ඉන්ධන නැතුව ජනතාව මහ පාරටම – මාර්ග වසා තැන තැන විරෝධතා

133

වාහන නැතිව වැඩට යන අය අසරණ වෙති
පාසල් දරුවොත් අතරමං වෙති
ෂෙඩ් ළඟ දිගු පෝලිම්
එළවළු – මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදීමත් කොට උඩ


ඉන්ධන තොග සීමා වීමත්, ඉන්ධනහල් හිමියන් ඇණවුම් සීමා කිරීමත් යන කාරණා මත රටපුරා ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වීම නිසා කොළඹ මෙන්ම අනෙකුත් නගරවල ඇකැම් ජනතාව මාර්ග අවහිර කර විරෝධතා පළ කිරීම නිසා ඊයේ කොළඹ (15 දා) ඇතුළු ස්ථාන ගණනාවක දැඩි නොසන්සුන්තාවක් ඇති විය.

පෙට්‍රල් හා ඩීසල් නොමැති වීම නිසා ඊයේ (15වැනිදා) දිනයේ රටේ එදිනෙදා කටයුතු අඩපණව තිබූ අයුරු ද දක්නට ලැබිණ.

රාජකාරි කටයුතුවලට යන අයට යතුරුපැදි, මෝටර් රථ සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීමත් අවශ්‍ය තරම් මගී බස් රථ ධාවනය නොවීමත් නිසා බොහෝ අයට රාජකාරියට වාර්තා කිරිමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි.

මේ අතර පාසල් වෑන්රථ සඳහා ඉන්ධන නොමැතිව පාසල් දරුවන් පාසල් වෙත රැගෙන යෑමට නොහැකි තත්ත්වයක් ද ඇතැම් ප්‍රදේශවල ඇති විය. ගම්බද ප්‍රදේශවල මාර්ගවල බස්රථ ධාවනය නොවන නිසා බොහෝ දරුවන් පාසල්වලට නොයවා නිවසේ දරුවන් තබා ගැනීමට දෙමාපියන්ට සිදුවිය.

කොළඹ නගරයේ ඉන්ධනහල් අසල දින දෙක තුනක් තිස්සේ වාහන නවතාගෙන පෝලිම්වල බලා සිටි අයට ඊයේ (16 දා) දිනයේත් ඉන්ධන නොලැබීම නිසා ඔවුහු පාරවල් වසා දමා ඉන්ධන ඉල්ලමින් කලබල කරන්නට වූහ.

ඒ සමගම පොලිස් නිලධාරීන් පැමිණ පිරිසට කරුණු පහදා දී තත්ත්වය පාලනය කරන අයුරු ද දක්නට ලැබිණ. ග්‍රෑන්ඩ්පාස් සහ ආමර්වීදිය, පංචිකාවත්ත හා කොටහේන, දෙමටගොඩ, ගල්කිස්ස. දෙහිවල, කොළඹ – මහනුවර මාර්ගයේ මෙන්ම ගාලු පාරේ පිහිටි ඉන්ධනහල් ආශ්‍රිත මාර්ග කිහිපයක්ම මෙම විරෝධතා නිසා ඊයේ පෙරවරුවේ අවහිර වී තිබිණි. පොලිසිය මැදිහත් වී කරුණු පහදා දීමෙන් පසු අවහිර වී තිබූ පාරවල් යළි ගමනාගමනය සඳහා විවෘත කෙරිණි.

කෙසේ වෙතත් මෙම විරෝධතා නිසා මාර්ග අවහිර වීම නිසා මගී බස්රථ ඇතුළු අනෙකුත් වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට සිදු විය.

ඉන්ධන අරපරිස්සමින් භාවිතා කිරීමට උත්සාහ ගත් අයගේ ඉන්ධන මෙවැනි විරෝධතා හමුවේ නිස්කාරණේ අපතේ යන බවට ද ඇතැම් රියැදුරන් දෝෂාරෝපණය කරන ආකාරය ද දක්නට ලැබිණි.

මේ අතර ඉන්ධන හිඟය නිසා එළවළු, මාළු හා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි.

ත්‍රිරෝද රථ හා යතුරුපැදිකරුවන් ද පෙට්‍රල් මිලදී ගැනීමට ඉන්ධනහල් අසල දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබිණ.

පෙට්‍රල්, ඩීසල් පමණක් නොව භූමිතෙල් හිඟය ඊයේ වනවිට උග්‍ර අතට හැරී තිබිණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment