ඖෂධ හිඟය ගැන GMOA, WHO ට පැමිණිලි කරයි

118

සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෙරට පිහිටි කාර්යාලය වෙත ලිඛිතවය ඊයේ (26 වැනිදා) පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා “දිවයින”ට පැවැසීය.

ඊයේ පෙරවරු 10.00 ට පමණ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු සංගමයේ විධායක සභාවේ සාමාජිකයන් සමඟ ගොස් මෙම පැමිණිල්ල සිදු කළ බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කීය.

රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය, ඖෂධ අර්බුදය විසඳන්න වහා මැදිහත් වෙන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කීප අවස්ථාවකම ඉල්ලා සිටියා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කළේ නැති නිසා අපි ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම ඖෂධ හරහා කරපු වංචා දූෂණ ඇතුළත් විස්තරාත්මක ලිපියක් WHO එකට භාර දුන්නා.

රෝහල්වල ඖෂධ හිඟය නිසා රෝගීන් දැඩි අසරණභාවයට පත්වෙලා. එළියේ ඖෂධ ගිනි ගණන්. ඒවා ගන්නවත් රෝගීන්ට මුදල් නැහැ. අපිට මේවා බලාගෙන ඉන්න බැහැ. රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙන්න ඕනෑ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන සොයා නොබැලීම නිසා ඊට අවශ්‍ය මැදිහත්වීම හා සහයෝගය ලබා දෙන්න කියලත් WHO එකෙන් ඉල්ලා සිටියා. එතකොට WHO එක මගිනුත් ඖෂධ ලබා දෙන්න මැදිහත් වෙන්න කියලත් ඉල්ලීමක් කළා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment