කච්චතිවු අයිතිය හා ගලවා හදපු නාලන්ද ගෙඩිගෙය

793

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමේ ප්‍රශ්නය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් අධිකරණය ඊට මැදිහත් විය නොහැකි බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. කච්චතිව් ගිවිසුම අවලංගු කර දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා චෙන්නායි ධීවර සුබසාධක සංගමය එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවක විභාගය අවසන් කරමින් ඉන්දීය අගවිනිසුරුවරයා මේ බව පවසා තිබේ. එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ කච්චතිව් දූපත පවරා ගැනීමේ තීරණය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් අධිකරණයට ඊට මැදිහත් විය නොහැකි බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බවයි. 1974 ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම අවලංගු කර කච්චතිව් දූපත නැවත ලබා ගැනීමට ඉන්දීය මධ්‍යම රජයට නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

මේ අතර පසුගිය මස 10 වන දින ඉන්දීය පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවැති විවාදයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය 1974 වසරේ දී ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍රීය ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බවයි. කච්චතිව් යනු තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි දූපතකි. අද ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස පවතින කච්චතිව් තමිල්නාඩුවේ දේශපාලන ප්‍රශ්නයක් ලෙස පවතී. මෑතක දී, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නවදිල්ලි සංචාරයට පෙර, තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින්, ඉන්දීය අගමැති මෝදි මහතා වෙත ලිපියක් යවමින්, කච්චතිව් දූපත නැවත ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. “ප්‍රාන්ත රජයේ අනුමැතියකින් තොරව මධ්‍යම රජය විසින් කච්චතිව් ශ්‍රී ලංකාවට පැවරීම තමිල්නාඩු ධීවරයන්ගේ අයිතිවාසිකම් අහිමි කර ඇති අතර ඔවුන්ගේ ජීවනෝපායට එය අහිතකර ලෙස බලපා ඇත” යනුවෙන් ස්ටාලින්ගේ ලිපියේ සඳහන් වේ. කච්චතිව් යනු ඉන්දියාවේ රාමේෂ්වරම් සිට ඊසාන දෙසින් සහ ශ්‍රී ලංකාවේ යාපනයේ සිට නිරිත දෙසින්, ලංකාවේ මුහුදු සීමාව තුළ පිහිටා ඇති අක්කර 163 ක දූපතකි. පසුගිය 2 වන දින සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය හලාවත දී පැවති මාධ්‍ය හමුවක දී ධීවරයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් දැඩිව කියා සිටියේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුද තුළ අනවසර ධීවර ආම්පන්න භාවිත කරමින් ධීවර කටයුතු වල නිරත වන බවත් එමගින් ශ්‍රී ලංකාවේ කොරල්පරයන් ද විනාශ වන බවත් ය.

මේ අතර පසුගිය මස විවෘත කළ නව ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ප්‍රදර්ශනය කරන ‘අඛණ්ඩ භාරත්’ යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව ද අයත් වන පරිදි වූ ආසියානු කලාපයේ කොටසක් පෙන්වන යම් සිතියමක් පිළිබඳව කලාපය තුළ යම් ආන්දෝලනයක් ඇතිව තිබුණි. පකිස්තානය, නේපාලය, සහ බංග්ලාදේශය යන රටවල ඇතැම් පාර්ශ්වයන් මේ වන විටත් මෙම සිතියම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇත. එහෙත්, ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකට අනුව, මෙම සිතියම ආන්දෝලනයකට හේතුවක් විය යුතු නොවන්නේ, එමගින් නිරූපණය වන්නේ හුදෙක් අශෝක අධිරාජ්‍යයා තුළ පැවැති අභිලාශය සහ එවකට පැවැති ස්වභාවය සම්බන්ධ පැරණි සිතියමක් පමණක් වන බැවිනි. එකී ප්‍රකාශය ඉන්දියානු රජයේ නිල ප්‍රකාශයක් සේ සැලකිය හැකි බැවින් කිසිවෙකු කලබල විය යුතු හෝ කනස්සල්ලට පත් විය යුතු නොවේ යැයි අපි ද සිතමු. සිතියම ප්‍රදර්ශනය වන්නේ ඉන්දීය පාර්ලිමේන්තුව තුළ මිස කෞතුකාගාරයක් තුළ නොවේ. එකී නොකී සියලු කරුණු දෙස බැලීමේදී අතීත ශ්‍රී ලංකාව කෙසේ පැවතියේ ද යන්න විද්‍යාත්මකව අනාවරණය කළ හැකි නම් එය රටේ අනාගතයට බොහෝ වැදගත් වන බව පෙනේ.

අතීතයේදී, සැබැවින්ම, ලංකාවේ ගොඩබිම් ආශ්‍රිත දේශ සීමා කවර ආකාරයෙන් පැවතුණේද? වර්තමානයේ අප සතුව පවතින තාක්ෂණය සහ පුරාවිද්‍යා උරුමයන් මගින් අතීත ශ්‍රී ලංකාවේ භූමිය උරුමය තහවුරු කළ හැකිද? මේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවයි. වාර්තාව ‘විද්‍යාත්මක’ වන හෙයින් එය කිසිදු දේශීය හෝ විදේශීය දේශපාලනික බලපෑමකට යටත් නොවේ.

බොහෝ ප්‍රසිද්ධ ජනප්‍රවාදයන්ට අනුව යමින්, “නාලන්ද ගෙඩිගෙය ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාණයේ සිටම සමහරු විශ්වාස කළා” ආදී වශයෙන් ‘නාලන්ද ගෙඩිගේ‘ සම්බන්ධව පළවන විවිධ අවිනිශ්චිත ප්‍රකාශයන් පාඨක ඔබ ද බොහෝ විට අසා දැක තිබිය හැකිය. රාවණ පුරාවෘත්තය තදින්ම විශ්වාස කරන විචාරකයන් සහ විද්වතුන් මෙම කරුණ නිරන්තරයෙන් මතු කළ ද ගෙඩිගෙය ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය මත ඉදි කරනු ලැබ ඇති බව කිසිවෙකු විසින් මේ දක්වා තහවුරු කර නොමැත. මෙම තත්ත්වය තුළ, පසුගිය 11 වන දින, විද්වත් කමිටුවක් හරහා රාවණා රජු පිළිබඳ ගවේෂණය කළ යුතු යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් වූ අතර එහි දී මාතලේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නාලන්ද ගෙඩිගෙය ගැන ද සඳහන් විණි. ‘Google Map’ හි නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය විස්තර කිරීම සඳහා ‘ශ්‍රී ලංකාවේ මධ්‍යම ලක්ෂ්‍යය‘ (Central point of Sri Lanka) යනුවෙන් ඇතුළත් කර තිබේ. “ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නාලන්ද ගෙඩිගෙය ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය මත පිහිටා තිබෙන බව තහවුරු කර තිබේ ද” යන්න මා විමසා බැලූ අවස්ථාවේ දෙපාර්තමේන්තුවේ සිතියම්කරණ අංශයේ නිලධාරීනියක් සඳහන් කළේ නාලන්දා ගෙඩිගේ සම්බන්ධව එවැනි කිසිදු තහවුරු කිරීමක් මේ දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදුකර නොමැති බවයි. එසේ වුවත් නාලන්ද ගෙඩිගේ පිහිටි පරිශ්‍රයේ ඇති මෑතකාලීනව සවිකළ පුවරු දෙකක භාෂා තුනෙන්ම සඳහන් කරනු ලැබ ඇත්තේ ‘නාලන්ද ගෙඩිගේ-ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යය‘ යනුවෙනි. මේ පිළිබඳව නාලන්ද ගෙඩිගෙය භාරව සිටින පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරිනයගෙන් සිදුකළ විමසීමකදී ඇය විසින් සඳහන් කළේ නාලන්දා ගෙඩිගේ ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර නොමැති නමුත් Google map හි ඉහත දැක්වූ පරිදි එය ලංකාවේ මධ්‍ය ලක්ෂ ලෙස දැක්වෙන බැවින් ඉහත සඳහන් පුවරු සවි කර ඇති බවයි.

මේ ජේදය ලියන්නේ ඉතාම සරලවයි. A4 හෝ එවැනි කොළයක් මත කවකටුවක් සහ පැන්සලක් භාවිතයෙන් වෘත්තයක් ඇඳ ගන්න. එම වෘත්තය ඇඳි රේඛාව නොකැඩුණු ‘සංවෘත රේඛාවක්‘ වේ. වෘත්තය ඇඳීමේ දී කවකටුවේ තුඩ පිහිටි ස්ථානය එම වෘත්තයේ ‘හරි මැද‘ නොඑසේ නම් ‘ජ්‍යාමිතික කේන්ද්‍රය‘ වේ. දැන් එම වෘත්තය පැන්සල් ඉර දිගේ කපාගන්න. දැන් වෘත්තයේ ජ්‍යාමිතික කේන්ද්‍රය පැන්සල මගින් ලක්ෂයක් (තිතක්) ලෙස ලකුණු කරන්න. එම ලකුණු කළ ලක්ෂ්‍යය (වෘත්තයේ කේන්ද්‍රය) C ලෙස නම් කරමු. බෝල්පොයින්ට් පෑනක තීන්ත බටය එහි තුඩ පහළට සිටින අයුරින් එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් වෘතාකාර කඩදාසිය තීන්ත බටයේ ඉහළ කෙලවර මත තිරස්ව (හරස් අතට) තබා එය නොවැටෙන පරිදි තීන්ත බටය මත සමතුලිත කරන්න. මෙහිදී කඩදාසි වෘත්තය පෑන් බටයේ ඉහළ කෙළවර මත සමතුලිත වන්නේ එහි කේන්ද්‍රය වන C ලක්ෂ්‍යය පෑන් බටයේ ඉහළ කෙලවරේ හරි මැද පිහිටන ලෙස පමණක් බව ඔබට පෙනෙනු ඇත. එනම් කේන්ද්‍රය කුමක්දැයි නොදන්නා මෙවැනි වෙනත් වෘත්තයක කේන්ද්‍රය එනම් එම වෘත්තයේ ‘හරිමැද‘ සොයා ගැනීමට මෙම සරල ක්‍රමය භාවිත කළ හැකිය. එපමණක් නොව වෙනත් ඕනෑම හැඩයක් ඇති කඩදාසි රූපයක කේන්ද්‍රය ද මේ අයුරින්ම සෙවිය හැකිය. පසුව අපි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය සෙවීම සඳහාද මේ ක්‍රමයම භාවිත කරමු. දැන් මෙම වෘත්තයේ පරිධිය පෙදෙසේ (වෘත්තයේ දාරය දෙසින්) කුඩා කෙටි කොටසක් කපා ඉවත් කර නැවත පෙර පරිදි තීන්ත බටය මත වෘත්තය සමතුලිත කරන්න. දැන් එම කපා ඉවත් කළ කොටස සහ C ලක්ෂ්‍යයට මඳක් ඔබ්බෙන් වූ ලක්ෂ්‍යයක් පෑන් බටයේ ඉහළ කෙලවර මත පවතින පරිදි වෘතාකාර කඩදාසිය බටයේ ඉහළ කෙලවර මත සමතුලිත වන බව ඔබට පෙනෙනු ඇත. කපා ඉවත් කළ කොටසද වෘත්තයේ කොටසක්ව පැවති විට දී පමණක් වෘත්තයේ කේන්ද්‍රය වන C ලක්ෂ්‍යයේ දී එය පෑන් බටය මත සමතුලිත විය. දැන් මෙම අවසන් වැකියද හොඳින් මතකයේ තබාගෙන පහත ව්‍යාපෘතිය දියත් කරන්න.

පළමුව ඔබගේ ස්මාර්ට් දුරකථනය මගින් Google map යෙදවුම භාවිතයෙන් නාලන්ද ගෙඩිගෙය පිහිටි ස්ථානය සලකුණු කරගන්න. දැන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සිතියම තිරය මත පැහැදිලිව දිස්වන පරිදි විශාලනය කිරීමෙන් (zoom) සහ තිරයේ දීප්තිය උපරිම කිරීමෙන් පසු පහත දැක්වෙන ක්‍රියා පිළිවෙළ අනුගමනය කරන්න. මෙහිදී Google Map හි ‘Map Type’ ලෙස ‘Default’ භාවිත කිරීම වඩාත් පහසු වේ. දැන් ඉහත පරිදි ම A4 වැනි ඝනකම් සුදු කඩදාසියක් දුරකථනයේ තිරය මත තබා පැන්සලක් භාවිතයෙන් ශ්‍රී ලංකා සිතියම සහ නාලන්ද ගෙඩිගේ පිහිටීම පැහැදිලිව සලකුණු කර ගන්න. ශ්‍රී ලංකාවට අයත් දූපත් ද හසුවන පරිදි නොකැඩුණු සංවෘත රේඛාවක් මගින් ශ්‍රී ලංකා සිතියම ඇඳීම මගින් අපගේ කාර්යය වඩාත් පහසු වේ. දැන් ශ්‍රී ලංකා සිතියම පැන්සල් ඉර දිගේ කපා වෙන්කර ගන්න. දැන් තීන්ත බටය එහි තුඩ පහළට සිටින අයුරින් සිරස්ව අල්ලාගෙන බටයේ ඉහළ කෙළවර මත ශ්‍රී ලංකාවේ සිතියම තිරස් අතට තබා එම ඉහළ කෙළවර මත සිතියම සමතුලිත කිරීමට උත්සාහ කරන්න. ඔබ නාලන්දා ගෙඩිගේ පිහිටීම සිතියම මත සලකුණු කළ පැත්ත යටි අතට තබා ඇත්නම් නාලන්දා ගෙඩිගේ පිහිටීම සලකුණු කළ ලක්ෂ්‍යය හරියටම තීන්ත බටයේ ඉහළ කෙළවරෙහි මධ්‍ය ලක්ෂ්‍ය මත පවතින පරිදි පමණක් සිතියම තීන්ත බටය මත සමතුලිත වේ. අප කලින් අවස්ථාවේ වෘත්තය පෑන් බටය මත සමතුලිත කළ විට වෘත්තයේ කේන්ද්‍රය පෑන් බටයේ ඉහළ කෙලවරෙහි හරි මැද පිහිටියේය. දැන් ලංකා සිතියමේ නාලන්ද ගෙඩිගෙය පිහිටි ලක්ෂ්‍යය පෑන් බටයේ ඉහළ කෙලවර ඇති පරිදි සිතියම සමතුලිත වී ඇත. සමතුලිත අවස්ථාවේ දී සිතියමෙහි කේන්ද්‍රය පෑන් බටය මත පිහිටිය යුතු බැවින් සිතියමේ නාලන්ද ගෙඩිගේ පිහිටි ලක්ෂ්‍යය සිතියමේ කේන්ද්‍රය විය යුතුය. එනම් ශ්‍රී ලංකාවේ නාලන්ද ගෙඩිගෙය පිහිටි ස්ථානය ශ්‍රී ලංකාවේ ජ්‍යාමිතික කේන්ද්‍රය එනම් රටේ ‘හරි මැද‘ වේ. දැන් ඔබ නාලන්ද ගෙඩිගේ ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්‍ෂ්‍යය මත පිහිටා ඇති බව සනාථ කරගෙන තිබේ. එම ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවේ භූමිය මත කිසිදු මිනුම් ලබා ගැනීමක් සිදු නොකිරීම විශේෂත්වයකි. මෙම ජේදයේ ඉතිරි කොටස භෞතික විද්‍යාව හදාරා ඇති අයට වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය යනුවෙන් අදහස් වන්නේ අක්ෂාංශ සහ දේශාංශ රේඛා මගින් නිර්මාණය වන වක්‍ර පෘෂ්ඨය මත වූ ලංකාවේ හැඩය වෙන්ව ගත් කල එහි ජ්‍යාමිතික කේන්ද්‍රය මිස ලංකා භූමියේ ගුරුත්ව කේන්ද්‍රය නොවේ. ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වන බැවින් ලංකාවට අදාළ වක්‍ර පෘෂ්ඨය සමතලයක් ලෙස සැලකිය හැකිය. උත්තල, අවතල සහ සමතල යනුවෙන් පෘෂ්ඨයක මූලික ජ්‍යාමිතික ස්වභාවය පැහැදිලි කිරීම සඳහා සිංහල භාෂාවේ වචන තුනක් තිබේ. එහෙයින් ‘භූමි-තලය‘, ‘ධරණී-තලය‘ යන වචන වල ඇති ‘තලය‘ යන්නෙන් අප ජීවත්වන පෘථිවි පෘෂ්ඨය ‘සමතල‘ වන බව කියාපාන්නේ නැත. එසේ කියාපාන්නේ නම්, ධරණී-තලය යන වචනය ධරණී-සමතලය ලෙස වෙනස් විය යුතුය. කොටින්ම කියනවා නම් ‘වා තලය‘ යන්නෙන් වාතය තැටියක් බව අදහස් නොවේ. “ඒකාකාර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තුළදී ඒකාකාර ආස්තරයක ජ්‍යාමිතික කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය සමපාත වේ” යන්න ඉහත පර්යේෂණයේදී ජ්‍යාමිතික කේන්ද්‍රය නීර්ණය කිරීම සඳහා අප භාවිත කළ උපක්‍රමය වේ. ඔස්ටේ්‍රලියාව වැනි විශාල රාජ්‍යක මධ්‍ය කේන්ද්‍රය සෙවීමේදී අක්ෂාංශ සහ දේශාංශ රේඛා මගින් නිර්මාණය වන වක්‍ර පෘෂ්ඨයේ ගෝලාකාර ස්වභාවය ද සැලකිල්ලට ගත යුතු වේ. එවිට සමතුලිත කිරීම සඳහා භාවිත කරන සිතියම සමතල සිතියමක් නොව උත්තල සිතියමකි. ඇතුළත හිස් ඒකාකාර ගෝලයක අභ්‍යන්තර පෘෂ්ඨයේ නිවැරදි ලෙස ස්ථානගත කළ ඉහත ඔස්ටේ්‍රලියානු සිතියම වැනි ලෝකයේ සියලුම රටවල් සහ දූපත්වල සිතියම් සහිත ලෝක ගෝලයක් තිරස් සමතල පෘෂ්ඨයක් මත තැබූ විට එම ගෝලයේ උපරිම ස්ථායී සමතුලිත අවස්ථාවේදී සමතල පෘෂ්ඨය ස්පර්ශ වන ගෝලයේ ලක්ෂ්‍යය පෘථිවියේ සියලු ගොඩබිම් හි මධ්‍ය කේන්ද්‍රය යි. ඊජිප්තුවේ ‘මහා පිරමීඩය‘ (Khufu Pyramid) ඉදි කරනු ලැබ ඇති ස්ථානය හරහා යන අක්ෂාංශ සහ දේශාංශ වෘත්ත යුගලය පෘථිවියේ වැඩිම ගොඩබිම් ප්‍රමාණයක් ඡේදනය වන අක්ෂාංශ සහ දේශාංශ යුගලය ලෙස හඳුනාගෙන ඇති නිසා එම පිරමීඩය පිහිටි ස්ථානය පෘථිවියේ ගොඩබිම් කේන්ද්‍රය ලෙස සලකනු ලැබේ. එකී වෘත්ත යුගලයේ අනෙක් ඡේදනය ලක්ෂ්‍යය සාගරයට අයත් වේ.

මෙහි ඉතිරි කොටස 26 වැනිදා පළවේ

● එම්. උදිත සඳරුවන්
නවෝත්පාදක, ස්වාධීන පර්යේශක

advertistmentadvertistment
advertistmentadvertistment