ඔබට ලැබෙන්නේ ඔබේ දෛවයේ ලියා ඇති දේ මිස වැඩි දෙයක් නොවෙයි – මොහොමඩ් සිරාජ් කියයි

1176

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව සිය ප්‍රතිවාදී ශ්‍රී ලංකාව ලකුණු 50කට සීමා කිරීමෙන් පසු ඉන්දීය පන්දු යවන්නා වූ මොහොමඩ් සිරාජ් කියා සිටියේ

“සිහිනයක් සැබෑ වූවා වැනි හැඟීමක් තමාට දැනුනු බවයි. “ඔබට ලැබෙන්නේ ඔබේ දෛවයේ ලියා ඇති දේ මිස වැඩි දෙයක් නොවේ, ඔබ කොතරම් උත්සාහ කළත් එය වෙනස් කරන්න බැහැ. එබැවින් සරලව කටයුතු කිරීම මගේ හැටි” යැයි සිරාජ් පැවසුවේ ආසියානු කුසලාන අවසන් තරගයේ තරගයේ වීරයා බවට පත්වීමෙන් පසු ඒ ත්‍යාග මුදල ක්‍රීඩාංගණ සේවක මඬුල්ලට පරිත්‍යාග කිරීමෙන් පසුවය.

ඇත්තෙන්ම සිරාජ්ගේ ක්‍රිකට් ගමන පුරා දිව යන්නේ සිහිනයකි. පැරණි හයිද්‍රාබාද්හි තදබදයෙන් පිරුණු ප්‍රදේශයක සිට රික්ෂෝ රියැදුරෙකුගේ පුතෙක් ලෙස උපත ලැබූ ඔහු ජීවන දුෂ්කරතා සමඟ පොරබදමින්, තමාට ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගැනීමට වෙහෙස මහන්සි වී තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන තරග දින්වන්නෙක් බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකා ඉනිමේ 4 වන පන්දු වාරය යැවීමට පැමිණි මොහොමඩ් සිරාජ් විසින් එම පන්දු වාරයේදී කඩුලු 4ක් දවා ගනු ලැබුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින්ය. සිරාජ් විසින් එම පන්දු වාරයේදී ලකුණු 4කට කඩුලු 4ක් දවා ගැනු ලැබීය. පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාගේ කඩුලු ද මොහොමඩ් සිරාජ් විසින් එම පන්දු වාරයේදී දවා ගනු ලැබීය. තරගයේ 6 වන පන්දු වාරයේදී මොහොමඩ් සිරාජ් විසින් නායක දසුන් ශානක ගේ කඩුල්ලද දවා ගන්නා ලදී. ඉන් පසුව 12 වන පන්දු වාරයේදී සිරාජ් විසින් ලකුණු 17ක් රැස් කර ගෙන සිටි කුසල් මෙන්ඩිස් ගේ කඩුල්ල දවා ගනු ලැබීය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට ස්ථාවර වීමට කිසිදු අවස්ථාවක් නොදුන් ඉන්දීය වේග පන්දු බල ඇණිය විසින් පන්දු වාර 15.2 කදී ලකුණු 50 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවා ගනු ලැබීය. මොහොමඩ් සිරාජ් විසින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අවසන් මහා තරගයේදී ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගන්නා ලදී. එමෙන්ම මෙම පන්දු යැවීම ආසියානු කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවන හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් අතරට එක්විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ කිසි දිනක නිහඬ නොවන පැපරේ කණ්ඩායම්ද සිය වාදනය නැවැත්වූයේ සිරාජ් ගේ පන්දු යැවීම නිසා බවයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment