්වලින් පැමිණ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ගොඩක් ළමයි දුප්පත් පවුල්වල දරුවෝ. ඒ ළමයි ඉගෙන ගන්න දහදුක් විඳිනවා. දැන් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයි ඒ වගේ ජොබ් කරනව ද දන්නෙ නෑ. ඉගෙන ගන්න කැමැති, ඒත් මුදල් නැති ළමයෙක්ට කීයක් හරි හොයා ගන්න දැන් ඉදිකිරීම් කෙරෙන්නෙත් නෑ. මේ රටේ සෑම කඩා වැටීමකින් ම පහර වදින්නෙ පොඩි මිනිස්සුන්ට විතරයි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමත් සමග මේ වෙනකොට ඉංජිනේරුවෝ 60%ක් විතර මේ රට හැර ගිහින්. ඉදිකිරීම් කොන්ත්‍රත්කරුවෝ මුදල් බැංකුවල දාගෙන කර්මාන්තය පණ ගහලා එනකම් බලාගෙන ඉන්නවා. විවිධ කාර්මිකයන්, අත්උදව්කරුවන් ජොබ් නැතිව නන්නත්තාර වෙලා තුට්ටුවට දෙකට කුලී වැඩ කරනවා. ඉදිරි කාලයේ දී මේ ක්‍ෂේත්‍රය පණ ගහලා ආවාත් ඉදිකිරීම් කරන්න මේ රටේ ඉංජිනේරුවෝ නෑ. දේශීය කොන්ත්‍රාත්කරුවෝ නැති වෙනවා. අන්තිමේ දී මේ කර්මාන්තයත් චීනයට, ඉන්දියාවට විකිණෙනවා. දැනටත් මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ චීනෙ, ඉන්දියාවේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් විතරයි. ඒ වැඩබිම්වල වැඩ කරන අත්උදව්කරුවගේ සිට බොහෝ වෘත්තිකයින් ඒ රටවල මිනිස්සු. ඒක අපේ රටේ ජනතාවට කරන විශාල අසාධාරණයක්…” නම සටහන් කිරීමට අකමැති වූ හේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අඳුරු පැතිකඩ සරලව පැහැදිලි කළේය.

එමෙන්ම ඔහු පෙන්වාදෙන ආකාරයට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමත් සමග විශ්වවිද්‍යාලවල ඉංජිනේරු උපාධි, හදාරන, පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ විවිධ උපාධි පාඨමාලා හදාරන ළමයින්ට මෙන්ම කාර්මික විද්‍යාලවල ළමයින්ට ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට තැනක් නැති තත්ත්වයට පත් වී තිබේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා අහිමිවීමත් සමග විශ්වවිද්‍යාල තුළින් ඉංජිනේරු උපාධිය ලබාගෙන පිට වන ළමයි නගරයේ ත්‍රීරෝද හයර් කරන තත්ත්වයට ගමේ කුලී වැඩ කරන තත්ත්වයට පත් වී සිටින බව ද වාර්තා වේ. කොළඹ ඉදිකිරීම් වැඩ බිම්වල විවිධ කාර්මික වෘත්තීය කටයුතුවල නිරත වෙමින් විශාල වේතන ලබමින් සිටි වෘත්තිකයන් මේ වනවිට ණයකාරයන් බවට පත්වී අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. එමෙන්ම අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් නොමැති විශාල පිරිසක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අත්උදව්කරුවන් ලෙස රැකියාවල නිරත වී සිටි බව සැබෑය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමත් සමග ඒ බහුතරයකට මේ වෙනකොට රැකියා අහිමි වී තිබේ. අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර ප්‍රදේශවල ජීවත්වන පිරිමි බහුතරය ගොවිතැන් කටයුතු අවසන් වීමෙන් පසුව ඉතිරි මාස කිහිපයේ දී කොළඹ ඉදිකිරීම් වැඩබිම්වල සේවය කිරීම පුරුද්දක් කරගෙන සිටීයහ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමත් සමග ඔවුන්ට ද රැකියා අහිමි වී තිබේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත කඩා වැටීමත් සමග ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, වැඩ පරීක්‍ෂකවරු, විවිධ කාර්මික නිලධාරීන්, අත්උදව්කරුවන් පමණක් නොව, නැකත් හදන කෙනා දක්වා විශාල පිරිසකගේ ආදායම් මාර්ග අහිමිවී තිබෙන බව වාර්තා වේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමේ හානිය ප්‍රබලව දැනෙනුයේ කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලට ජීවත්වන ජනතාවට නොව, ඈත ගම්මානවලින් කොළඹට පැමිණ වැඩබිම්වල සේවය කළ අසරණ මිනිසුන්ට ය. ඒ දිළිඳු පවුල්වලට ය.

එමෙන්ම ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අමුද්‍රව්‍ය සැපයීමට වෙනම සැපයුම් ජාලයක් තිබිණි. කුඩා සැපයුම් කර්මාන්ත විශාල සංඛ්‍යාවක් රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබිණි. මේ වෙනකොට එම සැපයුම් ජාලය ම කඩා වැටී තිබේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අමුද්‍රව්‍ය සැපයූ වෙළෙඳ සල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට වසා දමන තත්ත්වයට පත් වී ඇති බව ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේකෝන් ද අප සමග පැවසුවේ ය. එමෙන් ම මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමට විවිධ හේතු රාශියක් බලපාන බවද හේ අපට පැහැදිලි කළේය.

“පවතින ආර්ථික අර්බුදය පටන් ගන්න ඉස්සෙල්ලා ගොඩක්ම ව්‍යාපෘතිවලට මුදල් වෙන් වෙලා තිබුණා. ඒ මේ රටේ මුදල් නෙමෙයි, විදේශීය ණය, ආධාරවලින් ලැබෙන මුදල්. අන්තිමේ දී ඒ වෙන් වෙච්ච මුදලත් අදාළ ව්‍යාපෘතිවලට මදි වෙලා තියෙනවා. ඒ ගැටලු මතු වුණේ ඩොලරයේ අගය වැඩිවීමට පෙර. අමුද්‍රව්‍ය මිල වැඩිවීමට පෙර. ඒ නිසා අපේ රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කඩා වැටීමට කොවිඩ්, ආර්ථික අර්බුදය විතරක් නෙමෙයි, මේ ක්‍ෂේත්‍රයේ දැවැන්ත ඉදිකිරීම්කරුවනුත් වගකියන්න ඕනෑ. ඒ වගේ ම පවතින ආර්ථික ආහේනිය තුළ ආනයනික භාණ්ඩ විතරක් නෙමෙයි, රට තුළ තිබුණු භාණ්ඩවල මිලත් වැඩි වුණා. මිල ඉහළ දැමීම වෙළෙඳපොළ මාෆියාවක් බවට පත් වුණා. විශේෂයෙන් ම මෙරට සිමෙන්ති මිල 850ට තිබුණු කාලේ අලුතින් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. ‘මෙරට සිමෙන්ති මිල ගොඩක් අඩු වෙනවා’ කියලා ඒ කර්මාන්ත ශාලාව තුළින් බොරු මතයක් රට තුළ පැළ කළා. ඒ ව්‍යාජ ප්‍රචාරයන් තුළින් මෙරට සිමෙන්ති හිඟයක් නිර්මාණය වුණා. අන්තිමේ මිනිස්සු වැඩි මිලට සිමෙන්ති ගන්න පෙළඹුණා. ඒ මාෆියාවත් එක්ක වෙළෙඳපොළේ සිමෙන්ති මිල ටිකෙන්, ටික 3200ට වැඩි කළා. ඊට සාපේක්‍ෂව ඉදිකිරීම්වලට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍යවල මිලත් අසාමාන්‍ය විදිහට වැඩි වුණා. අන්තිමේ අපි සිමෙන්ති මිලදී ගන්නෙ නැතිව ගියා. ඊට පස්සේ තමයි ටිකෙන්, ටික සිමෙන්ති මිල අඩු කරලා 2150ට තියාගෙන ඉන්නෙ. මේ මිල තව අඩු වෙන්න ඕනෑ. ඒ වගේම විදුලි බිල වැඩිවීමත් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට දැවැන්ත ගැටලුවක්. කාර්මික ශිල්පීන්, අත්උදව්කරුවන් නතර වී සිටින මඩුවකට බල්බ් එකක් දාලා කරන්ට් එක දී ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. විදුලි බිල වැඩිවීමත් එක්ක යකඩ පෑස්සුම්කරුවන්ට වෘත්තීය කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා…” ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම්වරයාගේ කතාවට අපි විරාමයක් තැබුවෙමු.

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙත් ලක්ෂ හතකට රස්සා නැති වෙලා ගෙවල් දොරවල් බිල්ඩින් හදලත් ඉවරයි!

2018 වර්ෂය වනවිට 178ට පැවැති ඩොලරයේ අගය මේ වනවිට 326ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල් 87ට පැවැති ඩීසල් ලීටරය මේ වෙනකොට 326ක් දක්වා මිල ඉහළ ගොස් ඇත. රුපියල් 800ට තිබුණු සිමෙන්ති කොට්ටය දැන් මිල 2150කි. රුපියල් එක්ලක්‍ෂ විසිහය දහසට තිබුණු යකඩ ටොන් එක දෙලක්‍ෂ හැටපන්දහස දක්වා මිල වැඩි වී තිබේ. රුපියල් 12,000ට තිබුණු වැලි කියුබ් එක දැන් රුපියල් 30,000කි. විදුලි උපකරණ, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ හා සේවා මිල 2019 අවුරුද්දට සාපේක්‍ෂව 100%ටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිම චීනය හෝ වෙනත් රටකට හැර මෙරටට ව්‍යාපෘති කිරීමට නොහැකිය. එමෙන් ම මෙරට බහුතරයක් වූ පුරවැසියන්ට නිවාස සිහින සැබෑ කරගැනීමට නොහැකිව පංචස්තාප වෙමින් සිටිති.

2019 වර්ෂය වනවිට කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටි 6000ට වැඩි ඉදිකිරීම්කරුවන් සංඛ්‍යාව මේ වෙනකොට 3000ට වඩා අඩු වී තිබේ. එමෙන්ම පෞද්ගලික ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබේ. එවැනි පසුබිමක මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ආරක්‍ෂා කරගැනීමට හතු පිපෙන තරමට සංගම් පිහිටුවා ගෙන සිටින බව ද පෙනේ. දේශපාලන න්‍යාය පත්‍රවලට ක්‍රියාත්මක වූ එම සංගම්වල නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තවත් අගතියට පත් වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩැරින්ටන් පෝල් මහතා අප සමග පැවසුවේ ය. එමෙන් ම මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අත්ව ඇති ඉරණම ගැන හේ දුක හිතෙන කතාවක් කීවේය. මේ ඒ කතාවය.

“2021, 2022 අවුරුදුවල කරපු ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන්න පටන්ගත්තෙ 2023 අවුරුද්දෙ ජනවාරි, පෙබරවාරි මාසවල. බැංකුවලට ණය වෙලා කොන්ත්‍රාත් කරගෙන ගිය ඉදිකිරීම්කරුවන්ට ඒ ණයවලට අවුරුදු එකහමාරක්, දෙකක් අමතර පොලී මුදලක් ගෙවන්න වුණා. ගෙවිය යුතු පොලිය 30%ක් දක්වා වැඩි වුණා. සමහර කොන්ත්‍රාත්කරුවන් බැංකු ණය ගෙවන්න ඉඩම්, වෙනත් දේපළ විකුණන තත්ත්වයට පත් වුණා. ඒ අල්ලපනල්ලේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 01 වැනිදා ක්‍රියාත්මක කරපු සමාජ ආරක්‍ෂණ බද්ධ නිසා 2.5% ක බද්ධකුත් අපිට ගෙවන්න වුණා. භාණ්ඩයෙන් භාණ්ඩයට, සේවාවෙන් සේවාවට බදු ගෙවන්න සිද්ධ වෙලා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් වුණේ. අපේ ඉදිකිරීම්කරුවෝ දැඩි මූල්‍ය අර්බුදයකට පත් වුණා. එවැනි අර්බුදකාරී තත්ත්වයක, රට තුළ ඉදිකිරීම් නොමැති අවස්ථාවක කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වෙලා සිටින සුළු පරිමාණයේ, මධ්‍ය පරිමාණයේ ඉදිකිරීම්කරුවන් 3000කට නොදී පාසල්වල ඉදිකිරීම් ව්‍යාපෘති පාසල් සංවර්ධන සමිතිවලට කරගෙන යන්න දෙනවා. සමහර රජයේ ඉදිකිරීම් ව්‍යාපෘති සමුපාකාර සමිතිවලට බෙදලා දෙනවා. ඒ දේවල් කරන්නේ අදාළ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ කැමැත්ත මත. ඔවුන්ට වාසි වෙන විදිහට. වැඩි වාසි ගැනීමට ඕන නිසා ප්‍රමිතිගතව එම ගොඩනැඟිලි අලුත්වැඩිය කරන්නෙත් නෑ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ගොතටුවේ පාසල් ගොඩනැඟිල්ලක් කඩාගෙන වැටිලා දරුවෙක් නැති වුණේ…”

“දැනට මේ රට තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘති 20%ත් අඩුයි. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙත් විදේශීය ආධාර යටතේ. ඒ ව්‍යාපෘති කිහිපය හෝ මේ ක්‍ෂේත්‍රයේ සිටින කර්මාන්තරුවන් අතර බෙදී යන ක්‍රමයක් නිර්මාණය කරන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා රජයෙන් ඉල්ලීම් කළා. කොච්චර රජයට කිව්වත් අපිට ඇහුම්කන් දෙන බවක් පේන්න නෑ. රාජ්‍ය ආයතනවල චක්‍රලේඛ ගහන නිලධාරීන්ට මේ ක්‍ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නෑ. වැරැදි පරිපාලන ක්‍රමය සහ දේශපාලන ක්‍රමය නිසා මේ රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නන්තත්තාර වෙලා තියෙනවා. ඒ වගේම අලුත් බදු ප්‍රතිපත්තියත් සමග ලබන ජනවාරි මාසේ ඉඳලා පෞද්ගලික අංශයේ ඉදිකිරීම් නැවත කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයත් ප්‍රවර්ධනයක් වෙන්නෙ නෑ. විදේශීය ආයෝජකයෝ මේ රටට එන්නෙත් නෑ. එවැනි තත්ත්වයක් තුළ 2024 වර්ෂය වෙනකොට මේ රටේ ආර්ථිකය කොහේට යයි ද කියලා දෙයියො තමයි දන්නෙ…”

මුළු ලෝකය ම වෙළාගත් කොවිඩ් වසංගතයත් සමග බොහෝ රටවල් ආර්ථික අතින් කඩා වැටුණු බව සැබෑය. එහෙත් බොහෝ රටවල් මේ වනවිට එකී ආර්ථික අර්බුද තුළින් නිදහස් වී ඇත. අසල්වැසි රටවල් වන ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල ඉදිකිරීම් කර්මාන්තයේ දැවැන්ත දියුණුවක් පෙන්නුම් කෙරේ. රටක ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ යම් පිබිදීමක් ඇති නම් එරට තුළ යටිතල පහසුකම් සංවර්ධනය වේ. දේශීය, විදේශීය ආයෝජකයන් එරට තුළ විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවට සුබ පණිවිඩයක් සමාජගත වේ. එහෙත් 2020 වර්ෂයේ සිට 2022 වර්ෂය වනවිට 80%න් කඩා වැටුණු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පිබිදීමක සේයාවක් හෝ නොපෙනේ. කොවිඩ් වසංගතයේ සිට ආර්ථික අර්බුදයත් සමග කඩා වැටුණු මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නැංවීමට දේශපාලනඥයන්ගේ මැදිහත් වීම සහ අදාළ නිලධාරීන්ගේ මැදිහත් වීම ද බින්දුවකි. මෙරට ඉදිකිරීම්කරුවන්ව ගෝනියක් තුළට දමා පොළොවේ ගසන තත්ත්වයට විවිධ බදු අය කරන බව ද සැබෑය. කොන්ත්‍රාත් ව්‍යාපෘතිවල මුදල් ලබාදීම් අවුරුදු ගණන් ප්‍රමාද කරන්නේය. එවැනි පසුබිමක ඉදිකිරීම් ක්‍ෂේත්‍රය නියාමන ආයතනය වන කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වගකීම් පැහැර හරිමින් මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කුණු කූඩයට දමා ඇති තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එවැනි කාලකණ්ණි පසුබිමක මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට ද අබ සරණය. එම ක්‍ෂේත්‍රයේ සේවය කළ ලක්‍ෂ දොළහකට ආසන්න සේවක පිරිසට දෙවියන්ගේ ම පිහිටය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment