කනිෂ්ඨයන්ගේ කොළොම්බියා ගමන ගැන ඇමැති නියෝගයෙන් සමාලෝචනයක්

210

කොළොම්බියාවේ පැවති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමේදී ඇතිවූ බව කියන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි, වාර්තා සහ ඒ පිළිබඳව සිදුකර ලබා ගත් විමර්ශන වාර්තා පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා නියෝග කර ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවසීය.

ඇමැතිවරයාගේ නියෝගය මත පදනම්ව අදාළ සමාලෝචනය ලබන සතියේ සිදු කිරීමට කටයුතු කරන බව ද අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ තරග සංචාරය පිළිබඳව මලල ක්‍රීඩා ආයතනයේ පැහැදිලි කිරීම් ඇතුළත්ව ක්‍රීඩා ඇමැතිවරයාට භාර දුන් වාර්තාව ද, තරග සංචාරයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදු කරන ලද පැමිණිලිද, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් එම කාර්යයේදී යම් අතපසුවීමක් සිදු වූවාදැයි සිදුකරන ලද අභ්‍යන්තර විමර්ශනයේ ප්‍රතිඵලද එම සමාලෝචනය සඳහා සලකා බලන බව අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අවසන් මොහොත වනතෙක්ම තරග සංචාරය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත්කර හැරීම අර්බුදකාරී තත්ත්වයකට මතු වීම නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ද එහිදී දැඩි පීඩනයකට ලක්වූ බව ලේකම්වරයා සඳහන් කර සිටියේය. මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමට ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇති බව ද ඒ වෙනුවෙන් කළ යුතු කාර්යයන් කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බව ද සඳහන් කර සිටියේය.

අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකු සහ නිලධාරීන් දෙදෙනකු සහභාගි වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායම ආපසු පැමිණීමේ දී ද නොයෙක් ගැටලු මතුවිණි.

එහිදී තරගාවලිය නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරිනියක් කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩිකාවක් නිරෝධායනයේ යෙදී සිටියදී ඇයගේ රැකවරණය සඳහා නොසිට යළි දිවයින බලා පැමිණීමේ පුවතක්ද වාර්තා විණි. පාසල් ක්‍රීඩිකාවක් එසේ තනිකර පැමිණීමට නිලධාරිනියකට අයිතියක් නැති බව ද ඒ අවස්ථාවේදී ඇය වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ සංචාරය සඳහා පිටත්වීමේදී ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකුට තමන්ගේ තරග ඉසව්වන් සඳහා සහභාගි වීමට තිබූ අවස්ථාවන් ද ගිලිහී ගියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment