ඕඩරය පාතාලයෙන් වෙඩිල්ල කඳවුරෙන්

1112

නාඳුනන වෙඩික්කරු ගැන ඔත්තුවක්

පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන මිනිස් ඝාතනවලට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් කුලී ඝාතකයන් ලෙස යොදාගැනීම මේ වනවිට බහුල වශයෙන් සිදුවන බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් රාජකාරි වේලාවේ පවා සිය කඳවුරුවලින් පිටතට පැමිණ සිය රාජකාරි ගිනි අවියෙන්ම කොන්ත්‍රාත් මිනී මැරුම් සිදුකර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් මේ ආකාරයෙන් කොන්ත්‍රාත් මිනී මැරුම් සිදුකිරීම ඉතාම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙන පොලිස් විමර්ශන නිලධාරීන් මෙය වළක්වා ගැනීමට කටයුතු නොකලහොත් ඉදිරියේදී දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පෙන්වා දෙයි.

මෙම කුලී ඝාතකයන් ලෙස ක්‍රියාකරන ඇතැම් ආරක්‍ෂක අංශ සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් එසේත් නැත්නම් දැඩි මූල්‍ය අර්බුදවල සිටින පුද්ගලයන් බවත් පොලිසිය පවසයි.

මෙසේ කුලී ඝාතන සඳහා පැමිණි ආරක්‍ෂක අංශ සාමාජිකයන් අවස්ථා කීපයකදීම පොලිසියට කොටුවී තිබිණි.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ මීට දින කීපයකට උඩදී අම්බලන්ගොඩ නගරයේ මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු පොලිසිය විසින් ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමය.

රාජකාරි වේලාව තුළ මේ ආකාරයට පාතාල කොන්ත්‍රාත්, මිනිස් ඝාතන සිදුකර පලායන ආරක්‍ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේදී විශාල ගැටලු මතුවන බවද විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.

ඒ මන්ද යත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සැකකාර ආරක්‍ෂක අංශ සාමාජිකයා සිය කඳවුරේ රාජකාරිවල සිටි බව ඒ පිළිබඳ සටහන්වලින් ඔප්පු වේ.

එහෙත් ආරක්‍ෂක අංශ සාමාජිකයා හොර රහසේ සිය කඳවුරෙන් පිටතට පැමිණ සිය ඉලක්කය සපුරාගෙන නැවත සූක්‍ෂම ලෙස කඳවුර වෙත ගොස් රාජකාරියේ යෙදී සිටියි.

පොලිස් ඇසට වැලි ගසමින් සිය ඝාතන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා පාතාල නායකයන් මේ ආකාරයට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් යොදා ගන්නා බව පොලිසිය පවසයි.

පසුගිය කාලයේ දකුණු පළාතේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුවූ පාතාල මිනීමැරුම් වලට සම්බන්ධ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් අපොහොසත්ව ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූ ඝාතකයන් බොහෝ විට ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයන් වියහැකි බවයි.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය, රත්ගමදි පොලිස් පරීක්‍ෂකවරයකු වෙඩිතබා මරා දැමීම, පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත් මිනිස් ඝාතන රැසක් තවමත් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment