ඔව්! වතුකරයේ අයිතිය රකින්න මම ජිනීවා යනවා – ඇමැති ජීවන් තොණ්ඩමන්

126

සංහිඳියාව ඇති කරන්න හැමෝගෙම සහය ඕනෑ

කාටවත් මේ රට බෙදීමේ වුවමනාවක් නෑ

මෙරට වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ජ්‍යාත්‍යන්තර රාජ්‍ය සේවා (Public Services International) සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීම ලබන මාසයේදී සිදුකරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නායක හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කරයි.

“මට තියන එකම අරමුණ මගේ ප්‍රජාව එනම් වතු ජනතාවට අයත් අයිතීන් ළඟාකර දීම. වසර 200ක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා, දහඩිය, ලේ, කඳුළු වගුරමින් අපේ රට සංවර්ධනය කරන්න මහඟු කාර්යයක් ඉටුකරන වතු කම්කරු ප්‍රජාව තවමත් අපේ රටේ සමහර අය සලකන්නේ පිටස්තරයන් හැටියට. අපිව ඉන්දියානුවන් විදිහට දකින අයට තේරෙන්නේ නැහැ අපි ඉන්දියානු සම්භවයක් තියන දෙමළ ජනතාව කියලා. අපි ඉන්දියානුවන් නෙවෙයි; අපි ශ්‍රී ලාංකිකයන්. අපිව මෙරටට ගෙනවිත් අවුරුදු 200ක් ගත වුණත් තාමත් උඩරට දෙමළ ජනතාවට සිදුවන අසාධාරණයන්වල වෙනසක් නැහැ. අද වන විට අපි රජයෙන්, සමාගම්වලින් ඇතුළු සියලුම ජනතාවගේ අසාධාරණයන්ට මුහුණ දෙනවා,” යැයි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා “ඉරිදා දිවයින සංග්‍රහය” සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.

“ජිනීවාවලදී ශ්‍රී ලංකාව සහ දෙමළ ජනතාව ගැන කතා කරනවිට අවධානය යොමු වෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත. එයාලා අපි ගැන කතා කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙන්නේ යුද්ධ ගැන විතරක් අවධානය යොමුකරන්න නෙවෙයි; ලෝකය පුරා සිදුවන අසාධාරණයන් ගැන හොයලා බලනවා. ශ්‍රමය සූරාකෑම ඇතුළු තවත් බොහෝ අසාධාරණයන්වලට අපේ ජනතාව දිගින් දිගටම මුහුණ දෙනවා. ඒ ඛේදජනක යථාර්ථය ගැන ලෝකයටම කියන්න පුළුවන් වේදිකාවක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන සැබෑ තත්ත්වය ගැන ජ්‍යාත්‍යන්තර දැනුවත් වුණොත්, ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම නැවැත්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න මෙරට පෞද්ගලික අංශයට බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙනවා. අපි ජිනීවා යන්නේ වතු සමාගම්වල ආදායම් කඩාකප්පල් කරන්න නෙවෙයි. වැඩ වර්ජන හෝ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන සෑම අවස්ථාවකම වතු සංගම් වශයෙන් අපට කියන්නේ ආර්ථිකයට හානියක් වන කිසිවක් කරන්න එපා කියලා. රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අපිට තේරෙනවා. ඒ වුණාට ඒ වෙනුවෙන් කිසි සැලකිල්ලක් නොලබන මිලියන 1.5 ක ජනතාවක් බිල්ලට දෙන එක අනුමත කරන්න බැහැ,” අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය: ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම සැසිවාරයක් මේ වන විට පැවැත්වෙනවා. එම කවුන්සිලය දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව යන බව තමයි පෙනෙන්නේ. ඒ අතරතුර ඔබේ මේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නේ කොහොමද?

පිළිතුර – අපි යන්නේ මානව හිමිකම් කවුන්සිලයට නෙවෙයි. මම යන්නේ PSI කම්කරු සමුළුවට සහභාගි වීමට සහ ලෝක ආර්ථික සංසදය, ILO සහ ජිනීවාහි සිටින අනෙකුත් පාර්ශ්වකරුවන් හමුවීමට. ජිනීවා කියන්නේ ශ්‍රී ලංකාවට එරෙහි නගරයක් කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මම හිතන විදිහට ජිනීවා කියන්නේ භූ-දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක්. අපි කැමති වුණත් නැතත් මේ රටේ යුද්ධයක් තිබුණා කියලා පිළිගන්න වෙනවා. සොල්දාදුවකු වේවා, ත්‍රස්තවාදියකු වේවා, බෙදුම්වාදියකු වේවා, දෙපාර්ශ්වයේම ජීවිත අහිමි වුණා. යුද්ධයකදී ජයග්‍රාහකයන් හෝ පරාජිතයන් නැහැ. අපේ පළමු යුතුකම තමයි අහිමි වූ ජීවිත පිළිගැනීම. සංහිඳියාව ඇති කිරීම සහ සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අප සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ සම්බන්ධයෙන් වත්මන් රජය ගන්න ක්‍රියාමාර්ගයන් පිළිගත යුතුයි. වත්මන් ආණ්ඩුව විවිධ පක්ෂවල සහය ඇතිව ගොඩනැඟුණු හවුල් ආණ්ඩුවක්. ඒ නිසා පසුගිය ආණ්ඩුවල ක්‍රියා සම්බන්ධයෙන් අපට වගකියන්න බැහැ.

2015 වසරේ ඉදිරිපත් කළ යෝජනාවලින් 19%ක් හෝ 20%ක් අපි අවසන් කරලා තිබෙනවා. සංහිඳියාව මෙන්ම සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුවල ක්‍රියාවලට වත්මන් ආණ්ඩුවට වගකිව නොහැකි බව මානව හිමිකම් කවුන්සිලය තේරුම් ගන්න ඕනෑ. මේක අපි හැමෝගෙම ජාතික ආණ්ඩුවක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වන විට එක්සත් ජාතික පක්ෂයේ හිටපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු පමණයි. ඔහුට විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණා රහස් ඡන්දයකදී. ඉතින් කොහොමද කියන්නේ එයාව ජනාධිපති කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ SLPP විතරයි කියලා? සමගි ජන බලවේගයේ SJB කවුරුත් ඔහුට ඡන්දය දුන්නේ නැද්ද? දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙක් ඔහුට ඡන්දය දුන්නේ නැද්ද? අන්තිමේදී බහුතර මන්ත්‍රීවරුන් තීරණයක් ගත්තා ඔහුව ජනාධිපති කරන්න. එතුමාට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොවන බව මට හොඳටම විශ්වාසයි. ඡන්දය දීපු සමහර මන්ත්‍රීන් ආණ්ඩුවට එක් වුණත් තමන් දරන දේශපාලන නිලතල නිසා එක් නොවුන පිරිසකුත් ඉන්නවා. එයාලත් අවසානයේ ඇවිත් එකතු වෙයි. සංහිඳියාව ඇති කරන්න ජනපති අරමුණක් තිබ්බත් එය ක්‍රියාත්මක කරන්න සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. මම හිතන්නේ නැහැ ලංකාව බෙදීමේ අවශ්‍යතාවයක් කාටවත් තියනවා කියලා. හැමෝටම අවශ්‍ය රට එක්සත් කරන්න. අවාසනාවකට, තමන්ගේ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට ගැටුම් සහ මතවාද ඇති කරන සමහර දේශපාලනඥයන් පිරිසක් තාමත් ඉන්නවා. නමුත්, සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මානව හිමිකම් කවුන්සිලය පිළිගත යුතුයි. අපි සංහිඳියාව සම්පූර්ණයෙන් ළඟාකරගෙන නැහැ, නමුත් අපි ඒ මාර්ගයේ ඉදිරියට යනවා.

ප්‍රශ්නය: ඔබ ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන ගැටලු/ කරුණු මොනවාද?

පිළිතුර – අපි මූලික අවධානය යොමුකරන්නේ තේ වතුවල සේවය කරන කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑම ගැන. මේක දිගටම වුණොත්, මේ ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාවි. සෑම සේවකයකුටම රුපියල් 1,000ක එනම් ඩොලර් 3.50ක් දෛනික වැටුපක් ලැබෙනවා. සමාගම් මේ මුදල ගෙවන්නේ කම්කරුවෙක් තේ දලු කිලෝ 20ක් නෙළුවොත් පමණයි. ඊට වැඩියෙන් වැටුපක් ගෙවන්න කැමති නැහැ ඒක තිරසාර නැහැ කියලා. කම්කරුවෝ දුක් විඳිද්දී සමාගම විතරක් පවත්වාගෙන යෑමේ තේරුම මොකක්ද? මගේ ඉලක්කය මේ ගැටලුව ඉස්මතු කරන එක, මොකද රජයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයට සහ මහජනතාවට මෙම ප්‍රජාව කෙරෙහි වගකීමක් තියනවා.

ප්‍රජා අයිතිය අහිමි වුණ මේ ජනතාව වෙනුවෙන් වාර්ෂිකව වෙන්කරල තියෙන්නේ රුපියල් බිලියන 3ක සොච්චම් මුදලක්. ඉඳල හිටල ගෙවල් කිහිපයක් හදලා දෙනවාට වඩා වැඩි පුළුල් විසඳුමක් අවශ්‍යයි. ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය උපකාර ලබාදිය යුතුයි. ජිනීවා යෑමේ අපේ මූලික අරමුණ තමයි ජාත්‍යන්තර ප්‍රජාවට මේ අසාධාරණය පෙන්වා දීම. අපේ ප්‍රජාව අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් ලබාදී ඇති දායකත්වයට පිළිගැනීමක් සහ ගෞරවය ලබාදීම අපි අපේක්ෂා කරනවා.

ආණ්ඩුවලිනුයි සමාගම් වලිනුයි අපිට යහපතක් වෙලා නැහැ. කිලෝ 20ක් 30ක් නෙළන සෑම සේවකයකුටම අවම වැටුපක් දෙන බව කිව්වත් ඒක කොළඹ ඉන්න සමාගම් හිමියන් නැත්නම් ප්‍රධාන විධායක නිලධාරීන්ට තේරෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත්, ප්‍රධාන විධායක නිලධාරියෙක් කළමනාකරුට කියන්න පුළුවන් මේ මාසේ ඉලක්කය කිලෝ 20,000 ක් ලබා ගැනීම කියලා. එතකොට කළමනාකරු ඒ ඉලක්කය සපුරා ගන්නේ කොහොමද? ඔහු ඒ කිලෝ 20,000 ලබාගන්න කම්කරුවන්ගෙන් අවසන් ලේ සහ දහඩිය බින්දුව දක්වා වැඩ ගන්නවා.

ඔව්! වතුකරයේ අයිතිය රකින්න මම ජිනීවා යනවා - ඇමැති ජීවන් තොණ්ඩමන්

වැඩ කරන තාක්කල් කම්කරුවන්ට ගෙවල් ලබාදෙනවා. සමාගමට අයිති දේපළක් කියලා අවුරුදු 20කට වඩා ජීවත්වෙලා හිටපු ගෙවල් පවා කම්කරුවන්ගේ ආපහු පවරාගත්ත අවස්ථාවන් ඕනෑ තරම් තියනවා. කම්කරුවාට අවුරුදු 60 පිරුණාම පවුල පිටින් ගෙවල් වලින් ඉවත් කරන්න සමාගමේ කළමනාකරුට බලය තියෙනවා. සමාගමේ ස්ථාවරය තමයි ‘ඔබට තව දුරටත් වැඩකරන්න බැරිනම්, ඔබ ඉපදුණු වත්තේ පවා ඔබට ඉන්න බැහැ’ කියන එක. මේ තත්ත්වය වෙනස් කරන්න විවිධ සාකච්ඡා සහ ගිවිසුම් රැසක් අත්සන් කරලා තියනවා දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ ඉඳන්. මං හිතන්නේ ගිවිසුම් 400කට වඩා තියෙනවා. ඒ වුණාට, ගැටලුවත් තාම තියනවා. වතු කම්කරුවන්ට වැසිකිලියක් හදන්න පවා සමාගම් ඉඩ නොදීපු අවස්ථා තියනවා. මේක මොනතරම් අමානුෂිකද?

මං කියන්නේ සමාගම්වලට බනින එක නෙවෙයි, කර්මාන්තය පැවතුනොත් තමයි ඔවුන්ටත් පැවැත්මක් තියෙන්නේ කියන එක ඔවුන්ට අවබෝධ කර දෙන්න ඕනේ. ඒ නිසා ඔවුන් කම්කරුවන්ට ගෞරවයෙන් සලකන්න ඕනේ. මීට වසර 20 කට කලින් කම්කරුවන් 535,000 ක් සිටියත් අද 135,000 දක්වා අඩුවෙලා තියනවා. වතු කම්කරුවන් 400,000 ක් පමණ ගොවිතැනට හෝ ගෘහ සේවයට නැත්නම් නුපුහුණු සංක්‍රමණික කම්කරුවන් ලෙස රැකියාවට ගිහිල්ලා. ඒ, ඔවුන්ට සාධාරණ වැටුපක් සහ ආත්ම ගෞරවයක් ලැබෙන නිසා. වතු කම්කරුවන්ට සලකන්නේ වහල්ලුන්ට වගේ. වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් රටේ ධනවත්ම කොටස බවට පත් වෙද්දී කම්කරුවෙක් තමන්ගේ වැටුප ඩොලර් එකකින් වැඩි කර ගන්න සටන් කරනවා. සමාගම් ලාභ ලැබුවත් කම්කරුවන්ට කිසි ප්‍රතිලාභයක් නැහැ. කම්කරුවකු දිනකට තේ දලු කිලෝ 20ක් නෙළා ගන්න ඕනේ රුපියල් 1000ක වැටුපක් ගන්න. කිලෝ 23ක් ගෙනත් දෙනවා කියමු. කලින් දවසේ තෙතමනය තිබ්බා කියලා කළමනාකරු කිලෝවක් කපනවා, කූඩයේ බරට කිලෝග්‍රෑම් දෙකක් කපනවා. ඇත්තටම කූඩයේ බර ග්‍රෑම් 400ක් හෝ 500ක් පමණයි. කර්මාන්තශාලා හිඟයක් තිබ්බොත් තවත් කිලෝවක් කපනවා. අන්තිමේදී, කම්කරුවා ළඟ තියෙන්නේ කිලෝ 19 යි. ඒ නිසා සම්පූර්ණ දෛනික වැටුප ලැබෙන්නේ නැහැ. මේ හේතු සියල්ලම කම්කරුවාගේ පාලනයෙන් තොරයි. කෙසේ වෙතත්, කපා හරින තේ ප්‍රමාණයත් අවසන් නිෂ්පාදනයට ගන්නවා.

අපි අසාධාරණය ගැන කතා කරන කොට විවිධ කතා කියනවා. තොණ්ඩමන් පවුල අවුරුදු ගාණක් බලයේ හිටියා, කම්කරුවන්ට වෙච්ච දෙයක් නෑ කියනවා. අපේ මිනිස්සු මේ බොරුවලට අහුවෙන්නෙ නෑ. ඒ අය අපිව දන්න නිසා තමයි අපිට ඡන්දෙ දෙන්නේ.

ප්‍රශ්නය : මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර – බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරපු සාගතය නිසා, 1823 දී ඉන්දියාවේ සිට සංක්‍රමණය පටන් ගන්නවා. විවිධ අංශවල වැඩ කරන්න ඔවුන් අඩු ශ්‍රමයට ඉන්දියානුවන් විශේෂයෙන් තමිල්නාඩුවෙන් සහ කේරළයෙන් ගෙන්වා ගත්තා. එදා ඉඳන් අපේ ජනතාව සූරාකෑමට ලක්වෙනවා මෙන්ම දුක් වේදනාවලට මුහුණ දෙනවා. ඉන්දියාව අපේ ප්‍රජාවේ සුභසාධනය ගැන නිතරම සැලකිලිමත්. 1964 සිරිමා – ශාස්ත්‍රී ගිවිසුමත් එවැනි එක් ප්‍රයත්නයක්. කෙසේ වෙතත්, ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපේ ප්‍රජාවට උපකාර කරන්න ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්න ඕනෑ.

1823 ඉඳන් බ්‍රිතාන්‍යයන් විසින් රාමේෂ්වරම් හෝ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරමට නැව් මගින් ඉන්දියානුවන් අඩු ශ්‍රමයට ගෙන්වාගෙන එතැන් සිට මාතලේ මුතුමාරි අම්මාන් කෝවිල දක්වා පා ගමනින් ගෙනගියා. කෝවිල ළඟදි තමයි ඉන්දියානුවන් වතුවලට බෙදා වෙන් කළේ. එදා ඉඳන්ම ඔවුන්ගේ ජීවිත කතා අතිශයින්ම දුක්ඛිතයි. ඊට පස්සේ ආවා, JVP කලබල සහ යුද්ධය. අපි ඒ එකකටවත් හවුල් නොවුණත් අපිව තමයි වඩාත්ම පීඩාවට පත්වුණේ. ඉන්දියානු සම්භවයක් ඇති මේ ප්‍රජාවගේ දුක්ඛිත තත්ත්වය ගැන ඉන්දියාව නිතරම ඉන්නේ සැළකිල්ලෙන්.

ප්‍රශ්නය: කම්කරු කොන්ග්‍රසයට චෝදනාවක් තියනවා බලයට එන හැම ආණ්ඩුවටම සහාය දෙනවා කියලා?

පිළිතුර – අපේ ජනතාවට ඵලදායි ලෙස උදව් කරන්න නම් අපිට දේශපාලන ශක්තිය ඕනෑ වෙනවා. අපි නිතරම පක්ෂ මාරු කරන්නේ ඇයි කියලා අපෙන් අහනවා. අපි නියෝජනය කරන්නේ ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, මාර්ග සහ නිවාස හිමිකම් නැති මිලියන 1.5 කට අධික ප්‍රජාවක්. විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවක් කරන හැම දේකටම විරුද්ධ වෙන්න අපිට බැහැ. ඕනෑම ජනාධිපතිවරයකු සමඟ සහයෝගයෙන් අපි කටයුතු කරනවා. ලංකා කම්කරු කොංග්‍රසය කියන්නේ උඩරට ප්‍රධානම පක්ෂය. අපිට අපේ ප්‍රජාවගේ සහයෝගය ලැබෙනවා. හුදු සමානාත්මතාවයට වඩා සාධාරණත්වය අවශ්‍ය වන සමාජ ප්‍රගතිය ළඟා කර ගැනීම කෙරෙහි තමයි අපේ අවධානය යොමුවන්නේ. අපේ අරමුණ ශ්‍රී ලංකාව බෙදීම නොව ඒකීය කිරීමයි. අපගේ ප්‍රජාව මුහුණදුන් අසාධාරණයන් සඳහා පිළිගැනීමක් තමයි අපිට අවශ්‍ය.

ප්‍රශ්නය: ජනතාව පැමිණිලි කරනවා ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්?

පිළිතුර – ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජල ගාස්තු වැඩිකිරීම පිළිබඳව තිබෙන කනස්සල්ල අපිට තේරෙනවා. අපි ඒක සැලසුම් කළේ දුප්පතුන්හට ඇති බලපෑම අවම වන ලෙසට. ජනවාරි 1 සිට ක්‍රියාත්මක වන පුළුල් පිරිවැය – පරාවර්තක හෝ පිරිවැය – ප්‍රතිසාධන සූත්‍රයක් දෙසැම්බර් මාසේදී හඳුන්වා දෙන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා. මේ හරහා ජල ක්ෂේත්‍රය විධිමත් කරලා මහජනයාට අස්වැසිල්ලක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මූල්‍ය අවභාවිතය, දේශපාලන පත්වීම් ඇතුළු ගැටලු රැසක් සහිත අමාත්‍යාංශයක් තමයි අපිට ලැබුණේ. අපේ ඉලක්කය තමයි ජල සේවා සැපයීමේ පිරිවැයට ගැළපෙන ගාස්තුවක් හඳුන්වාදීම. අපි, ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතන සමඟ, මේ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය : වර්තමාන දේශපාලන තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මං දකින විදිහට, ජනාධිපතිවරයා රට මූල්‍යමය සහ දේශපාලනික වශයෙන් ස්ථාවර කරන්න සැලකිය යුතු පියවර රැසක් ගෙන තිබෙනවා. සංහිඳියාව සහ මූල්‍ය තිරසාරභාවය වෙනුවෙන් ඇති කැපවීම පෙන්වමින් බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගන්න ඔහු සමත් වෙලා තිබෙනවා. සෑම ආණ්ඩුවක්ම පෙර පැවති ප්‍රතිසංස්කරණ වෙනස් කිරීම නිසා රටේ ස්ථාවරභාවයක් තිබිලා නැහැ. මැතිවරණ පැරදුනත්, ජනාධිපතිවරයාගේ නොසැලෙන ගුණය සහ අවංකභාවය අගය කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ මෙම ක්‍රියාමාර්ග පවත්වාගෙන යෑම, ස්ථාවරත්වය සහ ප්‍රගතිය සහතික කිරීම මත යි.

සිරිමන්ත රත්නසේකර
ඡායාරූප –
නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment